වර්ෂ 2015 ක්වූ මැයි 07 වැනිදා බ්‍රහස්පතින්දා




ලංකාවේ ජේ්‍යෂ්ඨතම නළුවාත් ගායකයාත් එක් අයෙක්

ලංකාවේ ජේ්‍යෂ්ඨතම නළුවාත් ගායකයාත් එක් අයෙක්

මා ඔබට පසුගිය සතියේ පැවසුවා මතක ඇති අශෝකමාලා හරහා බොහෝ ශිල්පීන් ප්‍රමාණයක් කල එළියට ආ විත්තිය. ඒ අතරින් මෙන්න මේ තැනැත්තා ඉතාම සුවිශේෂි බව මා අමුතුවෙන් කිව යුතු නැහැ. එම තැනැත්තා තමයි හෙළයේ මහා ගාන්ධර්වයාණෝ හෙවත් පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේවයාණන්. අශෝකමාලා චිත්‍රපටය නැරඹූ අතලොස්සක් ප්‍රේක්ෂකයින් අදටත් ඉන්න පුළුවන්. ඒ වගේම එය වර්තමාන තාක්ෂණය යටතේ ඩී.වී.ඩී. මාධ්‍යයෙන් සුරක්ෂිත කරන අයත් ඉන්නවා. ඒ අය මගෙන් අහන්න ඉඩ තියෙනවා අශෝකමාලා චිත්‍රපටයේ නාමාවලියේ අමරදේවගෙ නම නැහැනෙ කියලා. ඔව්. ඒක හරි.

හැබැයි එම නාමාවලියේ සහාය සංගීතය කියලා ඩබ්ලිව්. ඩී. ඇල්බට් පෙරේරා යන නම ඇති. ඔහු තමයි අමරදේව. එතුමාණන් අශෝකමාලා චිත්‍රපටයේ සුළු චරිතයක් පවා කළා. අදටත් ජනපි‍්‍රය ‘ඇයි කළේ යමෙක් ආලේ සහ භවේ භීත හැරදා’ ගීත ගයමින් චිත්‍රපටයේ රඟපාන්නේ මේ මහා කලාකරුවාණන්. ඒ අනුව බලන විට අද සිනමාවේ සිටින ජ්‍යෙෂ්ඨතම නළුවා වන්නේත්, ගායකයා වන්නේත් පණ්ඩිත් අමරදේව. අශෝකමාලා හරහා තවත් තරුවක් බිහිවුණා කිවුවොත් මං වැරැදි නැහැ. තරුවක් කිවුවට ඔහු අද කාලේ ඉන්න සුපිරි තරුවක් වගේ අද පායලා හෙට බැහැලා ගිය කෙනෙක් නෙවෙයි, දීර්ඝ කාලයක් වැජඹුණ තරුවක්.

ඔහු හර්බි සෙනෙවිරත්න. හර්බි ශාන්තිකුමාර් සෙනෙවිරත්නගේ මල්ලි. හර්බි එක් යුගයක් බැබළ වූ අසහාය පෙම්වතෙකි. නමුත් ඔහු අයිරාංගනී චිත්‍රපටයේ දුෂ්ඨ චරිතයක් පවා කළා. හර්බිගේ රංගන ජීවිතයේ වැදගත් සන්ධිස්ථානයක් තමයි සූරයා චිත්‍රපටය. ඔහු එහි කාන්ති ගුණතුංග සමඟ අනගි රැඟුමක් රඟපාමින් ගැයූ ‘දුටුදා ඉඳලා ලුහුබැන්දා – දන්නවාද මං පෙම් බැන්දා’ ගීතය අදටත් ජනපි‍්‍රයයි. ඒ වගේම ඒ ගීතය ඇහෙද්දී හර්බි – කාන්තිගේ අනගි පෙම් රැඟුම් රැගත් ජවනිකා මැවෙනවා. ඒ දෙන්නා සැබෑ ලෝකේදිත් ඇතැම් අවස්ථාවල පෙම්වතුන් වුණා කියලා විචාරකයින් කියලා තියෙනවා. එක්තරා ආකාරයකින් බැලුවොත් ඒ අදහස වැරැදි නැහැ. මොකද ඒ කාලයේ විතරක් නෙවෙයි අදත් ප්‍රධාන නළු නිළි දෙපළ ඇත්තටම පෙමින් බැඳෙන අවස්ථා අප දැකලා තියනවා. කලා ලොව තුළ ඕවා අරුමයක් නොවෙයි.

අශෝකමාලා චිත්‍රපටයේ අපේ ජනපි‍්‍රය ගායික විශාරද චන්ද්‍රිකා සිරිවර්ධනගේ අම්මයි තාත්තයි රඟපෑවා කියලා ඔබ දන්නවාද? මා හිතන්නෙ ඒක අප්‍රකට කරුණක්. පීටර් සිරිවර්ධන සහ ශ්‍රීමති කරුණාදේවි යන චන්ද්‍රිකාගෙ මවුපියන් අශෝකමාලා හි රංගන දායකත්වය ලබාදීම එක්තරා ආකාරයකින් චන්ද්‍රිකාට ද ආඩම්බරයක්. පසුකාලීනව ඇයද ගායිකාවක් වශයෙන් චිත්‍රපට ක්ෂේත්‍රයට යොමුවුණානෙ. අශෝකමාලා දකුණු ඉන්දියානු ශෛලියෙන් මුදවා ගැනීමට ශාන්ති කුමාර මහත්වූ පරිශ්‍රමයක යෙදුණා. ඔහුගෙන් පසුව නිර්මාණකරණයට පිවිසුණ ඇතුම් අධ්‍යක්ෂවරු දකුණු ඉන්දියාවේ පැත්තන් නම්‍ය චිත්‍රපට හැදුවෙ. මට මේ වෙලාවෙ උදාහරණයක් මතක් වෙනවා.

සිවාජි ගනේෂන් රඟපාපු චිත්‍රපටයක කොපියක් ලංකාවෙ හැදුවා. සිවාජි වමත හුරු අයෙක්. එහි සිවාජි වම්පසින් බාල්දියකට ගහන දසුනක් තිබුණා. ඔහු එහෙම කළේ වම් පය හුරු නිසා. ලංකාවෙ හදපු චිත්‍රපටයෙත් ඒ දසුනම තිබුණා. හැබැයි ලංකාවෙ නළුවට හුරු දකුණත. ඔහු දකුණු කකුලින් බාල්දියට ගහන්න හදද්දි ඩිරෙක්ටර් කෑ ගැහැව්වා. දමිල චිත්‍රපටයේ සිවාජි මේ සීන් එකට පාවිච්චි කළේ වම් කකුල. ඒක හින්දා ඔයත් වම් කකුලම භාවිත කරන්න කියලා. ලංකාවෙ නළුව පුදුම විදිහට අපහසුතාවයට පත්වුණා.

ඔන්න ඔය විදිහේ අනවශ්‍ය අන්ධානුකාරණයකින් තමයි අප රටේ මුල් යුගයේ චිත්‍රපට හැදුණෙ. ඉස්සර චිත්‍රපට කරන්න ඉන්දියාවේ ගියාම සති තුනක් විතර දෙබස් කට පාඩම් කරනවාලු. නළු නිළියෝ ඔවුන්ම එකතුවෙලා රිහසල් කරනවාලු. එහෙම තමයි එදා චිත්‍රපට හැදුණෙ. අධ්‍යක්ෂවරයාගේ සිතට හරියන දර්ශනය ආවේ නැතිනම් ටේක් පහළොව විස්ස යන අවස්ථා තිබිලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි චිත්‍රපටවල පසුබිම් ගීත ගයන ගායකයෝ පවා ලොකේෂන්වලට එනවා. අන්න ඒ නිසයි ඒ කාලයේ චිත්‍රපට සාර්ථක වුණේ. අපේ අම්මලා කියලා තියනවා සමහර මිනිස්සු ගාල්ලෙ ඉඳලා පොළොන්නරුවට යනවලු චිත්‍රපට බලන්න. හරියට වන්දනා ගමනක් යනවා වගේ.

මට අශෝකමාලා චිත්‍රපටයේ සංගීතය ගැන කතා කරන්න බැරිවුණා. ඒ ගැන මේ මොහොතේ සඳහනක් කළ යුතුයි. එහි සංගීත අධ්‍යක්ෂණය කළේ මොහොමඩ් ගවුස් මාස්ටර්. ගවුස් ලංකාවට එන්නෙ චිත්‍රපට සංගීත අධ්‍යක්ෂවරයකු වෙන්න නෙවෙයි. ඉස්සර චිත්‍රපට රීල් වලින්නෙ පෙන්නුවෙ. එක් චිත්‍රපටයක රීල් අටක් විතර තියෙනවා. මේ රීල් එකින් එක මාරුකරන්න ටික වෙලාවක් යනවා. මෙන්න මේ හිඩැස හරියට ඉන්ටර්වල් එකක් වගේ. ඒ අනුව බලනකොට රීල් අට මාරු වෙද්දි මුලු චිත්‍රපටය පුරාවටම ඉන්ටර්වල් හතක්වත් එනවා.

මේ කාල වේලාවල් වල මිනිස්සුන්ගෙ කම්මැලිකම නැති කරන්න පොඩි පොඩි ගීතමය ජවනිකා රඟ දැක්වූවා. අන්න එවැනි තැන්වල සංගීත අධ්‍යක්ෂණයටයි ගවුස් මාස්ටර් ලංකාවට එන්නෙ. ගවුස් මාස්ටර් අශෝකමාලාහි ගයන්නට අපූරු ගායකයකුව ගෙන එනවා. ඒ තමයි අල්හාජ් මොහිදින් බෙග්. අද වන විට බෙග් මාස්ටර් බෞද්ධ ගීත කලාවේ සංකේතයක් වෙලා තියනවා. මේ වෙසක් සමයේ විතරක් නෙවෙයි තව චිරාත් කාලයක් යනකම් බෙග් අපේ රට තුළ බෞද්ධ ගීතයේ ප්‍රතිරාව නංවාවි.

අශෝකාමාලා චිත්‍රපටයේ එමලින් දිඹුලාන නම් වූ රංගන ශිල්පිනියක සිනමාවට එක්වුණා. ඇය නැවත රඟපෑවේ නැහැ. සිනමාවේ වැඩිය දක්නට ලැබුණු චරිතයක් වුණෙත් නැහැ.

අශෝකමාලාගෙන් පසුව මා දකින සිංහල සිනමාවේ වෙනස්ම මඟක් ගත් චිත්‍රපට තමයි කැලෑ හඳ සහ සුජාතා. කැලෑහඳ නවකතාවක් ඇසුරෙන් තිරයට නැඟුණ පළමු චිත්‍රපටය. එය පාසල් පොතක් වීම නිසා එම චිත්‍රපටය එකල යම් යම් විරෝධතා මතුවුණා. කොහොම නමුත් කැලෑහඳ සඳහා ගීත දොළහක් අඩංගු වුණා. ඒ සිංදු ඔක්කොම චිත්‍රපටය තිරගත වන්නට පෙර ගුවන් විදුලියෙන් ප්‍රචාරය කෙරුණා. ඒ හින්දා අප චිත්‍රපට බලන්න ගිහින් එම ගීත මුමුණ මුමුණායි චිත්‍රපටය බැලුවේ. සුජාතා විශේෂ වන්නේ දකුණු ඉන්දියාවෙ හොඳම වෙළෙඳ මුහුණුවර එයට ලැබුණ නිසා. පැත්තට ගෙන ගිය නිසා. එය හැදුනෙ උතුරු ඉන්දියානු චිත්‍රපට ශෛලියට. ඒ හින්දා සුජාතා මෙතෙක් පැවැති හොරහැඩි සංගීත භාවිතයෙන් මිඳුනා. එහි ඇති ළයාන්විත සංගීතය මට අදටත් මතකයි.

සුජාතාහි සුන්දරත්වය නිමා එය මං හතර පස් වතාවක්ම බැලුවා කියලා මතකයි.