|
මතකයේ
රැඳුණු
ටෙලි 7ක්
අද පුදුම හත සැරසෙන්නේ ටෙලි නාට්‍ය හතකින්. හැමදාම චිත්‍රපට ගැන කතා කළත් පුදුම හත
ටෙලි
රූපවාහිනියේ ආගමනයත් සමඟ අපේ රටේ ටෙලි නාට්‍ය ආරම්භයේ සිටම ඒ සඳහා දායක වෙමින් සිටින ඔහු ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ සුවිශේෂ චරිතයක්. ඒ නිසාම ඔහු පුදුම හත වෙනුවෙන් තෝරා ගත්තේ එදා මෙදා තුර අපේ රටේ නිර්මාණය වූ ටෙලි නිර්මාණ අතරින් කතාබහ කළ හැකි වූ ටෙලි නාට්‍ය හතක් පිළිබඳවයි.
ළාහිරු දහසක්
ඊට පෙර කොටස් එක, දෙක වශයෙන් වූ ටෙලි නාට්‍ය නිර්මාණය කළත් ‘ළාහිරු දහසක්’ සමඟින් අපට මාලා නාට්‍ය අත්දැකීම විඳ ගන්න අවස්ථාව ලැබුණා. ඊට පෙර ඩී. බී. නිහාල්සිංහ විසින් අධ්‍යක්ෂණය කළ ‘දිමුතු මුතු’ ටෙලි නාට්‍ය විකාශය වුණා. ළාහිරු දහසක් ‘දිමුතු මුතු’ සමඟින්ම ආරම්භ වුණු ටෙලි නාට්‍යයක්. එහි ආරම්භය සනිටුහන් වුණේ කොටස් හතරක ටෙලි නාට්‍යක් ලෙසින්. නමුත් එය ලද අසීමිත ප්‍රේක්ෂක ප්‍රතිචාර හේතුවෙන් තවත් කොටස් 9ක් දක්වා දීර්ඝ කරන්න සිදු වුණා. අවසානයේදි එය කොටස් 13ක් එක් වුණා. අවසානයේදී එය නිමා වුණේ කොටස් 26ක ටෙලි නාට්‍යයක් ලෙසින්. ඒ ප්‍රේක්ෂකයන්ගේ දැඩි ඉල්ලීම නිසයි. ඔවුන් ඒ තරමටම ‘ළාහිරු දහසක්’ ටෙලි නාට්‍යයට ආදරය කළා. රූපවාහිනිය පැමිණි ඒ කාලයේ දැන් වගේ හැම ගෙදරකම රූපවාහිනි යන්ත්‍ර තිබුණේ නැහැ. ගමටම එක ගෙදරක වගේ තමයි රූපවාහිනියක් තිබුණේ. ඉතින් මුළු ගමම එනවා නරඹන්න. ළාහිරු දහසක් අධ්‍යක්ෂණය කළේ පරාක්‍රම නිරිඇල්ල විසින්. රූපවාහිනි රචනය කළේ පසුගියදා අප අතරින් වියෝ වූ දයා අල්විස්. සංගීත නිර්මාණය මර්වින් පෙරේරාගේ. ඒ සඳහා සහය අධ්‍යක්ෂවරයෙක් ලෙසින් දායක වීමේ සුවිශේෂ අවස්ථාව මටද හිමිවීම මගේ කලා ජීවිතයේ සංධිස්ථානයක්.
රේඛා
එහි ඉතා සුන්දර ගීත රාශියක් අඩංගු වුණා. එම ගීත රචනා කළේ මහාචාර්ය සුනිල් ආරියරත්න විසින්. සංගීත නිර්මාණය කළේ ආචාර්ය රෝහණ වීරසිංහ. මෙහි ඇතුළත් වුණේ ඉතාම සරළ කතා පුවතක්. එය සංගීත ගුරුවරයෙක්, නැටුම් ශිල්පිනියක් සහ ගායිකාවක අතර ඇති වන සරළ ප්‍රේම කතාවක්. ලක්ෂ්මන් විජේසේකර මෙහි සංගීත ගුරුවරයා ලෙසින්ද දේවිකා මිහිරාණි නැටුම් ශිල්පිණිය ලෙසින්ද චන්ද්‍රලේඛා පෙරේරා ගායිකාව ලෙසින්ද අපූරු ලෙස චරිත නිරූපණය කළා. දැන් එය විකාශය වී තිස්වසරක් පමණ ගත වුවත් අදටත් එහි ගීත ජනතාව අතර ඉතාම ප්‍රසිද්ධයි. එහි වූ ‘වන සිව්පාවුන්’, ‘දැල් වූ පහන්’ වැනි ගීත විවිධ ගුවන්විදුලි නාලිකා තුළින් අපට අසන්නට ලැබෙනවා. සංගීතමය ටෙලි නාට්‍යයක් ලෙසින් රේඛා ජනතාව අතර ඉහළ ජනප්‍රියත්වයක් ලබා ගත්තා. එයින් පසු තවත් එවැනි වූ ටෙලි නිර්මාණ බිහි වුවත් රේඛා ටෙලි නාට්‍යයට ඒ අතරේ ප්‍රමුඛස්ථානය හිමි වෙනවා.
කඩුල්ල
එහි ඇතුළත් වූ කොටස් ගණන වුණේ දහඅටක්. නමුත් කොටස් දහඅට තුළ තිලක් ජයරත්න නම් රූපවාහිනි රචකයා විශාල කතාවක් අපට ඉදිරිපත් කළා. එහි ඉතාම ගැඹුරු දෙයක් සාකච්ඡා කෙරුණා. ධර්මසේන පතිරාජ අතින් කඩුල්ල ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය වුණා. එය අපේ රටේ ව්‍යාපාරික පන්තියේ විකාශය සමඟින් කලාව දේශපාලනය එක් කළ අපූරු සංධිස්ථානයක් ද වුණා. සිරිල් වික්‍රමගේ, වසන්ති චතුරාණි සහ ජැක්සන් ඇන්තනි වැනි රංගන ශිල්පීන් ශිල්පිනියන් ඉදිරිපත් කළ චරිත අදටත් ප්‍රේක්ෂක මනසේ තැන්පත්ව තිබෙනවා. අද වනවිට වරින් වර කඩුල්ල ටෙලි නාට්‍ය විකාශය කළත් ඒ කිසිම විටෙක ඒ වෙනුවෙන් වූ ප්‍රතිචාර නම් අඩු වුණේ නැහැ. විශිෂ්ට නිර්මාණ ජනප්‍රිය වෙන්නේ නැති බව දැන් හැමෝම කියන කතාවක්. එය බිඳ දැමූ ටෙලි නිර්මාණයක් ලෙසින්ද මම ‘කඩුල්ල’ ටෙලි නාට්‍ය හඳුන්වන්න කැමැතියි.
පස්සෙ ගෙනා මනමාලි
‘පස්සේ ගෙනා මනමාලි’ රූපවාහිනියට රචනා කළේ ඇරැව්වල නන්ද්‍රිමිත්‍ර විසින්. ඔහු පිටපත් රචනා විශාල සංඛ්‍යාවක් කළේ නැහැ. දහහතරක් පමණ වූ ඒ පිටපත් අතරින් ‘පස්සෙ ගෙනා මනමාලි’ ඔහු විසින් කළ විශේෂ පිටපතක්. එච්. ඒ පෙරේරා, ශ්‍රියාණි අමරසේන, ගීතා කාන්ති ජයකොඩි, නිල්මිණි තෙන්නකෝන් වැනි රංගන ශිල්පීන් පිරිසක් මේ සඳහා රංගනයෙන් දායක වුණා. ළමා නළු නිළියන් ලෙසින් මේ සඳහා දමිතා අෙබිරත්න සහ අමා විජේසේකර රංගනයෙන් දායක වුණා. අද වනවිට රංගන ක්ෂේත්‍රයේ ඔවුන් විශාල ගමනක් ඇවිත්. සිනමාව තුළවත් මෙවැනි ගැඹුරු චරිතයක් නිරූපණය කිරීමේ අවස්ථාව තමන්හට නොලැබුණු බව ශ්‍රියාණි වරෙක මෙහි ඇයගේ චරිතය පිළිබඳ පවසා තිබුණා. සාකච්ඡාවට ලක් වූ ටෙලි නාට්‍යයක් නිර්මාණය කරන්න ලැබීම මටත් විශාල සතුටක්. මගේ ටෙලි නිර්මාණ ජිවිතයේත් මේ තරම් සාර්ථක ගමනක් ඒමට එය ආශිර්වාදයක් වුණා.
වෙද හාමිනේ
වෙද හාමිනේ ටෙලි නාට්‍ය ජයන්ත චන්ද්‍රසිරිගේ ප්‍රථම ටෙලි නිර්මාණය යි. මම, ජයන්ත අපි එකම කාලයේ වේදිකාව හරහා කලාවට එකතු වූ අයයි. මම පස්සේ ගෙනා මනමාලි නිර්මාණය කරන විට ජයන්ත වෙද හාමිනේ නිර්මාණය කළා. වෙද හාමිනේ ටෙලි නාට්‍යයත් ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ ලොකු වෙනසක් කළ ටෙලි නිර්මාණයක්. අසූව දශකයේ සිට කොතෙකුත් ටෙලි නාට්‍ය බිහි වුණත් වෙද හාමිනේ අදටත් කතා කරන ටෙලි නාට්‍යයක්. එයට එක් වූ පේ‍්‍රමසිරි කේමදාස සංගීතය අපූරු සුන්දරත්වයක් එක් කළා. කමල් අද්දරආරච්චි, රෙබෙකා නිර්මලී, ශි‍්‍රයන්ත මෙන්ඩිස් වැනි රංගන ශිල්පීන් ශිල්පිනියන්ගෙන් ලද දායකත්වයත් සිහිපත් කළ යුතුයි. වෙදහාමිනේ ටෙලි නාට්‍ය විකාශය වී කාලයක් ගතවුවත් එදා ප්‍රේක්ෂකයන්ගේ සිතු තුළ අදටත් එහි මතකයන් ඉතා සුන්දර ලෙසින් තැන්පත්වී තිබෙනවා. ඒ එය සතු වූ විශේෂත්වය නිසාමයි.
දූදරුවෝ
‘දූදරුවෝ’ ටෙලි නාට්‍ය නිර්මාණ වෙන්නේ 1990දී. එතැන් සිට 1995 වන තෙක්ම එය විකාශය කළා. අපේ රටේ හැදුණු පළමු දීර්ඝතම ටෙලි නාට්‍ය වන්නේ දූදරුවෝ. එතෙක් ටෙලි නාට්‍ය නිර්මාණය කළේ උපරිමය කොටස් තිස්අටක් වන ලෙසයි. නමුත් දූදරුවෝ කොටස් 230ක් වුණා. ඒ කාලයේ දැන් වගේ හැමදාම ටෙලි නාට්‍ය විකාශය කළේ නැහැනේ. සතියකට එක් වරක් පමණක් විකාශය කළේ. ඒ නිසා අවුරුදු පහක්ම එය විකාශය කළා. ‘දූදරුවෝ’ සමඟ සම්බන්ධ වූ නළු නිළි කැළත් බොහොම විශේෂයි. හෙන්රි ජයසේන, අයිරාංගනි සේරසිංහ, නීල් අලස්, වීනා ජයකොඩි, ජයලත් මනෝරත්න, චාන්දනි සෙනෙවිරත්න, බුද්ධි වික්‍රම, චන්ද්‍රා කළුආරච්චි, විජේරත්න වරකාගොඩ, ප්‍රියා රණසිංහ වැනි කණ්ඩායමක් නැවත එකතු කරන්න පුළුවන් ෙවිවි කියා හිතන්න බැහැ. එදා තරුණ චරිත නිරූපණය කළ නිල්මිණි තෙන්නකෝන්, කැළුම් විජේසුරිය, උදේනි අල්විස්, අජිත් ලොකුගේ, යශෝධා විමලධර්ම වැනි රංගන ශිල්පීන් ශිල්පිනියන් ප්‍රේක්ෂක මනසේ ඉතාම ආදරණීය ලෙසින් අදත් ජීවත් වෙනවා. ‘දූදරුවෝ’ සෝමවීර සේනානායක අතින් රචනා වූ හොඳම පිටපතක් ලෙසින් හඳුන්වන්න හැකියි. දූදරුවෝ සාර්ථකත්වය පසුපස සිටින්නේ ඔහුයි. ඒ වෙනුවෙන් රෝහණ වීරසිංහ නිර්මාණය කළ තේමා සංගීතය අදටත් ප්‍රේක්ෂක හිත් තුළ රැව් දෙනවා.
චෙස්
පුදුම හත වෙනුවෙන් මම මේ දක්වා තෝරා ගත් සියලුම ටෙලි නිර්මාණ අපේ ටෙලි නාට්‍ය ආරම්භක අවස්ථාවේදි බිහි වූ ටෙලි නිර්මාණයි. ඒ වගේම බොහෝ දෙනා පවසන්නේ වර්තමානයේ සාර්ථක ටෙලි නාට්‍ය බිහි වෙන්නේ නැති බවයි. බලන්නන්වාලේ ටෙලි නාට්‍ය බලන බවට ඇතැමුන් චෝදනා කරනවා. තවත් අයෙකුගේ අදහස බලනවාට වඩා ටෙලි නාට්‍ය අසන බවයි. නමුත් ඒ සියලු කතා සාවද්‍ය කරමින් මෑතකදී නිර්මාණය වූ බොහොම සාර්ථක ටෙලි නිර්මාණයක් ලෙසින් ‘චෙස්’ ටෙලි නාට්‍ය හඳුන්වන පුළුවන්. සත්‍ය කතා පුවතක් ඉතාම නාට්‍යමය ස්වරූපයකින් රූපවාහිනි මාධ්‍යයට ගෙන ඒමට ආනන්ද අබේනායක නම් නිර්මාණකරුවා සමත් වී තිබෙනවා. ආරම්භක යුගයේ සිට අද දක්වා ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ සිටින තුන් හතර දෙනා අතරින් ආනන්දට විශේෂ තැනක් හිමි වෙනවා. ඔහු මෙවැනි විශේෂ තේමා යටතේ ටෙලි නාට්‍ය නිර්මාණය කළා. එයින් බොහොමයක් හොඳම නිර්මාණ ලෙසින් සම්මානයට පාත්‍ර වූ ඒවා. ඒ වගේම ජනතාව අතර විශාල ලෙසින් ජනප්‍රියත්වයක් ලබා ගැනීමත් විශේෂයි. ඒ අතරින් මෑතක නිර්මාණය කළ චෙස් ටෙලි නාට්‍යද සුවිශේෂ වෙනවා. මේ ටෙලි නාට්‍ය හතම ප්‍රේක්ෂකයන්ගේ නොමඳ ආදරයට පාත්‍ර වූ නිර්මාණ ලෙසින් මම දකිනවා. වර්තමානයේ නිර්මාණය වන කොටස් සිය ගණනකින් යුතු වූ ටෙලි නාට්‍ය බොහොමයක් වුවද ප්‍රේක්ෂකයන්ගේ හිත් තුළ ඒ මතක සටහන් වන්නේ නැති තරම්. නමුත් මගේ හැඟීම නම් වසර ගණනක් ගත වුවද මෙම ටෙලි නාට්‍ය හතම ප්‍රේක්ෂකයන්ට ආදරණීය මතකයන් බවයි. කාලය ගත වුණත් ඒ මතකය තවම අලුත්.
|