වර්ෂ 2015 ක්වූ මැයි 07 වැනිදා බ්‍රහස්පතින්දා




අරුම පුදුම පොතක්

අරුම පුදුම පොතක්

ප්ලැන්ක්ටන් විසින් ක්‍රැබී පැටීස් සෑදීම සඳහා යොදාගනු ලබන රහස් වට්ටෝරුව සොරකම් කිරීමට තම අවසාන උත්සායද දරයි. මෙම උත්සාහයේදී රහස් වට්ටෝරුව අතුරුදන් වන අතර මුහුදු පතුලේ බිකිනි බොටම්ස් ජීවින්ගේ ලෝකය බරපතල අවධානමකට ලක්වේ. එය නවතාලිය හැකි එකම ක්‍රමය නමි වීරයන් ජලයේ මතුපිටට පැමිණිමයි.

ඔවුන්හට බ’ගර් බර්ඩ් නම් මුහුදු මංකොල්ලකරුවා සමඟ සටන් කර වට්ටෝරුව නැවත ලබාගත යුතුව ඇත. මෙම ගමනේදී වික්‍රමාන්විත අත්දැකීම් රැසකට මුහුණදෙන වීරයන්හට හමු වන්නේ අපූරු දෙයකි. එනම් ලියූ ඕනෑම දෙයක් සැබෑවන අරුම පුදුම පොතකි. එම පොතේ උපකාරයෙන් සුපිරිවීරයන් බවට පත් වී තම ලෝකය බේරා ගැනීම ඔවුන්ගේ එකම අභිප්‍රායයි.

කෙනෙකුට මේ කතාව අපභ්‍රංසයක් විය හැකිය. නමුත් ස්පොන්ජ්බොබ් සහ ඔහුගේ මිතුරන්හට ආදරය කරන මිලියන ගණනක රසික රසිකාවන්ට මෙය සතුට ගෙන දෙන්නකි.

ස්පොන්ජ් බොබ් චරිතය මුලින්ම රිදී තිරයට පැමිණියේ 1999 වසරේ ආරම්භ කළ Spongebob SquarePants නම් රූපවාහිනි කතා මාලාවෙනි. එදාමෙදා තුර රූපවාහිනි කතාන්දර 190ට වැඩි ප්‍රමාණයක් විකාශය වී ඇති මෙම කාටුන් චරිතය ප්‍රථමයෙන් සිනමාවට පිවිසියේ 2004 වසරේදීය. ඒ The Spongebob SquarePants Movie නමින්ය. ඉන් අනතුරුව පිළිවෙලින් 2007 වසරේදී Spongebob’s Atlantic SquarePants සහ 2009 වසරේදී Spongebob’s Truth or Square ලෙසින් රූපවාහිනි චිත්‍රපට දෙකක් විකාශය විය. ස්පොන්ජ්බොබ්ගේ නවතම වික්‍රමයන් ගෙන එන The Spongebob SquarePants Movie : Sponge Out of Water නමින් සජීවකරණ චිත්‍රපටයක් ලෙස ලොවපුරා තිරගත විය. මේ වන විට ස්පොන්ජ්බොබ් හට ආදරය කරන්නා වූ ලාංකේය හිතවතුන්ටද එය දැක ගැනීමේ අවස්ථාව උදා වී ඇත.

පෝල් ටිබිට් විසින් අධ්‍යක්ෂණය කළ මෙහි තිර රචනය ඔහු සමග රචනා කරල ලද්දේ ස්ටෙෆන් හිලෙන්බර්ග් විසිනි. සංගීතය ජෝන් ඩෙබ්නේ ගෙනි. බෙදාහරින්නේ පැරාමවුන්ට පික්චර්ස් විසිනි. Sponge Out of Water තත්ත්පර 92ක ධාවන කාලයකින් යුතු වේ. ජොන් කෙනී, ඇන්තෝනියෝ බැන්ඩ්‍රේස්, ක්ලැන්සි බ්‍රවුන්, රොජර් බම්ප්ස්, මැට් බ්‍රේ ඇතුළු පිරිසක් මේ සඳහා දායක වෙයි.

ඩොලර් මිලියන 74ක පිරිවැයකින් නිර්මාණය කළ Sponge Out of Water මේවන විට ලබා ඇති ආදායම ඩොලර් මිලියන 310.7කි. මේ සඳහා විචාරකයන් විවිධ අදහස් පළකර තිබේ. රූපවාහිනි වැඩසටහන් කොටස් විශාල ප්‍රමාණයක් එකතු කිරීමට ගත් උත්සාහයක් ලෙසින් ඇතැම් විචාරකයන් මෙය හැඳින්වීය. කුඩා දරුවන් වෙනුවෙන් නිර්මාණය කළද වැඩිහිටියන්ගේ ආශ්වාදය සඳහාද යමක් ඇති බව ඔවුන්ගේ අදහසයි. එසේම පවුලේ සැමට නැරඹිය හැකි චිත්‍රපටයක් ලෙස සුවිශේෂ වේ. Spongebob රූපවාහිනි වැඩසටහන් මාලාවට වඩා ඉදිරියෙන් සිටින හාස්‍ය රසයෙන් පිරි සිනමා නිර්මාණයක් බවද විචාරකයන් Sponge Out of Water චිත්‍රපටය හඳුන්වා ඇත.