වර්ෂ 2015 ක්වූ මැයි 07 වැනිදා බ්‍රහස්පතින්දා




මග දිගට රසකතා

පරණ පිනට ගාස්තුව කීයද?

මේ දවස්වල පරණ පිනක් එක්ක ජීවත්වන කෙනෙක්ව අපට හමුවුණා. ඒ වෙන කවුරුත් නෙවෙයි දමයන්ති ෆොන්සේකා. ඇයගේ මේ පරණ පින මොකක්ද කියලා ඔබ දැන් බලාවි. මං ඒක මෙන්න මෙහෙම පැහැදිලි කරලා දෙන්නම්. ඔබට මතක ඇති පසුගිය කාලේ දමයන්ති නාට්‍යයක් හැදුවා. ඒකෙ තම ගාස්තුව කීයද. ඇයගේ ළඟ ඉගෙන ගත්තු ශිෂ්‍ය ශිෂ්‍යාවන් එකතු කරගෙන තමයි ඇය එය නිර්මාණය කළේ. පරණ පිනක් කියන්නෙ ඇගේ දෙවැනි නාට්‍ය නිර්මාණය.

එය ඇය නිර්මාණය කරලා තියෙන්නේ ඇගේ දෙවැනි ශිෂ්‍ය කණ්ඩායමේ පිරිස යොදාගෙන. ඇගේ ශිෂ්‍ය එක් කණ්ඩායමක ගාස්තුව කීයද කිය කිය රට වටා යද්දි පරණ පිනක් රැගෙන අනෙක් කණ්ඩායම වේදිකාවට නගිනවාලු. මේ නාට්‍ය දෙකෙහිම විස්තර අහපු අය ඊළඟට දමයන්තිගෙන් අහන්නෙ තෙවැනි නාට්‍ය කණ්ඩායම පුහුණු කරලා හදන නාට්‍යයේ නම මොකක්ද කියලා. දමයන්ති නම් ඒ පැනය ඉදිරියේ තවමත් නිරුත්තර වෙනවලු.

රඟපෑම - සති අන්තයේ

ජනපි‍්‍රය රංගන ශිල්පිනී නිපුනිකා හේවාගමගේට රැකියාවක් ලැබිලලු. හැබැයි ඇය කාටවත් ඒ ගැන නම් කියලා නැහැ. එහෙම නිපුනි කරන්න ඇත්තෙ ආත්මාරක්ෂාවට කියලයි යාළුවො කියන්නෙ. මොකද තමන්ගේ සේවා ස්ථානය දැනගත්තොත් එතනට ඇවිත් තමන් රැකියාවේ නියැලෙන අන්දම බලලා හිනාවේවි කියලා නිපුනිට බය හිතිලා වෙන්න ඇති. කොහොම හරි නිපුනිගෙ මේ රැකියාවේ කෙරුවාව හින්දා ඇය රඟපෑ ටෙලි නාට්‍යවල සහාය අධ්‍යක්ෂවරුන් අමාරුවේ වැටිලා කියලා දැන ගන්නට ලැබෙනවා.

නිපුනිට දැන් සතියෙ දිනවල රඟපාන්න බැහැනෙ. සෙනසුරාදා ඉරිදා තමයි ඇයට දැන් කලාවේ නියැලෙන්නට පුළුවන්. ඉතින් මේ හින්දා ඒ සහාය අධ්‍යක්ෂවරුන් නිපුනිගේ දර්ශන ඒ දින දෙකට ෂෙඩුල් කරනවාලු. දැන් ඉතින් නිපුනිටත් කර කියාගන්න දෙයක් නැහැ. සෙනසුරාදා ඉරිදා ගෙදර ඉන්නත් බැරිවෙන තත්ත්වයක් තමයි උදාවෙලා තියෙන්නෙ. අනේ මන්දා? නිපුනිගෙ සහාය අධ්‍යක්ෂවරුන්ට දෙවියන්ගෙම පිහිටයි. කොහොම නමුත් නිපුනිගෙ රැකියාව නම් ඇයට ඉතාම තදින් හිතට අල්ලලා ගිහින් කියලයි දැන ගන්නට ලැබෙන්නෙ.

රෝහලේ - රෝහලේ

සමන් අල්මේදා කියලා කියන්නෙ අපට සිටින හොඳ චරිතාංග නළුවෙක්. සිරියස් නෙමේ විකට චරිත වුණේ ඔහු බොහොම අපූරුවට නිරූපණය කරන අන්දම අපි දැකලා තියනවා. කොපමණ නිර්මාණ සඳහා දායක වුණත් සමන් වෘත්තීමය නළුවෙක් නම් නෙවෙයි. ඔහු සේවය කරන්නෙ ජයවර්ධනපුර රෝහලේ. ඉතින් එතැනට ප්‍රතිකාර ගන්නට එන කලාකරුවන්ට සමන් බොහොම හොඳින් සලකනවා. සමහරු නම් කියන්නෙ සමන් සලකන සැලකිල්ලට හෙම්බිරිස්සාවක් හැදුනත් රෝහල් ගත වන්න ආසයි කියලා.

එච්චරටම ඔහු කලාකරුවන්ට සලකනවා. ඔන්න පසුගිය දිනයක සමන්ට අපේ ප්‍රවීණ අධ්‍යක්ෂකවරයකුගෙන් උදේ පාන්දරම දුරකතන ඇමතුමක් ආවා. ඔහු සමන්ගෙන් කොහෙද ඉන්නෙ ඇහැව්වලු. සමන් කිව්වලු රෝහලේ කියලා. ඉතින් සමන් කාර්යබහුල හින්දා ඔහු තමන්ගෙ නිර්මාණයකට ගන්න ආයෙත් හවස කතා කරාලු. එවලෙත් සමන් පවසලා මං ඉන්නෙ රෝහලේ කියලා.

ඔහොම දවස් ගාණක් සමන්ට කෝල් කළාලු. අහන හැමවෙලාවකම සමන් පවසලා තියෙන්නෙ රෝහලේ ඉන්නවා කියලා. ඒ හැම වෙලාවකම පස්සෙ ගන්න කියලා අධ්‍යක්ෂවරයාට කිව්වලු.

මේ යකා ගෙදර යන්නෙ නැතිද අප්පා. කොයිවෙලාවෙත් ඉස්පිරිතාලෙ. අහන අහන හැම වෙලාවෙම එතැන. පුදුම මිනිහෙක්නෙ.

අර අධ්‍යක්ෂට එහෙම හිතිලා. බැලින්නම් වෙලා තියෙන්නෙ මොකක්ද දන්නවද සමන්ට හදිස්සියේ අසනීප වෙලා. ඔහු කරලා තියෙන්නෙ තමන් සේවය කරන රෝහලේම ඇඩ්මිට් වෙච්ච එක. ඉතින් සමන් කතා කරන හැමෝටම කියන්නෙ රෝහලේ ඉන්නවා කියලලු. හැබැයි ඔහුට තමන් අසනීපවෙලා කියලා කියන්න අමතක වෙනවලු. මේ හින්දා සමන්ට කතා කරන බොහෝ දෙනකු දැඩි අපහසුතාවයට පත්වූ වගයි දැනගන්නට ලැබෙන්නෙ.

හොඳම කෙටි පණිවිඩය

පසුගිය දිනෙක අපේ කලා ක්ෂේත්‍රයේ එක්තරා පුද්ගලයකුගෙන් මට කෙටි පණිවුඩයක් ලැබුණා. ඔහු එය යවා තිබුණෙ මට විතරක් නම් නෙවෙයි. බොහෝ දෙනකුට මේ තැනැත්තා ඒ කෙටි පණිවුඩය යවලා තිබුණෙ.

අද මගේ කලා දිවියට අවුරුදු විසි පහක් පිරෙනවා. බොහොම ස්තූතියි මේ කාලයේ දී මගෙ වැඩවලට උදව් කරලා මට දිරිය දුන්නට.

අන්න එහෙමයි ඒ කෙටි පණිවුඩයේ සඳහන් වෙලා තිබෙුණේ. මෙය ඒවා තිබුණේ කවුරුන්ද කියලා දැන් මං හෙළි කරන්නම්. ඔහු තමයි සිරස ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිෂ්පාදකවරයතු වශයෙන් සේවය කරන ප්‍රදීප් මහේෂ් ලියනගේ. ඔහුට සිරස ආයතනයේ ඉහළ නිළයක් තියනවා. නමුත් ඔහු ඒ ගැන කොච්චර ඇහුවත් කියන්නේ නැහැ. ප්‍රදීප් තමයි සිරස ආයතනයේ ළමා වැඩසටහන් සියල්ලම වගේ මෙහෙයවන්නේ. ඒ වගේම අතිශය ජනපි‍්‍රය ළමා වැඩ සටහනක් වූ පුංචි පැංචි ආරම්භ කළේ ප්‍රදීප්. කොහොම වුණත් ප්‍රදීප් යැවූ කෙටි පණිවුඩය ගැන නම් බොහෝ දෙනෙක් අගය කළා. ප්‍රදීප්ට මුල මතක තිබීම ඒ අගය කිරීම්වලට වැඩි වටිනාකමක් එකතු වුණා.