වර්ෂ 2015 ක්වූ මැයි 07 වැනිදා බ්‍රහස්පතින්දා




කමල් හසන්, මනි රත්නම් මාමයි - බෑණයි

කමල් හසන්, මනි රත්නම් මාමයි - බෑණයි

අද පවුල් ගස් අතරින් කතා කරන්නේ ඉන්දීය සිනමාවේ දැවැන්තයන් දෙදෙනෙකු සම්බන්ධ පවුලක් ගැනයි. හසන් - රත්නම් අපූරු සුසංයෝගයකි. දකුණු ඉන්දීය සිනමාවේ කමල් හසන් මෙන්ම මනි රත්නම් ද දැවැන්ත චරිත ද්විත්වයකි.

කමල් හසන් ඉන්දීය සිනමාවේ විශිෂ්ට ගණයේ නළුවෙකු, තිර රචකයෙකු, අධ්‍යක්ෂවරයෙකු, නිෂ්පාදකවරයෙකු, පසුබිම් ගායකයෙකු මෙන්ම ගී පද රචකයෙකු ලෙසත් අංශ ගණනක හැකියාවන්ගෙන් පරිපූර්ණ වූ කලාකරුවෙක් දෙමළ සිනමාවේ සුවිශේෂ රංගන ශිල්පියෙකු ලෙසින් නම් ලද කමල් හසන් ෆිල්ම් ෆෙයාර් සම්මාන දහ නවයකට හිමිකම් කියයි. ජාතික සම්මාන රැසක් ද ඔහු සතුය. ඔහුගේ ප්‍රථම රංගනය වූයේ 1959 වසරේ තිරගත වූ Kalathur Kannamma  චිත්‍රපටයයි. එවිට ඔහු සිව් හැවිරිදි වියේ පසු විය. එම රංගනය වෙනුවෙන් ජනාධිපති රන් සම්මාන ලබා තැබූ පියවරෙහි සාර්ථකත්වය පෙන්නුම් කළේය.

ළමා රංගන ශිල්පියෙකු ලෙසින් සිනමාවට දායක වූ ඔහු වැඩිහිටි චරිතවලින් රංගන දායකත්වය ලබා දෙන්නේ හැත්තෑව දශකයේ පටන්ය. එදා මෙදාතුර ඔහු මලයාලම්, තෙළිඟු, හින්දි, බෙංගාලි සහ කණ්ණඩ චිත්‍රපට රැසකට රංගනයෙන් දායක විය. 1975 වසරේ Apoorva Ragangal ඔහු ප්‍රධාන චරිත නිරූපණය කළ පළමු චිත්‍රපටයයි. කමල් හසන් 1954 වසරේදී දෙමළ බ්‍රාහ්මණ පවුලක උපත ලැබීය. ඔහුගේ පියා කලාවට සම්බන්ධ චරිතයක් නොවීය. ඔහු නීතිඥවරයකු විය. කමල් සිව් දෙනෙකුගෙන් යුත් පවුලේ බාලයා විය. ඔහුගේ කලා ජීවිතයට අඩිතාලම දැමූයේ මවගේ මිතුරියකි. ඇයගේ මඟ පෙන්වීම අනුව කුඩා කමල් Kalathur Kannamma හි රංගනයට අවස්ථාව ලැබුණි. එය අති සාර්ථක ආරම්භයක් විය. ඔහුගේ දායකත්වය දමිළ සිනමාවට හින්දි සිනමාවට ද හිමි විය. EK Duuje Keliye, Sadma, Saagar, Virasat, Chachi  420 වැනි හින්දි සිනමා නිර්මාණයන්හි රංගනයන් විශේෂ ඇගයීමට ද ලක් විය.

කමල් හසන් නම් වූ මේ නළුවා ඉන්දීය රජය විසින් සිවිල් පුරවැසියෙක් සඳහා පිරිනමන ඉහළම සම්මානයක් වූ පද්ම ශ්‍රී සම්මානයෙන් පුදනු ලබන්නේ 1990 වසරේදීය. 2004 වසරේදී පද්ම භූෂණ සම්මානයෙන් ඔහු පිදුම් ලැබීය. ඔහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම විශිෂ්ටයෙකු විය. ක්‍රියාදාම චරිත සේම හාස්‍ය රංගනයේ ද ඔහු කැපී පෙනුණි. ඔහුට පණ දිය නොහැකි වූ චරිතයක් නොමැති තරම්ය. ගායනය ද එසේමය. ඔහු ගැයූ ගී බොහෝය. කමල් ඔහු රඟපෑ බොහෝ චිත්‍රපටවල පසුබිම් ගායනයට ද දායක විය. Andharan gam, Maro Chartra, Savaal, Guna, Chachi 420, Hey Ram ඉන් කිහිපයක් පමණි.

වයස අවුරුදු විසි හතරේදී කමල් හසන් තනිකඩ ජීවිතයට තිත තැබීය. ඔහුගේ අත ගත්තේ නර්තන ශිල්පිනියක වූ වානි ගණපතියි. දික්කසාදය ඔවුන්ගේ දස වසරක විවාහ දිවියේ නිමාව සටහන් තැබීය. කල්කටාවේදී නර්තන පුහුණු ආරම්භ කළ වානි තරුණ වියට එළැඹෙන විටදී බොම්බායට පැමිණියාය. ඇය සිය නර්තන හැකියාව එළි දැක් වූයේ වයස අවුරුදු හතේදීය. Majhli Didi, Hamraaz, Ashirwad, Satyakam, Kushboo, Kranti, Shoebite, Jab Tak Hai Jaan, Club  60 චිත්‍රපට සඳහා ඇය රංගනයෙන් දායක වූවාය.

ශාරිකා ථාකූර් ද ඉන්දීය සිනමාව හැඩ කළ සුවිශේෂ රංගන ශිල්පිනියකි. කමල් හසන් නම් නළුවාගේ ජීවිතයට ඇයගේ පැමිණීම සුවිශේෂ විය. සෘති සහ අක්ෂාරා දියණියෝ ඔවුන්ගේ ජීවිත හැඩ කළහ. කමල්, ශාරිකා යුවළගේ වැඩිමහල් දියණිය සෘති දෙමළ සිනමාව මෙන්ම හින්දි සිනමාව ද හැඩ කරන්නට දායක වන්නීය. විසි නව වැනි වියේ පසුවන ඇයගේ රංගනය පිළිබඳ අද ලොවම කතා කරයි. පියාගේ අධ්‍යක්ෂණයක් වූ Hey Ram  නිසා ඇයට සිනමාවේ මං විවර විය. එහි ආරාධිත රංගනයක් සමඟ පසුබිම් ගායනයට ද ඇය දායක වූවාය. ත්‍රාසජනක ක්‍රියාදාම චිත්‍රපටයක් වන Luck (2009) චිත්‍රපටයේ ඇයගේ රංගනයට විශාල ඉඩක් වෙන් විය. පියා කමල් හසන් සේම සෘති ද රංගනයට මෙන්ම ගායනයට ද දස්කම් දක්වන්නීය. සංගීතය පිළිබඳ ඇය වැඩිදුර අධ්‍යයන කටයුතු සිදු කළේ අමෙරිකාවේදීය.

මේ වසර තුළදී ඇය දායක වූ චිත්‍රපට හතක් තිරගතවීමට නියමිතය. පසුගිය පළමුවැනිදා අක්ෂේ කුමාර් සමඟින් දායක වූ Gabbar is Back  චිත්‍රපටය තිරගත වීම ආරම්භ විය. එදිනම කමල් හසන් රංගනයෙන් දායක වන Uttama Villain  දමිල චිත්‍රපටය ද තිරගත වීම ඇරැඹීය. එහි රචනය හා නිෂ්පාදනය ද ඔහුගේය. මෙය පියෙකු සහ දියණියක අතර ඇති වූ තරඟයක් මෙනි. කමල් හසන්ට සේම සෘති හසන්ට ද ආදරය කරන ප්‍රේක්ෂකයන් බලා සිටින්නේ මේ සිනමා නිර්මාණ අතරෙන් ඉහළ සාර්ථකත්වය ලබන්නේ කුමක් ද යන්න දැක ගැනීමටයි. සෘති හසන් නිළියක, ගායිකාවකට අමතරව මෝස්තර නිරූපණයේ ද නියැලෙමින් සිටියි. මව් පිය උරුමයෙන් රංගන වරම් ලැබුව ද මව්පියන් තරමට සාර්ථක වන දරුවන් හිඟය. ඒ අතරේ සෘති විශේෂ වන්නේ පියා මෙන්ම දක්ෂතා රැසක් ඇය කෙරෙන් ද දැක ගත හැකි බැවිනි.

සෘතිගේ නැගනිය අක්ෂාරා ද නිළියක, තිර රචිකාවියක සේම සහය අධ්‍යක්ෂවරියක ලෙස ද බොලිවුඩ් මෙන්ම කොලිවුඩ් නිර්මාණ සඳහා ද දායක වන්නීය. ආර්. බල්කි අධ්‍යක්ෂණය කළ අමිතාබ් බච්චන්, ධනුෂ් රංගනයෙන් දායක වූ Shamitabh චිත්‍රපටයට ඇය දායක වූයේ රංගනයෙනි.

හසන් පවුලේ බාලම සහෝදරයා ලෙසින් කමල් හසන් සිනමාවට දායක වන විට ඔහුගේ වැඩිමහල් සහෝදරයන් දෙදෙනා ද සිනමාවට සම්බන්ධ වෙයි. චාරු හසන් සුප්‍රසිද්ධ දකුණු ඉන්දීය නළුවෙකි. කණ්ණඩ, මලයාලම්, දෙමළ, තෙලිඟු චිත්‍රපට රැසකට ඔහුගේ දායකත්වය ලැබුණි. 1992 වසරේ ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේ හොඳම කණ්ණඩ නළුවා ලෙස ද ඔහු පිදුම් ලැබීය. කමල්ගේ වැඩිමහල් සහෝදරිය නාලිනි ශාස්ත්‍රීය නර්තන ශිල්පිනියකි.

චාරු හසන්ගේ දියණිය සුහාසිනි සම්මානනීය නිළියක වූවාය. මැඩ්‍රාස් චිත්‍රපට ආයතනයෙන් අධ්‍යාපනය ලැබ ඇය කලා ක්ෂේත්‍රයට පිවිසියේ කැමරා සහායිකාවක වශයෙනි. සුහාසිනි නිළියක ලෙස වඩාත් ජනප්‍රිය වූයේ කේරළ සිනමාවේය. ඒ අතරින් Bandhana චිත්‍රපටය ඉහළ ආදායම් තැබූ චිත්‍රපටයක් විය. සින්ධු භෛරවි චිත්‍රපටයේ ඇය දෙමළ සිනමාවේ කීර්තිමත් නිළියක වූවාය.

සුහාසිනි හසන් පවුලට ඉන්දීය සිනමාවේ තවත් දැවැන්තයකු සම්බන්ධ කළාය. ඇය විවාහ වූයේ සුප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්ෂ මනි රත්නම් සමඟිනි. කළමනාකරණ උපදේශකවරයෙකු ලෙස වෘත්තීය ආරම්භ කළ මනි රත්නම් සිනමාවට පිවිසියේ 1983 වසරේදී Pllavi Anu Pallavi නම් කණ්ණඩ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමිනි. එය වාණිජමය අතින් අසාර්ථක වුව ද කර්ණාටක චිත්‍රපට උළෙලේ හොඳම තිර රචනයට හිමි සම්මානයෙන් පිදුම් ලැබීය. ඔහුගේ චිත්‍රපට අතරින්  Roja  (1992),  Bombay (1995), Dil Se (1998) චිත්‍රපට ත්‍රිත්වය කතාබහට ලක් විය. අති සාර්ථක නිර්මාණ සමඟින් ක්ෂේත්‍රයේ සුවිශේෂ ස්ථානයක් ඔහුට හිමි විය. මනි රත්නම් සිනමාවට හඳුන්වා දෙන්නේ ඔහුගේ සොයුරු ජී. වෙන්කටේශ්වරන් විසිනි. වෙන්කටේශ්වරන් ද චිත්‍රපට නිෂ්පාදකවරයෙකි. චිත්‍රපට නිෂ්පාදක ජී. ශ්‍රිනිවාසන් මනි රත්නම්ගේ බාල සහෝදරයායි.

හසන් පවුලේ තෙවැන්නා චන්ද්‍ර හසන් සිනමාවට දායක නොවුණ ද ඔහුගේ දියණිය අනු හසන් රංගනයට පිවිසියාය. ඇය දමිළ රූපවාහිනි නිවේදිකාවක ලෙසින් කටයුතු කරන්නීය. Indira, Run, Maarjavelu, Kunthapura  වැනි සිනමා නිර්මාණ සඳහා අනු රංගනයෙන් දායක වූවාය. ඇය රඟපෑ Indira  චිත්‍රපටය රචනා කර අධ්‍යක්ෂණය කරන ලද්දේ සුහාසිනි විසිනි.

ගෞතමී ද හසන් පවුලට සම්බන්ධ වූ රංගන තරුවකි. ඇය ද දමිළ, තෙළිඟු, මලයාලම්, හින්දි සහ කණ්ණඩ චිත්‍රපට සඳහා රංගනයෙන් දායක වන්නීය. ටෙලිවිෂනයේ ද ඇය සුපුරුදු චරිතයකි. ව්‍යාපාරිකයෙකු වූ සන්දීප් භාතියා සමඟ විවාහ වී වසරකින් වෙන් වූ ගෞතමී දැන් කමල් හසන් සමඟින් ජීවිතය ගෙවන්නීය. ගෞතමී - කමල්ගේ පළමු හමුවීම සිදු වූයේ 1989 වසරේදී Apoorva Sagodharargal දර්ශන තලයේදීය. එය සොඳුරු මිතුදමක් විය. කාලයත් සමඟින් දෙදෙනාගේම පවුල් ජීවිත අවුල් වී ගිය පසුව දෙදෙනාම දුක එකට බෙදා ගත්තේ 2005 වසරේ සිටය.