වර්ෂ 2015 ක්වූ මැයි 07 වැනිදා බ්‍රහස්පතින්දා




චාලක ජගත්, උමයංගනා සමඟ මාරක ළිඳේ සවාරියක්

චාලක ජගත්, උමයංගනා සමඟ මාරක ළිඳේ සවාරියක්

තරුණ නාට්‍යකරුවෙක් වන චාලක රණසූරියගේ ප්‍රථම දිගු වේදිකා නාට්‍යය ‘මාරක ළිඳේ සවාරියක්’ අද දින පස්වරු 3.30ට හා 6.30ට මරදාන ටවර් රඟහලේදී වේදිකා ගතවෙයි. ‘බොක්ස්’, ‘හෙලෝ’, ‘බර්මියුඩා’ ආදී කෙටි නාට්‍ය රචනා කරමින් සම්මාන ලබා සිටින චාලකගේ මේ නැවුම් වෑයම පිළිබඳ ඔහු සමඟ සරසවිය කළ කතාබහකි.

මේ වේදිකා නාට්‍යයට ඔබ ‘මාරක ළිඳේ සවාරියක්’ කියන නම යොදන්න සිතුවේ ඇයි?

මම පුංචි කාලයේ අහලා තියෙන ‘ළිඳට වැටුණු මිනිහා ගොඩ එන්න ඕන ළිං කටින්මයි’ කියන කියමන මතතකයට නැගෙන්නේ මාරක ළිඳක් බලන්න ගිය අවස්ථාවකයි. ඒ පුංචි කාලයේ මාරක ළිඳ දෙසම බලාගෙන සිටිය මට හැඟුණ දෙයක් තමයි මේ මනුස්සයා ළිඳේ කට ළඟටම ඇවිත් ආපසු යනවා නේද කියන කාරණය. එහෙත් පුංචි කාලයේ එහෙම හිතුණත් වැඩිහිටියෙක් වෙලා ඒ ගැන සිතද්දී වෙනස් වෙනස් විදියේ කල්පනා පහළ වෙන්න පටන් ගත්තා.

ඒ කියන්නේ මේ සමාජය ඇතුළේ අපි ජීවත් වෙන්නේ අප විසින්ම හදා ගත්ත මාරක ළිඳක් ඇතුළේ නේද කියන සිතුවිල්ල පහළ වුණා. මේකෙන් ගොඩ ඒමක් නෑ නේද කියලත් ඒ එක්කම මට සිතුණා. ළිං කට ගාවට ඇවිත් ළිඳ ඇතුළට යනවා ගිහින් ඒ වටේ රවුම් ගහ ගහ ඉන්නවා මිසක් මේ සිස්ටම් එක කඩන්න උත්සාහ ගන්නේ නෑ නේද කියලත් මට සිතුණා. ඒ වගේම කිසිම දවසක මේ සිස්ටම් එක කඩන්නේ නැතිව අපට මේ මාරක ළිඳෙන් ගොඩ එන්න බැහැ නේද කියලත් මට හැඟුණේ වැඩිහිටියෙක් වෙලා ඒ ගැන සිතන විටයි. මේ වේදිකා නාට්‍යට ඒ නම වඩාත් ගැළපෙන බව මට තේරුම් ගිය නිසා ඒ නම ඊට යෙදුවා.

ඒ නම කොහොමද මේ නාට්‍යයට ඔබ අදාළ කරගන්නේ ?

මේ නාට්‍යයේ දී වේදිකාවට එන්නේ අප දන්නා චරිත කිහිපයක්.ඉතිහාසයේ එක්තරා කාලයකදි ඒ කියන්නේ 1948 දි අපි නිදහස ලැබුවා. ඒත් ඒ නාමික නිදහසක්. එහි දකින්නට ලැබුණේ කුළ ධුරාවලියේ දි ඉහළ කුළවල මිනිස්සු දරණ ආධිපත්‍යය නිසා පහළ කුළවල අය පීඩාවට පත්වන අයුරුයි. මේ කාරණය පසුකාලීනව වෙනස් වෙන්න පටන් ගන්නවා. ඒ ඉංග්‍රීසින්ගේ පැමිණීමත් සමඟයි. ඔවුන්ගේ ආධිපත්‍යයට අප නතුවීම, කි‍්‍රස්තියානි ආගම පැමිණීම සහ ව්‍යාප්ත වීම ආදී කාරණා සමඟ අපේ සමාජය වෙනස් වුණත් එය සම්පූර්ණයෙන්ම වෙනස් වීම ආරම්භ වෙන්නේ විවෘත ආර්ථිකයත් සමඟයි. මේ වෙනස් වීමත් සමඟයි සංස්කෘතිය උඩුයටිකුරු වෙන්නේ.

කුළ ධුරාවලිය වෙනස් වෙලා නව මුහුණුවකින් සමාජ ගතවන පන්ති අසමානතාව මගින් දැක්වෙන්නේ කලින් සිදුවුණු තත්ත්වයමයි. එහෙත් එතැනදි යම් පිරිසකට අවස්ථාව ලැබුණා ඒ සියල්ල කඩාබිඳ දමමින් ඉස්මතු වෙන්න. උදාහරණයක් විදියට ‘ගම්පෙරළිය’ නවකතාවේ එන පියල් කියන්නේ ඒ වගේ චරිතයක්. මාතර හාමිනේ හා කයිසාරුවත්තේ මුහන්දිරම් වගේ අයට තිබුණු ආධිපත්‍ය කඩාගෙන ඒ සිස්ටම් එක අස්සේ පියල් තමයි ඉස්සහට එන්නේ. එවැනි පැමිණීම් ඇතුළේ ඒ අය මේ ධනවාදය බරපතළ ලෙස අල්ලගෙන තිබෙනවා ද කියන කාරණය, ඒක ඇතුළේ ආදරය කියන කාරණා ගනුදෙනු වෙන්නේ මොන විදියට ද? ආදරයට තිබෙන වටිනාකම, එය හුවමාරු වෙන්නේ කොයි විදියට ද? කියලා වෙනස්ම අදහස් ප්‍රකාශ වුණා. කසාදය කියන මේ කාරණාව උඩුයටිකුරු වෙන්න පටන් ගත්තා. ඒවාට තිබෙන සමාජ හා ආත්මීය වටිනාකම වෙනස් වෙන්න පටන් ගත්තා. ඒක තමයි මේ නාට්‍යයෙන් කියන්න මා උත්සාහ ගන්නේ.

මේ අතීත චරිත සංකේත විදියටයි ඔබ වේදිකාවට රැගෙන එන්නේ ?

අපි දන්න සාහිත්‍ය ඇතුළේ මේ චරිත හැමෝම ඇසුරු කළ, හැමෝම දන්න කියන චරිතයි. ඔවුන් කුළ ධුරාවලිය ඔස්සේ ජීවත් වුණේ කොහොමද? පීඩාවට පත්වුණේ කොහොමද? මේ පීඩාවට පත්කළ ඉහළ කුළේ අය ධනේෂ්වර ක්‍රමවේදය ආවට පස්සේ දියවෙලා යන ආකාරයත් අපට පැහැදිලි අදහසක් රැගෙන ආවා. ඒ ඔස්සේ ගම්පෙරළියේ මහ ගෙදර දිය වෙලා යන ආකාරයත්, මේ ධනවාදය අස්සේ පියල් ස්ථාවර වන අයුරුත්, පියල් නන්දාගේ ආදරය දිනා ගැනීමත් කියන මේ කරණා ඉතිහාසය විසින් අපට දෙන ලද සංකේතයි. මේ ලබා දුන්න සංකේත එක්තරා මොහොතක මාව ප්‍රබල ලෙස පෝෂණය කළා.

අතීත චරිත වර්තමානයට ගළප්පවා ගැනීම කළේ කෙසේද?

ඉහත කියන ලද සමාජ විපර්යාසය සමඟ සසැඳුණු මේ පිරිස පැමිණෙන්නේ කල්පිත කාලයකයි. එනම් මගේ තීරණයට අනුව 2020 තරම් කාලයකදි මොවුන් පැමිණියහොත් කුමන අයුරෙන් හැසිරෙයිද කියලා මා සිතුවා. ඒ වගේම ඒ කාලයේ තිබෙන සමාජය, මාධ්‍ය මේ අයගේ ප්‍රශ්නයකදි මොන විදියට හැසිරෙයිද? අර්බුදකාරී අවස්ථාවකදි ඒ සමාජ, මාධ්‍යයේ තිබෙන ආකෘති මොන විදියට මේ අයව භාර ගනීද කියන කාරණය ගැටුමක් විදියට මුළු නාට්‍යයේම දිග හැරෙනවා.

‘යුගාන්තයට පසුත් අවසන් නොවුණ ආදරය’ කියලා නම් කිරීමකුත් මෙහි ඇතුළත් වෙනවා. ඒ කියන්නේ ආදරයත් ඔබේ එක් ප්‍රස්තුතයක් ?

ඔව්. මේ නිර්මාණයේ ආදරය හා දේශපාලනය කියන කාරණා දෙක ගැනම කතා කරනවා. මේ වෙලාවේ මගේ මතකයට එන්නේ ඇරිස්ටෝටල් කිව්ව ‘මිනිහෙක් උපදින්නේම දේශපාලන ජීවියෙක් විදියට’ කියන කියමනයි. ඒ කියන ලද කාරණය වඩාත් ප්‍රත්‍යක්ෂ වෙන්නේ මෙතෙක් අපි ජීවත් වෙද්දි අහපු කියපු කාරණාත් සමඟයි. මට මේ පිළිබඳ තිබෙන අදහස නම් විවාහයත්, ආදරයත් කියන දේ දේශපාලන හා ආර්ථික කාරණාවක් යන්නයි. අපි හුදු ප්‍රේමය මත ගනුදෙනු කරගත්තත් මේ ධනේෂ්වර සිස්ටම් එක ඇතුළේ ඒ ස්වාභාවිකව හදවතින්ම දැනෙන ප්‍රේමය මිල කරලා තියෙනවා. අපි පෙම්වතා, පෙම්වතිය තෝරා ගන්න විට ආර්ථික කාරණා පිළිබඳයි සිතන්නේ.

ඇගේ ලස්සන කියන කාරණයත් තීරණය වෙන්නේ ආර්ථිකය කියන සාධකයත් එක්කයි. ඒ විතරක් නෙවෙයි එයාගේ පැෂන් එක, එයා අඳීන්නේ කොහොමද, එයා කතා කරන්නේ කොහොමද, එයාගේ ක්ලාස් එක මොකක්ද කියන මෙන්න මේ භෞතික කාරණා සමඟයි වර්තමානයේ අපි ආදරය කියන කාරණය තීරණය කරන්නේ. වර්තමානයේ දි විශේෂයෙන්ම විවාහය කියන කාරණයේදී ක්ලාස් එක බලපානවා.

තමා ආදරය කරන කෙනා ගොඩයෙක් කියන මතවාදය ගැහැනු ළමයෙකුගේ ඔළුවට එන්නේ හෝ එය ප්‍රකාශ කරන්නේ, ඒ විදියට හැඟෙන්නේ, ඔවුන් සිතන ආකාරය පවා මේ සමාජ ක්‍රමය ඇතුළේ හැඩගස්වා තිබෙන විදිය අනුවයි. ඒ කාරණයයි මා මාරක ළිඳේ සවාරියක් කියන මේ නාට්‍යයෙන් කියන්න උත්සාහ ගත්තේ. හරියටම හිතුවොත් අපි ජීවත් වෙන්නේ මාරක ළිඳක් ඇතුළේ කියලා ඔබට හැඟෙයි. වෙනසකට තියෙන්නේ මාරක ළිඳ ඇතුළේ ඉන්නේ අපි. අපි දෙස බලාගෙන ඉන්නේ කිහිපදෙනෙක් එපමණයි.

නමුත් ඔබ කියන තරමටම වර්තමානයේ ඔය කුළය කියන සාධකය සමාජයට බලපෑමක් කරන බවක් මා සිතන්නේ නැහැ ?

ඉස්සර අපේ අත්තලා, මුත්තලාගේ කාලේ කසාදයක් බඳීද්දී ඔය කියන කුළ ධුරාවලිය ඇතුළේ ඉහළ ද පහළ ද කියන එකයි බලපෑවේ. මේ කාරණය වර්තමාන සමාජයේ දී වෙනසකට ලක් වී තිබුණත් ඒ ඔස්සේ එල්ල වන පීඩාව වෙන විදියකින් බලපෑම් කරලා තිබෙන බවක් පෙනෙනවා. පන්ති අරගලයත් එක්ක දුප්පත් මිනිහාට සල්ලි තිබෙන අත්තක එල්ලෙන්න හරි අමාරුයි. එතැනදි කොළඹ හතේ ජීවත් වන කෙනෙක් තම පෙම්වතිය හෝ පෙම්වතා විදියට තෝරා ගන්නේ නැහැ තමන්ට වඩා අඩු ස්ථරයක ඉන්න කෙනෙක්. ඒකයි අපට සමහර ප්‍රේමයන් තවමත් අමරණීය වන්නේ. අපට තවමත් සාලිය, අශෝක මාලා ප්‍රේමය අමරණීය වී තිබෙන්නේ එවැනි ප්‍රේමයන් අද නැති නිසා. සාලිය කුමාරයාට අශෝක මාලාට ආදරය කරන්න පුළුවන් වුණත්, දැන් ඉන්න සාලිය කුමාරයෙකුට බැහැ ඒ විදියේ පන්තියේ ඉන්න අශෝක මාලා කෙනෙකුට ආදරය කරන්න. ඒ වගේ අද ඉන්න තරුණයෙකුට පහළ පන්තියේ ඉන්න දුප්පත් තරුණියකට ආදරය කරන්න බැහැ වගේම පහළ පන්තියේ ඉන්න තරුණියකටත් බැහැ ඉහළ පන්තියේ කොල්ලෙකුට ආදරය කරන්න. මේ සමාජ ක්‍රමය ඇතුළේ තමයි මේ සියල්ල නිර්මාණය වී තිබෙන්නේ.

ඔබගේ නාට්‍යය නිර්මාණයටත් ජනපි‍්‍රය නිර්මාණකරුවන් රැසක් තෝරා ගන්නේ වර්තමාන නාට්‍යය කලාව ඇතුළේ නිර්මාණය ගම් මට්ටම දක්වා රැගෙන යෑමේ කාරණය මූලික කරගෙනද?

මට බලාපොරොත්තුවක් තියෙනවා මේ නිර්මාණය කොළඹින් පිට වේදිකා ගත කරන්න. ඒත් ඒ බලාපොරොත්තුව නොවෙයි මේ නළු නිළියන් පිරිස මගේ නිර්මාණයට දායක කර ගන්නට හේතුවුණේ. මීට වසර කිහිපයකට පෙර මගේ අතින් පිටපත ලියැවෙද්දිම මේ චරිත සඳහා මේ මුහුණූම මගේ සිතේ ඇඳීලා තිබුණා. ඒ නිසාම ජගත් චමිල පැමිණෙනතුරු කාලයක් බලා සිටින්නටත් සිදුවුණා. එහෙම වුණේ මේ චරිතයට වෙනත් ආදේශකයක් නොතිබුණ නිසයි. අනෙක් කාරණය තමයි මෙහි රඟපාන අනෙක් අයත් ජනතාව අතර ජනපි‍්‍රය ශිල්පීන් වීමයි. උමයංගනාත් මේ නිර්මාණයට දායක වෙන්නේ ඒ විදියට. ඇය මේ වගේ චරිතයක් රඟපාන පළමු වතාවයි.

මල්කාන්ති ජයසිංහ, වසන්ති රන්වල, ලංකා බණ්ඩාරනායක, මධුෂාන් හත්ලහවත්ත, ශාලිත ගුණවර්ධන, රොහාන් ද සිල්වා, තක්ෂිලා හිමාෂි කියන චරිතත් මේ නිර්මාණයට දායක කරගන්නේ පිටපත ලියද්දි මගේ සිතේ ඇඳුණු සිතුවිල්ල අනුවයි. නාට්‍යයේ පසුතල නිර්මාණය කළේ ප්‍රදීප් චන්ද්‍රසිරි. සංගීතයෙන් නිලන්ත පෙරේරාත්, පාලිත අබේරත්නත් සහය වෙනවා. ඇඳුම් නිර්මාණයෙන් අමා විජේසේකරත්, අංග රචනයෙන් රුක්මන් තිලකරත්නත්, රංගා ලෝකයෙන් මංජුල වීරසිංහත් මේ නිර්මාණයට සහය වන පිරිස අතර වෙනවා. මේ සියලු දෙනාගේම සාමූහික ප්‍රතිඵලයක් විදියටයි අද දින නාට්‍යය වේදිකා ගත වෙන්නේ. එමෙන්ම මේ කටයුත්තට උදව් කළ ජානක සම්පත්, දේශක අලහකෝන්, ශෙනාල් වනසිංහ කියන සියලු දෙනාවමත් මා මෙහිදි සිහිපත් කළ යුතුයි. මේ නිර්මාණය නරඹා වෙනස්ම අත්දැකීමක් විඳීමට මා ප්‍රේක්ෂකයන් සියලු දෙනාටමත් ආරාධනා කරනවා.

නළු නිළියන් පිළිබඳ තිබෙන ජනපි‍්‍රයත්වය කියන කාරණා කොළඹ ප්‍රේක්ෂාගාරයට අදාළ නොවන වගක් පෙනෙනවා ?

ලංකාවේ කලාව රස වින්ඳනයේ පැත්තෙන් තියෙන්නේ වෙනම කාරණයක්. කොළඹ තමයි තෝරාගෙන නාට්‍යයක නරඹන ප්‍රේක්ෂකයන් පිරිසක් නිර්මාණය වී තිබෙන්නේ. එතැනින් එහාට හුදු ප්‍රහසනය සොයාගෙන නාට්‍ය බලන්න යන ප්‍රේක්ෂාගාරයක් තමයි නිර්මාණය වී තිබෙන්නේ. එතනදි නළු නිළියන්ගේ ජනපි‍්‍රයත්වයත්, ඒ අයට ටෙලි, සිනමා කියන මාධ්‍යවලදි ගොඩනැඟුණු සිවිල් වටිනාකමත් සමඟයි කොළඹින් පිටතදි ප්‍රේක්ෂාගාරය නිර්මාණය වී තිබෙන්නේ. එවන් තත්ත්වයක් තමයි අද වේදිකාව ඇතුළේ නිර්මාණය වී තිබෙන්නේ. එහෙත් මේ නිර්මාණයට ශිල්පින් ශිල්පිනියන් දායක කර ගැනීමේදී මා සැලකුවේ ඔවුන්ගේ ජනපි‍්‍රයත්වය කියන කාරණය මූලික කරගෙන නොවන වගත් අවධාරණයෙන්ම කිව යුතුයි.