වර්ෂ 2015 ක්වූ මැයි 07 වැනිදා බ්‍රහස්පතින්දා




අපේ සුප් බොන්න නෑයන්ටත් ආරාධනා කරනවා

අපේ සුප් බොන්න නෑයන්ටත් ආරාධනා කරනවා

ජීවන් හඳුන්නෙත්තිගේ කැදැල්ලට පිවිසෙමු

මූදුකරයේ සුළං රැල්ලක් ඇවිත් මගේ සවනතට කෙඳීරුවේ ජීවන් හඳුන්නෙත්තිගේ නිවහනට යන පාර කියන්න වගේ. ඒ මුහුදට ආසන්න බිම් තීරයේ මඟ දිගේ ඉදිරියට ගිය අපට දකින්නට ලැබුණේ බොහොම හුරුබුහුටි සුන්දර නිවෙසක්.

මීට වසර කිහිපයකට ඉහත යනවිට නොතිබුණු සුන්දරත්වයකින් ගොඩනැගුණු මේ නිවෙස ඉදිරිපස නැවතුණු අප බලාගෙන සිටියේ අප සොයන නිවෙසියා ගෙමිදුලට පිවිසෙනතුරු. කවුරු දැක්කත් මුවඟට නැගෙන සුපුරුදු සිනහවෙන් අපව පිළ ගත්ත ජීවන් හඳුන්නෙත්ති නිවෙස ඇතුළට පිවිසෙන්න ආරාධනා කළේ බොහොම සෙනෙහසින්.

“මෙවර අවුරුද්ද වගේම පොහොයත් බොහොම ඉහළින් සමරලා වගෙයි”

මම කිව්වේ ජීවන් අයියාගේ සිනහවේ පෙර නිමිති නරඹලා.

“මෙවර අවුරුද්දේ දවස් දෙකක් විතරයි මම ගෙදර හිටියේ. 15 වැනිදා ඉඳලා මම සිටියේ විදෙස් ගතවෙලා. නැවතත් ආවේ මේ 18 වැනිදා. ඒ අතර මගේ බිරියත්, පුතත් අවුරුද්ද සමරන්න අපේ බලපිටියේ මහ ගෙදරට ගියා. ඊට පස්සේ වෙසක් පෝය”

නිවෙස අවට තිබුණු අසිරිය මතකයට නැගු පමණින්ම ඔහු පැවසුවා.

“ඇයි ඔයාට අමතක වුණාද? පුතාගේ උපන්දිනේ ”

ජීවන් හදුන්නෙත්තිගේ බිරිය නිරෝෂිණී හදුන්නෙත්ති සැමියට මතක් කරලා දුන්නේ අප අසලට පිවිසෙන ගමන්.

“අපට හැමදාමත් අවුරුදු විශේෂයි. ඒ මොකද පුතා ඉපදුණේ අපේ‍්‍රල් මාසයේ 16 වැනිදා නිසා. එදාට උපන්දිනේ සැමරුවේ නැති වුණත් අපි 20 වැනිදා බොහොම චාමයට පුතාගේ උපන් දිනය සැමරුවා. අපට ඉන්නෙත් එක්කෙනා නේ”

ශනිඳු හඳුන්නෙත්ති පුතාගේ උපන් දිනයට ආසිරි පැතුවේ අම්මා, තාත්තා විතරක් නොවෙයි. දෙපැත්තේම නෑදෑ පිරිවරත් ඊට එක් වුණා.ඒ සූදානම අතර ජීවන් හඳුන්නෙත්ති වැඩ ගොඩක හිර වෙලා.

“මොනවද මේ දවස්වල ජීවන් කරන්නේ?”

“ මට ඉතිං කොහොමත් කලා කටයුතුවල වැඩවලින් නම් ඈත් වෙලා ඉන්න බැහැ. කලාවයි මමයි කියන්නේ දෙන්නෙක් නොවෙයි එක්කෙනෙක්. මේ දවස්වල රෝහණ හඳුන්නෙත්තිගේ ‘හේරා පොරෝ සමඟ බූරුවෝ’ කියන වේදිකා නාට්‍යයේ පුහුණුවීම් කරගෙන යනවා. අශෝක සෙනරත් මුදලිගේ ‘සිකියුරිටි සින්න තම්බි’ වේදිකා නාට්‍යය සාර්ථක ලෙස වේදිකා ගත වෙනවා. ඒ වගේම ‘ කිරිකඩේ’ කියලා ටෙලි නාට්‍යයක් මේ දවස්වල විකාශය වෙනවා.

එහි මම රඟපාන්නේ අවතාරයකගේ චරිතයක්. ඊට අමතරව ලබන මාසයේ පුහුණුවීම් ආරම්භ කරන්නට නියමිත‘දොර අරින්නේ නැහැ’ කියන මගේ වේදිකා නාට්‍යයේ මූලික කටයුතු සංවිධානය කරගෙන යනවා. ඉදිරියේදි මා රඟපෑ ‘රිදී පහන’ටෙලි නාට්‍යයත් ජාතික රූපවාහිනියේ විකාශය වේවි. ‘මගේ යාළු මාළු’ චිත්‍රපටය මේ දිනවල තිරගත වන අතරම චිත්‍රපට කිහිපයකටම රඟපෑමෙන් දායකවීමටත් ආරාධනා ලැබිලා තිබෙනවා. අගෝස්තු මාසයේ ඔස්ටේ‍්‍ර්ලියාවේ තිරගත කරන්නට නියමිත චිත්‍රපටයකටත් විදෙස් ගත වීමට නියමිතයි. මේ කොහොම වුණත් මම නිතරම මූලිකත්වය දෙන්නේ මගේ පවුලේ කටයුතුවලටයි.”

කොපමණ වැඩ රාජකාරි අතර සිටියත් ජීවන් තමන්ගේ පවුලේ කටයුතුවලට මුල්තැන ලබා දෙන්නේ බොහොම කැමැත්තෙන්. සැමියත්, බිරියත් දෙන්නාම රැකියාවල නිරත වන නිසා නිවෙසේ කටයුතු බෙදාගෙන කරන්න දෙන්නම පෙලඹිලා.

“දවසේ වැඩ කටයුතු ආරම්භ වෙන්නේ කොහොමද ?”

“අපේ ගෙදර මුලින්ම නැඟිටින්නේ නිරෝෂිණී තමයි. මගෙත්, පුතාගේත් තේ දෙක අරගෙන උඩට ඇවිත් අපිව අවදි කරන එක ඇගේ ඊළඟ රාජකාරියයි. ඊට පස්සෙයි අපි නැඟිටින්නේ. උයන පිහන දේවල් බිරිය කරන අතරතුර මා කරන්නේ පුතාව පාසල් යන්න සූදානම් කරන එකයි. ඊට පසුවයි අපි සූදානම් වී රාජකාරිවලට යන්නේ.”

ඒ අදහසට නිරෝෂිණීටත් කියන්නට යමක් තිබෙන සෙයක් පෙනෙන්නේ ඇගේ උවනෙන්. මා ඈ දෙස නෙත් හෙළුවේ ඒ කුමක් දැයි අසනු රිසියෙන්.

“සමහර දවසකට ජීවන් ගෙදරට වෙලා ඉන්නවා නම් ගෙදර තියෙන වැඩක් කරන්නත් අමතක කරන්නේ නැහැ. එයාට හොඳට උයන්න පුළුවන්. මොකක් හෝ හේතුවකින් මට දහවලට උයන්න බැරි වුණොත් එයා වගකීම බාර ගන්න අමතක කරන්නේ නැහැ. විශේෂයෙන්ම එළවළුවලට එයා වැඩිය කැමැතියි. හදලා තියෙන ඕනම කෑමක් ජීවන් කනවා. අර කෑම තිබුණොත් හොඳයි, මේ කෑම උයන්න කියලා එයා මට කිසිම දවසක කරදර කරලා නැහැ.

ඒ වගේම එයාට අපූරුවට සුප් හදන්න පුළුවන්. එයාගේ කැමැතිම ආහාරයක් තමයි සුප් කියන්නේ. අපේ ගෙදර සතියට කොහොමත් දවස් පහක් විතර සුප් හැදෙනවා. ඒ හදන සුප් එක කොයිතරම් විශාලද කිව්වොත් අවට ඉන්න නෑදෑ ගෙවල්වල අයටත් සුප් බොන්න ආරාධනා ලැබෙනවා. මම නම් වඩාත් කැමැති චොක්ලට් කන්නයි. විශේෂයෙන් චොක්ලට් තියෙනවා නම් මට වෙන මොකක්වත් ඕන නැහැ. ජීවන් එළියට ගිහින් එනකොට චොක්ලට් නොගෙනාවත් මටයි, පුතාටයි මොනවා හරි දෙයක් ගේන්නත් අමතක කරන්නේ නැහැ.”

බොහොම සරලව ගෙවෙන ජීවිතයේ දෙන්නා දෙමහල්ලන්ගේ එකමුතුවෙන් නිවෙසේ සියල්ලම කටයුතු කෙරෙනවා.

“ නිවෙස ශුද්ධ පවිත්‍ර කටයුතු කෙරෙන්නෙත් දෙදෙනාගේම සහයෝගයෙන් වගෙයි. ”

“ ඔව්. අපේ නිවෙසේ ඒ සෑම දෙයක්ම කෙරෙන්නේ ඒ විදියටයි. බිරියත් ඒ කටයුතුවල නියැළෙනවා. ඇය වෙනත් වැඩක නම් ඉන්නේ මමත් සමහර දවසට නිවෙස අස්පස් කරනවා.”

මේතරම් සුන්දරව ගෙවෙන ජීවිතයේ ජීවන් - නිරෝෂිණීගේ බොහෝ ගතිගුණ අගය කරන්නේ ජීවිත කාලයම සංසාර ගමන එකට ගත කරන්න ආව සොඳුරියව අගය කරමින්.

“ඇගේ අගය කරන ගතිගුණ මොනවද ?”

“ඇය මාව වගේම මගේ වෘත්තියත් අවබෝධ කරගෙනයි අපි ජීවත් වෙන්නේ. නිතරම නිරෝෂිණී මම රඟපාන චරිතයක් ජනප්‍රිය වෙනවා නම් වඩාත් කැමැතියි. ඇගේ ඒ ගතිගුණ මා අගය කරනවා.”

ඒ අතර නිරෝෂිණී ජීවන්ගේ අගය කරන ගතිගුණ ද බොහෝයි.

“ජීවන් බොහොම සරල කෙනෙක්. නිතරම ගෙදර ඉන්න විට වුණත් විහිළුවෙන් තමයි කාලය ගත කරන්නේ.”

ජීවන්ගේ බිරිය නිරෝෂිණී නර්තන ගුරුවරියක්. ඈ කොළඹ කලාපයේ උපදේශකවරියක්.

“අපි දකින නර්තන ගුරුවරියන් වගේ නෙවෙයි ඔයා නම් නේද ?”

මගේ මුවඟට නැගුණේ සිනහවක්. ඇය ද ඒ සිනහවට එකතු වූයේ මෙසේ පවසමින්.

“ මම නිතරම උත්සාහ ගන්නේ මගේ උසේ තරමට බර පවත්වාගෙන යන්නයි. විශේෂයෙන්ම නර්තන ගුරුවරියක් වුණොත් තමන්ගේ ශරීරයේ හැඩය ගැන උනන්දු වෙන්න ඕනෑ. මම නම් ඒ ආදර්ශය නිතරම ගුරුවරුන්ට දෙනවා.”

දෙන්නාගේම ආදරය විඳීමින් කල්ගෙවන ශනිඳු පුතා ජීවන් - නිරෝෂිණී අතරට ආවා. ඒ අම්මාගේ වගේම තාත්තගෙත් හුරතලය විඳීන්න හිතාගෙන. ඒත් ඉතිං කෝ ඒකට ඉඩක්.

“ශනිඳු පුතා දැන් බොහොම උස් මහත් වෙලා ”

මීට වසර කිහිපයකට කලින් බොහොම කුඩා දරුවෙක් විදියට දැක්ක පුංචි පුතාව දුටු මනතින් මට කියැවුණේ ඉබේටම.

“ පුතා ඉගෙන ගන්නේ පහේ පන්තියේ. එයා ඉස්කෝලේ යන්නේ ලයිසියම් ජාත්‍යන්තර පාසලට. ඉගෙන ගන්න වගේම රඟපාන්නත් පුතා දක්ෂයා. චිත්‍රපට කිහිපයකටමත් රංගනයෙන් දායක වුණා. හොඳට ඉගෙන ගෙන වෙනත් රැකියාවක් කරන ගමන් රංගනය පැත්තට යොමු වුණාට මගේ කිසිම අකැමැත්තක් නැහැ. මේ වනවිට ගිටාර් එකයි, ඩ්‍රමර් ප්ලේ කරන්න පුතා දක්ෂයා.”

ජීවන් - නිරෝෂිණීත් තමන්ගේ ජීවිතයේ අනාගත බලාපොරොත්තුව වුණු දක්ෂකම් රැසකින් සපිරුණු පුංචි පුතුව තුරුල් කර ගත්තේ බොහොම ආදරයෙන්.