වර්ෂ 2015 ක්වූ මැයි 07 වැනිදා බ්‍රහස්පතින්දා




මොන ක්ෂේත්‍රයේ හිටියත් කට කතා හැදෙනවා

මොන ක්ෂේත්‍රයේ හිටියත් කට කතා හැදෙනවා

වෙළෙඳ දැන්වීම් හරහා ජනප්‍රිය වූ යොවුන් මෝස්තර නිරූපිකාව සජානි චාමලී

FB විශේෂාංගය හරහා අප ඔබට කලා කෙතෙහි අනේකවිධ අංශ නියෝජනය කරන නව පරපුරේ තාරකාවන් හඳුන්වා දුන්නා. මෙවර අප කැඳවාගෙන එන්නේ මෝස්තර නිරූපිකාවක්. එපමණක් ද නොව ඇය මියුසික් වීඩියෝ සහ වෙළෙඳ දැන්වීම් රංගන ශිල්පිණියක් ද හැටියට අප හමුවට එනවා. නම කිව්වොත් සජානි චාමලී.

සජානි අපි පළමුව ඔබේ පෞද්ගලික විස්තර කතා කරමු?

ඒක හොඳයි.

කියන්නකෝ බලන්න සම්පූර්ණ නම?

සජානි චාමලී මුතුකුඩ.

උපන් දිනය?

1989. 07. 27

ගම?

සීදූව.

ඉගෙන ගත්තේ?

නිවුස්ටඩ් බාලිකා විද්‍යාලයෙන් සහ ආනන්ද බාලිකාවෙන්.

ඇයි මෝස්තර නිරූපණයට ආවේ?

ඇත්තෙන්ම කිව්වොත් මගේ තුන් හිතකවත් අදහසක් තිබුණේ නැහැ මෝස්තර නිරූපණ කලාවට එන්න. මගේ යාළුවෙක් එක දවසක් හදිසියේම කතා කළා මනමාලියකට ඇඳලා වැඩසටහනකට යන්න. මම ඉතින් යාළුවට බෑ කියන්න බැරිකමට ගියා. එදා ඉඳලා යාළුවට වැඩියේ මට වැඩවලට කතා කළා.

ඔබ මොකද කිව්වේ?

මං ඉතින් බෑ කිව්වේ නැහැ.

නුහුරු කලාවක යෙදෙන්න චකිතයක් හිතුණේ නැතිද?

මුලදි ටිකක් බයයි. පස්සේ පස්සේ වැඩේට සෙට් වුණා.

ආරංචි විදිහට ඔබ සිය පාරකටත් වැඩිය මනමාලියට ඇඳලා වැඩසටහන්වලට සහභාගි වෙලා තියෙනවා?

ඔව්.

සාමාන්‍යයෙන් මතයක් තියෙනවා ඔහොම අවස්ථා වැඩි ගණනාවකදී මනමාලියක් වෙන්න හොඳ නැහැ කියලා?

මං ඔය අදහසට එකඟ වෙන්නේ නැහැ. ඕවා පරණ කතා. මං බය නැතුව තව අවස්ථා ලැබුණොත් මනමාලියකට අඳිනවා.

මෝස්තර නිරූපණයේ යෙදෙන ගමන් ද ඔබ රංගනයට එන්නේ?

ඔව්. හැබැයි මට තවම ආරාධනා ලැබුණේ මියුසික් වීඩියෝස් සහ වෙළෙඳ දැන්වීම්වලට පමණයි.

ඇයි ඒ?

අනේ මන්දා, විනෝදන් ගයන මියෙන තුරු ගීතයෙන් මං හුඟක් ජනප්‍රිය වුණා. ඊට පස්සේ මියුසික් වීඩියෝ ගණනාවක් කළා.

ඔබ සිටි වෙළෙඳ දැන්වීම් මොනවාද?

මේ දවස්වල නිතර පෙන්වන ඩයලොග් ඇඩ් එකේ ඉන්නේ මං. ඒ වගේම විවිධාකාර ආයතන රැසක ඇඩ්වල හිටියා. ඒවා ටික කිව්වොත් එහෙම මේක දැන්වීම් පිටුවක් වේවි.

ඔබ ටෙලි නාට්‍ය රංගනයට ගියේ නැත්තේ ඇයි?

මට ටෙලි නාට්‍ය සඳහා ඇරැයුම් අනන්තවත් ලැබුණා. ඒත් ගෙදරින් යන්න දුන්නේ නැහැ.

ගෙදර අය බයයි ද ඔබ ටෙලි නාට්‍ය රඟපාන්න ගිහින් නරක් වේවි කියලා?

නැහැ, නැහැ. එහෙම එකක් නෙවෙයි. මට ගෙදර අය හුඟක් ආදරෙයි. ඒගොල්ලො කැමැති නැහැ දවස් ගාණක් මං පිට නැවතිලා ඉඳලා නාට්‍ය කරනවට.

ඔබ හිත යටින් කැමැතියි වගේ ටෙලි නාට්‍යවල රඟපාන්න?

ඔව්.

මං හිතන්නේ මේ ලිපියෙන් පස්සේ ඔබ අනිවාර්යයෙන් ටෙලි නාට්‍ය නිළියක් වේවි?

බලමු නේද.

ටෙලි නිළියෝ ඔබට වැඩිය ජනප්‍රියයි?

ඒක ඇත්ත. මට ඕනෑ ජනප්‍රියත්වය හඹාගෙන යන්න නෙවෙයි, හරි දෙයක් කරලා ක්ෂේත්‍රයේ පවතින නමක් හදාගන්න. ඒකටයි මේ කැප කිරීම් කරන්නේ.

ටෙලි නාට්‍ය රංගනයට අකැමැති ඔබේ ගෙදර අය ඔබට මෝස්තර නිරූපණයට යන්න දීම මට නම් ප්‍රහේළිකාවක්? සාමාන්‍යයෙන් මෝස්තර නිරූපිකාවකටනෙ වැඩිපුර කතා හැදෙන්නේ?

කට කතා හැදෙනවා මොන ක්ෂේත්‍රයේ හිටියත්. අනෙක කට කතාවලට මං බයත් නැහැ. අපේ ගෙදර අය මං කරන මේ වෘත්තියට අකැමැත්තක් නැහැ දැන්. මුලදි නම් ටිකක් නුරුස්සන ගතියක් පෙන්නුම් කළා.

මෝස්තර නිරූපිකාවන් දෙස මිනිස්සු බලන්නේ වැරැදි ඇසින්. මේ තත්ත්වය මත ඔබ විඳි අමිහිරි අත්දැකීමක් දෙකක් විස්තර කළොත්?

ඇත්තම කිව්වොත් මට ඔවැනි තත්ත්වයක් උදාවෙලා තියෙනවා හරිම අඩුයි. වැඩ සටහන්වලට තනියම යන්නේ නැති හින්දා කවුරුවත් ඕනෑවට වඩා මට ළං වෙන්නේ නැහැ.

ඔබ ජීවිතයේ කරගත්තු ලොකුම මෝඩකම මොකක්ද?

මගේ හිත හොඳ වැඩියි. අද හම්බු වුණු කෙනාට වුණත් මං සලකන්නේ කාලාන්තරයක් තිස්සේ දැන හඳුනගත්ත අයෙකුට වගේ. මේ හේතුව නිසා මට වැඩසටහන්වලින් ලැබෙන්න තිබෙන මුදල් සෑහෙන ප්‍රමාණයක් නැති වෙලා තියෙනවා. මොකද මට කවුරු හරි කිව්වොත් හෙට සල්ලි දෙන්නම් කියලා මං මෝඩයා වගේ ‘හා’ කියනවා.

හැබැයි ඔබගේ රූපය දුටුවාම නම් හිතන්නේ හරිම ආඩම්බරකාරියක් කියලා?

අනේ නැහැ. මං පොලවේ පය ගහලා ජීවත් වන කෙනෙක්.

සජානි පෙම්වතියක්ද?

තවම නැහැ. ඉදිරියේදී හමුවෙයි කියන බලාපොරොත්තුවෙන් ඉන්නවා.

සජානි ෆේස්බුක් එකේ ඉන්නවාද?

ඔව්. මේ නමින්ම තමයි ඉන්නේ.

මෝස්තර නිරූපණ ශිල්පිණියක් විදිහට ඔබට ෆේස්බුක් එක කොතරම් වැදගත්ද?

මං හිතනවා දැනට තියෙන හොඳම මාධ්‍ය තමයි ෆේස්බුක් කියන්නේ. ඒ හරහා අප කරන වැඩසටහන් සහ වෙළෙඳ දැන්වීම්වල ක්ලිප්ස් අනිත් අයට පෙන්වන්න පුළුවන්. මේ හේතුවෙන් අපට අති විශාල ප්‍රමාණයක රසිකයන් පිරිසක් එකතු වෙනවා.

ඒ අතර කරදරකාරයොත් ඇති?

මොකද නැත්තේ. ගොඩක් අය හිතාගෙන ඉන්නේ අපි ඒ අයත් එක්ක නිතරම චැට් කර කර ඉන්න ඕනෑ කියලා. අපි ඉතින් බිසී වෙනවනේ. ඒ වගේ වෙලාවන්වලට මුකුත් කරගන්න බැහැ.

සජානිගේ පවුලේ විස්තර කියමු?

අම්මයි, තාත්තයි, නංගිලා දෙන්නයි.

ඔබ ගැන කෙටියෙන් හඳුන්වා දෙන්න බලන්න?

හරිම සංවේදී කෙනෙක්.