වර්ෂ 2013 ක්වූ ජූලි 25 වැනිදා බ්‍රහස්පතින්දා




අර්ජුන්ගෙන් අහන්න

අර්ජුන්ගෙන් අහන්න

ජනකාන්ත සිනමා නළු විජය කුමාරතුංග සහ අසහාය ගායක එච්. ආර්. ජෝතිපාල චිත්‍රපටවල එකට රඟපා තිබේද?

එච්. ඉන්ද්‍රපාල – කිතුල්හේන, මුංහේන

අභිරහස චිත්‍රපටය ඇතුළු චිත්‍රපට කිහිපයකම දෙදෙනා එකට රඟපෑවා වගේ මතකයි.

විශිෂ්ඨත්වය මත හෝ ඒ බව පසෙකලා ඔබට නැවත නැවත නරඹන්නට සිත්දෙන සිංහල සිනමාපටය කුමක්ද?

ජානක ඉලුක්කුඹුර – කඩවත

මාතලන් සහ හතර දෙනාම සූරයෝ (පැරැණි) චිත්‍රපටය.

හින්දි සිනමාවේ සිටි පූජා භාත් සහ මධුරි ඩික්සිත් රඟපෑමෙන් ඉවත් වෙලාද? ඒ ගැන ඔබේ අදහස කුමක්ද?

ආතර් ද සිල්වා - මාතලේ

පූජා භාත් නම් දැන් රඟපාන්නේ නැහැ. චිත්‍රපට අධ්‍යක්ෂණයේ යෙදෙනවා. මධුරි නම් මේ ළඟදිත් සිනමාපටයක රඟපෑවා. ඔබේ දෙවැනි පැනයට පිළිතුර නම් ඒ ගැන මට කිසිම අදහසක් නැහැ කියායි. ඊට හේතුව වන්නේ ඉන්දියාව දවසින් දවස අලුත් වන රටක් නිසා.

ධර්මසේන පතිරාජ අධ්‍යක්ෂණය කළ ‘සිර කඳවුර’ සහ ‘ෂෙල්ටන් සහ කාන්ති’ යන චිත්‍රපට දෙකම තිරගත නොවූයේ ඇයි?

එම්. ෆ්‍රෙඩී ප්‍රනාන්දු – කල්දෙමුල්ල

මේ චිත්‍රපට දෙකම 83 දී විනාශ වූ නිසානේ.

හොලිවුඩයේ යුනිවසල්, පැරමවුන්ට්, වෝනර් බ්‍රදර්ස් වැනි චිත්‍රාගාරවලින් කෙරෙන කාර්යය කුමක්ද?

මලිත්ත විතානගේ - රුවන්වැල්ල

ලෝක සිනමාවේ අති විශාල සිනමා කෘති තැනෙන්නේ මෙම අති දැවැන්ත චිත්‍රාගාර තුළයි. ලෝකයේ අති දක්ෂ සිනමා ශිල්පීන් යොදා ගනිමින් මුලු ලොවම වශි කරන සිනමා නිර්මාණ බිහි කරන මේ සමාගම් නොවුණා නම් මේ වන විටත් ලෝකයේ මේ තරම් සිනමා ප්‍රේක්ෂකයන් පිරිසක් බිහි වෙන්නේ නැහැ.

ගායක සිසිර සේනාරත්න හින්දි තනු ඇසුරෙන් ගීත ගායනා කර තිබේද?

එම්. සංඝමිත්නපාල – ගල්හේන

රෑ සද පායාලා, මේ ලෝකේ නවාතැන වේ යන ගීත සිසිර ගායනා කළේ හින්දි තනුවලට අනුව.

ලංකාවේ දැනට තිබෙන හොඳම සිනමාහල කුමක්ද?

ඩී. බී. ගුලතුංග - පූගොඩ

සිනමාහල් කිහිපයක්ම තිබෙනවා. ඒවායේ හොඳ මෙන්ම නරකත් තියෙනවා. ඒ නිසා ඒ හැම එකකටම කැමැතියි. ඒ අතරින් වැල්ලවත්ත සැවෝයි, මැජස්ටික් සිනමාහලේ සුපීරියර් ශාලාව සුවිශේෂයි.

හින්දි සිනමාවේ සිටි රූමත් වෛජන්තිමාලා දැන් රඟපෑමෙන් ඉවත් වෙලාද?

සුජාතා ගුණවර්ධන – කඩවත

ඇය දැන් රඟපෑමෙන් ඉවත් වෙලා චෙන්නායි නගරයේ නර්තන පාසලක් පවත්වාගෙන යනවා.

සිංහල සිනමාවේ කඩවුණු පොරොන්දුව චිත්‍රපටයේ සිට මෑතක් වනතුරු ප්‍රදර්ශනය කළ චිත්‍රපට ගැන හිතන කොට ඔබට හැඟෙන්නේ මොනවාද?

එම්. ප්‍රේමසේන පෙරේරා, ඥානා කුමාරි පෙරේරා - කළුබෝවිල

කිසිම ප්‍රශ්නයක් නැහැ. සතුටක්. අපි පටන් ගන්නෙම කඩවුණු පොරොන්දුවෙන්නේ.

මිල්ටන් මල්ලවාරච්චි ගායනා කළ මුල්ම චිත්‍රපටය කුමක්ද?

කේ. ජී. සෝමදාස - තම්මිට

මාතර ආච්චි චිත්‍රපටයට, රන්දේදුණු රන් නමින් ගීතය.

70, 80 දශකයේ නිෂ්පාදකවරු සිනමාහල් කරා එක් චිත්‍රපටයක් වෙනුවෙන් මුදාහැරිය පිටපත් ගණන කීයද?

ඩබ්. ලෙනාඩ් ප්‍රනාන්දු – දූනගහ

සාමාන්‍යයෙන් 15 ක්. ඇතැම් විට 18 ක්.

අරිසෙන් අහුබුදු ශූරීන් රචනා කළ ග්‍රන්ථ කොපමණද?

ඩඩ්ලි ගෝමස් - මොරටුව

එතුමා රචනා කළ ග්‍රන්ථ ප්‍රමාණය කොපමණද යන්න කියන්න මට බැහැ. ගීත, නාට්‍ය, ළමා ආදී විවිධ පොත් රාශියක් එතුමා අතින් ලියැවුණා. ඒ වගේම පොතපතින් ලබා ගන්නට බැරි තරම් අප්‍රමාණ දැනුම් සම්භාරයක් එතුමන් සතුව තිබුණා.

චන්ද්‍රලේඛා - අපූර්ව සහෝදර්ගල් යන දමිළ චිත්‍රපටවල කෙටි විස්තරයක් කරන්න.

ජයම්පති නවරත්න – මාතලේ

ඓතිහාසික කතාවක් රැගත් චන්ද්‍රලේඛා චිත්‍රපටය 1948 දී නිර්මාණය වූවක්. එය අධ්‍යක්ෂණය කළේ ඉන්දියාවේ සිසිල් බී. ඩිමෙල් නමින් හඳුන්වන එස්. එස්. වාසන් විසිනි. එහි ටී. ආර්. රාජ් කුමාරි, එම්. කේ. රාධා, රංජන්, එන්. එස්. ක්‍රිෂ්ණන්, ටී. ඒ. මධුරම් ආදී අය ප්‍රධාන චරිත රඟපෑවා. මේ චිත්‍රපටය තරම් දැවැන්ත චිත්‍රපටයක් ඒ වකවානුව තුළ ඉන්දියාවේ නිර්මාණය වී තිබුණේ නැහැ.

1949 දී නිර්මාණය කළ අපූර්ව සහෝදර්ගල් චිත්‍රපටය ආචාරිය නැමැති අය විසින් අධ්‍යක්ෂණය කළේ එස්. එස්. වාසන්ගේ නිෂ්පාදනයකටයි. මෙහි ප්‍රධන චරිත රඟපෑවේ එම්. කේ. රාධා, භානුමති දෙපළයි.

එය සුප්‍රකට කෝෂිකන් සහෝදරයෝ නැමැති නවකතාව පාදක කරගෙනයි. අපේ ‘ආත්ම පූජා’ චිත්‍රපටයට පාදක වන්නේත් මේ නවකතාවයි.

වෙනදා චිත්‍රපට තිරගතවීමේදී ප්‍රසිද්ධ ස්ථානවල පෝස්ටර් ඇල වූ නමුත් දැන් එසේ සිදු නොවන්නේ මන්ද?

වික්ටර් පල්ලිමුල්ල – හැඳල

පෝස්ටර් අලවන්නේ කොහොමද, පාප්ප වේලෙන්නත් කලින් චිත්‍රපටය ගලවලා.

ෆිල්ම් ෆෙයාර්, පික්චර් ෆෝස්ට්, පේෂන් පාඩමි ආදී දෙමළ, හින්දි, ඉංග්‍රීසි සිනමා සඟරා දැනට මුද්‍රණය කර ප්‍රකාශයට පත්කරනවාද?

විමල් රණසිංහ – ග්‍රෑන්ඩ්පාස්

ෆිල්ම් ෆෙයාර් සඟරාව නම් තාම මුද්‍රණය වෙනවා. අනිත් සඟරා නම් පළ වෙන්නේ නැහැ.

සංදේශය චිත්‍රපටය කැමරාගත කර ඇත්තේ ලංකාවේද?

කේ. පී. පියසේන, රේමන් සිල්වා - බොරගොඩත්ත

එස්. පී. එම්. චිත්‍රාගාරයේ රූගත කෙරුණු දර්ශන කිහිපයක් හැරෙන්නට අන් සියල්ලම බලංගොඩ, කල්තොට ආශ්‍රිතව රූගත කෙරුණා.

මාතලන් චිත්‍රපටයේ චිත්‍රාරම්භ කුමාරයා හා ඔහුගේ පුතා මාතලන් ලෙස රඟපෑ ශේෂා පලිහක්කාර හා වේශ නිරූපණ ශිල්පී ශේෂා පලිහක්කාර දෙදෙනෙකු ද එක් අයෙක්ද?

රෝහිත හේවාපන්න – රාගම

එක් අයෙක්. 2009 ජූලි 12 වැනිදා ඔහු මිය ගියා.