වර්ෂ 2015 ක්වූ මැයි 07 වැනිදා බ්‍රහස්පතින්දා




කෙටි නාට්‍ය උලෙළට අයැදුම්පත් බාර ගැනේ

කෙටි නාට්‍ය උලෙළට අයැදුම්පත් බාර ගැනේ

සංස්කෘතික අමාත්‍යාංශය මගින් සංවිධානය කරන, රුවන් විජේවර්ධන සංස්කෘතික පදනම මගින් මෙහෙය වන කෙටි නාට්‍ය තරගාවලිය සඳහා අයැදුම්පත් බාර ගැනීම මේ මස 20 වැනිදාට ප්‍රථම සිදු කෙරෙයි.

මේ කෙටි නාට්‍ය උලෙළ ගම්පහ දිස්ති‍්‍රක්කයේ පදිංචි කෙටි නාට්‍යය තරගකරුවන් සඳහා පමණක් විවෘත අතර හොඳම නිළිය, හොඳම නළුවා, හොඳම සහය නළුවා, හොඳම සහය නිළිය, හොඳම සංගීතය, හොඳම අංගරචනය, හොඳම නිෂ්පාදනය, හොඳම නාට්‍යය යන අංශවලට සම්මාන හා සහතිකපත් පිරි නැමෙයි. මේ කෙටි නාට්‍ය තරගාවලියට ඇතුළත් වීමට කැමැතතක් දක්වන්නන් 072 – 3440220 ( අනුර ශී‍්‍රනාත්) හා 075-0594134 (අනුර රාජපක්ෂ) යන දුරකථන අංකවලට කතා කිරීමෙන් හෝ අනුර රාජපක්ෂ, 131/2සී, මහවෙල පාර, පහල බියන්විල, කඩවත යන ලිපිනයට අයැදුම්පත් එවීමෙන් ඒ සඳහා සහභාගි විය හැකිය.


බෘහස්පතියෙන් ජන සංගීත කණ්ඩායමක්

බෘහස්පති භාෂා සාහිත්‍ය කලා සරසවියෙන් සැබෑ ජන ගී නාද මාලා ප්‍රතිස්ථාපනය කිරීමේ අරමුණෙක් ඇරැඹෙන බෘහස්පති සරසවි ජන සංගීත කණ්ඩායමට ඔබත් ඇතුළත් වීමට කැමැති නම් අවුරුදු 10ට වැඩි, ගායනය, නර්තන හා වාදනයේ දස්කම් දක්වන ස්තී‍්‍ර/ පුරුෂ ඕනෑම අයෙකුට අයැදුම් කළ හැකිය. ඉල්ලුම්පතක් ගෙන්වා ගැනීමට නම සහ ලිපිනය ලියූ කෙටි පණිවුඩයක් 0718605999 දුරකථන අංකයට එවීමෙන් හෝ ඉරිදා දිනයකදි බෘහස්පති සරසවියට පැමිණ හෝ චන්ද්‍රලතා සේනානායක, සම්බන්ධීකාරක, බෘහස්පති ජන සංගීත කණ්ඩායම, නො.16, මාර්ට් ටෙරස්, බේස්ලයින් මාවත, දෙමටගොඩ, කොළඹ 09 යන ලිපිනයට ඔබගේ නම සහ ලිපිනය ලියූ ලියුම් කවරයක් එවන්න. අයැදුම්පත් භාර ගන්නා අවසන් දවස මේ මස 30 වැනිදා වෙයි.


‘සඳ තවම තරුණයි’ නමින් වැඩිහිටියන්ට වැඩමුළුවක්

කොළඹ දිස්ති‍්‍රක්කයේ දක්ෂතා අනුව තෝරාගත් වැඩිහිටියන් පිරිසක් සඳහා වෙන්වුනු නාට්‍ය කලාව හා රස වින්දන වැඩමුළුවක් මේ මස 09 හා 10 වැනිදා දෙදින ඇතුළත දී පෙරවරු 9.00 සිට දවසේම බත්තරමුල්ල බස්නාහිර පළාත් සමාජ සේවා අමාත්‍යංශයේ රංමගපායේදි පැවැත්වෙයි. බස්නාහිර පළාත් සමාජ සේවා අධ්‍යක්ෂිකා බී.එච්. සී. ශිරෝමාලාගේ මඟ පෙන්විම යටතේ සිදු කෙරෙන මේ කටයුත්ත මෙහෙයවනු ලබන්නේ රාජ්‍ය සම්මානලාභී හා කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ නර්තන හා රංග කලා පීඨයේ පීඨාධිපති මංගල සේනානායක විසිනි.

සමාජයේ වැඩිහිටියන් හා වැඩිහිටිභාවය පිළිබඳ කථිකාවතක් ඇති කිරීමේ අදහසින් මෙන්ම සමාජ ස්ථරයේ සහානුකම්පනයක් ඇති කිරීමේ අදහසෙන් බස්නාහිර පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව ආරම්භ කරන ලද මේ වැඩසටහන හඳුන්වා දෙන්නේ ඉදිරියේදී වේදිකා ගත කිරීමට නියමිත වේදිකා නාට්‍යය වූ ‘සඳ තවම තරුණයි’ යන නාමයෙනි. සෑම විශේෂිත දිනකම හා මසකට වරක් සියලු වැඩිහිටියන්ගේම සහභාගිත්වයෙන් සිදු කෙරෙන මේ කටයුත්ත ඔවුන්ගේ නැටුම් ගැයුම් ආදී නිර්මාණ රැසකින් සමන්විත වෙයි. මේ වනවිට කොළඹ, කළුතර, ගම්පහ නගර මූලික කරගනිමින් පැවැත්වුණු සම්මුඛ පරීක්ෂණයකදී තෝරාගත් හැත්තෑ දෙනෙක්ගේ සහභාගිත්වයෙන් ‘සඳ තවම තරුණයි’ වේදිකා නාට්‍යය වේදිකා ගත කිරීමට නියමිතය.


පටාචාරා නෘත්‍ය නාටකයෙන් පෙළ සහ ඩී.වී.ඩී පටයක්

ජානකී හිල් පිටපත ලියා අධ්‍යක්ෂණය කළ ‘පටාචාරා’ නෘත්‍ය නාටකයේ පෙළ සහ ඩී.වී.ඩී පටය එළි දැක්වීමේ උලෙළ අද දින පස්වරු 3.00ට ශී‍්‍ර ලංකා පදනම් ආයතනයේ දී පැවැත්වෙයි. පටාචාරා නෘත්‍ය නාටකයේ ජවනිකා වරින්වර රඟ දැක්වෙන අතර මහාචාර්ය සරත් විජේසූරිය සහ මහාචාර්ය ආරියරත්න කළු ආරච්චි දේශන පැවැත්වීමට නියමිත අතර මුද්‍රිත කෘතිය හා ඩී.වී.ඩී පටය පිළිගන්වනු ලබන්නේ රඹුකන සිද්ධාර්ථ හිමියන්ටය. මේ වැඩසටහන මෙහෙය වන්නේ මහින්ද කුමාර දළුපොතයි.