වර්ෂ 2015 ක්වූ මැයි 07 වැනිදා බ්‍රහස්පතින්දා




අර්ජුන්ගෙන් පිළිතුරු

අර්ජුන්ගෙන් පිළිතුරු

ප්‍රශ්නය - සල්ලි මල්ලි සල්ලි චිත්‍රපටයේ පිටපතක් තිබෙන බව පෙනී යනවා. මෙය ඇත්තක්ද?

සරත් රණසිංහ

කපුගොඩ, මාළිද

අර්ජුන් - තිබෙන තැනක් තියෙනවා නම් හෙළි කරන්න සරත්. අපි නම් ඒ ගැන දන්නේ නැහැ.

ප්‍රශ්නය -සුනිල් ශාන්ත විසින් ගායනා කරන ලද බොන්දුරේ නම් ගීතයේ වචන කිනම් භාෂාවකට අයත් වන්නේද? එම ගීතයෙහි පද රචකයා කවුද?

අර්ජුන් - වංග භාෂාවට අයත් ගීතයක්. එය බෙංගාලි බසින් ගැයෙන පාරු ගීතයක්. බොන්දුරේ යනු මිත්‍රයායි.

ප්‍රශ්නය - දෛවයෝගය චිත්‍රපටයේ එන ජීවිත ගමනේ දෛවයෝගයේ වලකන රුසියා කවුරුද ලෝකේ ගීතය ගැන විස්තරයක් දැන ගත හැකිද?

අයිලින් සෝවිස්

වැලිසර, රාගම

අර්ජුන් - මොහිදින් බෙග් ගායනා කරන මෙම විශිෂ්ට ගීතය ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් චිත්‍රපටයක් උදෙසා ලියන ලද මුල්ම ගීතයයි. එය සංගීතවත් කළේ ඉන්දියානු සංගීතඥයකු වන සජාද් හුසේන් විසිනි. ඔහු සංගීතවත් කළ එකම සිංහල චිත්‍රපටය දෛවයෝගයයි. මේ ගීතය චිත්‍රපටයට ඇතුළත් වන්නේ නාමාවලියත් සමඟ තේමා ගීතයක් ලෙසයි.

ප්‍රශ්නය - වැහිලිහිනි නමින් චිත්‍රපටයක් ප්‍රදර්ශනය කළාද?

ඩී. බී. කුලතුංග

පූගොඩ

අර්ජුන් - ඔව්. 1972 මාර්තු 15 වැනිදා මුල්වරට තිරගත වූ වැහිලිහිනි චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ චන්ද්‍ර එස්. පෙරේරා. මේ චිත්‍රපටයේ පෝස්ටරය හොඳම සිනමා පෝස්ටරය ලෙස ජාත්‍යන්තර සම්මානයක් දිනා ගත්තා. මෙම චිත්‍රපටය ලංකාවේදීත් විශාල වාර්තාවක් තැබුවා. එනම් දවස් තුනක් වැනි කෙටි කාලයක් තුළ සියලු සිනමාහල් තුළින් ගැලවුණු එකම චිත්‍රපටය හැටියටයි.

ප්‍රශ්නය - මංගම්මා සබදම් නැමැති ද්‍රවිඩ චිත්‍රපටයේ රඟපෑ ප්‍රධාන නළු නිළියන් ගැන හා විස්තර ටිකක් අපට කියන්න.

එච්. එස්. සැමුවෙල්

පංචිකාවත්ත, මරදාන

අර්ජුන් - මංගම්මා සබදම් නමින් දෙමළ චිත්‍රපට දෙකක් තිබෙනවා. එයින් පළමුවැන්න 1943 වර්ෂයේ තිරගත වූ ටී. ජී. රාගවංචරී අධ්‍යක්ෂණය කරන ලද චිත්‍රපටයයි. එහි රංජන්, වසුන්දරා දේවි, එන්. එස්. ක්‍රිෂ්ණන්, ටී. ඒ. මදුරන් රඟපෑවා. දකුණු ඉන්දියානු ජනකතාවක් ඇසුරින් තැනුණු මෙම චිත්‍රපටයේ කතාව ඇසුරෙන් සිංහලෙන් මාතලන් චිත්‍රපටය නිපැයුවා. අනෙක් මංගම්මා සබදම් චිත්‍රපටය නිපද වුණේ 1985 වසරේ. එය කේ. විජයන් අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටයේ කමල් හසන්, මාදවී, සත්‍යරාජ්, සුජාතා රඟපෑ අතර එය කසම් පයිඩා කර්මේ වාලේ කී නම් හින්දි චිත්‍රපටයේ අනුකරණයක්. සිංහලෙන් 'නැවත අපි එක් වෙමු' තැනුණේ එම දෙමළ චිත්‍රපටය අනුසාරයෙනි. 1943 තැනුණු මංගම්මා සබදම් චිත්‍රපටයම 1965 වසරේදී ඒ නමින්ම තෙලිඟු බසින් නිර්මාණය කෙරුණා. වී. විට්ටලාචාර්ය අධ්‍යක්ෂණය කළ එහි එන්. ටී. රාමරාවෝ, ජමුණා, වානිස් ශ්‍රී ආදීන් චරිත නිරූපණය කළා.

ඔබේ සිනමා පැන විසඳුම් අර්ජුනගෙන් පිළිතුරු. සරසවිය, ලේක්හවුස්, කොළඹ 10