වර්ෂ 2013 ක්වූ ජූලි 25 වැනිදා බ්‍රහස්පතින්දා




නැටුම් ගුරුවරියක් වීම මගේ අභිලාෂයයි

නැටුම් ගුරුවරියක් වීම මගේ අභිලාෂයයි

ජී.ධම්මිකා දමයන්ති

අපේ රටේ සතර අත පැතිර ඇති තාරුණ්‍යයේ ප්‍රතිභාව එක්තැන් කරන ජාතික යෞවන සම්මාන ප්‍රදානෝත්සවය පසුගියදා නිමාවිය.

ඒ ජාතික තරුණ සේවා සභාවේ ප්‍රයත්නයක් හැටියටයි.අපේ වෑයම ඒසොයා ගත් තාරුණ්‍යයේ ප්‍රතිභාව ඔබට හදුන්වා දෙන්නයි. මේ ලිපි මාලාව ඒ යොවුන් පෙළ වෙනුවෙනුයි.

යංග් ටැලන්ට් තීරුවෙන් අද ඔබට හදුන්වා දෙන්න බලාපොරොත්තු වන්නේ හොරණ යෞවන සමාජයේ ,කළුතර දිස්ත්‍රික්කයේ, බස්නාහිර පළාතෙන්, අසංදෘශ වන්නම ඉදිරිපත් කරමින් උඩරට නැටුම් මිශ්‍ර කාන්තා අංශයෙන් ප්‍රථම ස්ථානය දිනාගත් වටරැක පදිංචි ජී.ධම්මිකා දමයන්ති පිළිබදවයි.

මීගොඩ ධර්මරාජ, පාදුක්ක සිරි පියරතන මධ්‍ය මහා විද්‍යාලයන් ගෙන් මූලික අධ්‍යාපනය ලබා කැලණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර පීඨයේ ප්‍රාසාංගික කලා අධ්‍යයන ඒකකයේ නර්තන අංශයේ තුන්වන වසරේ අධ්‍යාපනය හදාරමින් සිටියි.

කුඩා කල පටන් තම පියාගෙන් පහත රට නර්තනය ප්‍රගුණ කළ ඇය, දුර්ගා බොතේජු, ලක්ෂ්මි වීරකෝන් යන ගුරු මැණිවරුන් යටතේ උඩරට නර්තනයේ මුල් අත්පොත් තැබිනි.

2009 වර්ෂයේදී රූසිරු කලා අරණ ට සම්බන්ධ වි ප්‍රගීත් අනුරාධ ගුරුපියාණන්ගේ මග පෙන්වීමෙන් 2010 වර්ෂයේදී හොරණ රජ මහා විහාරයේදී පායිම්පත් පැලද වු ධම්මිකා ට “අනුකාර්“ 2011 සහ 2013 යන නර්තන ප්‍රසංග වලදී නර්තන දක්ෂතා එළිදැක්වීමට හැකි විය.

කැලණිය විශ්වවිද්‍යාලය මගින් පැවැත්වූ බිහිදොර අබියස 2003 ප්‍රාසංගික උළෙල, 2007,2008,2009,2010 යන වර්ෂවලදී පවත්වනු ලැබූ සමස්ත ලංකා නර්තන හා මුද්‍රා නාට්‍ය තරග අංශයෙන්, සංස්කෘතික අමාත්‍යාංශය පැවැත් වූ ජාතික නැටුම් තරග යන්ට සහභාගි වී විශිෂ්ට ජයග්‍රහණ රැසක් දිනාගැනීමට හැකි වී තිබේ.

ඇය ලැබූ විශිෂ්ටතම ජයග්‍රහණය ලෙස හදුන්වනු ලබන්නේ 2012 වර්ෂයේදී ශ්‍රී ලංකා යූත් ජාතික යෞවන සම්මාන තරගයෙන් රූසිරු කලා අරණ යටතේ උඩරට මිශ්‍ර ප්‍රථම ස්ථානය දිනා ගැනීමයි.

මංගලිකා ජයතුංග, ප්‍රශාන්ති නාරංගොඩ, ඊෂානි රංගනාථ, මනෝරි මනම්පේරිය, නිශාන්ත දේවසිංහ, ජගත් රණසිංහ, දිල්කුෂි විජේරත්න යන ගුරුවරුන් යටතේ උඩරට, පහතරට, සබරගමු හා විදේශීය නර්තනයන් හදාරන ඇයගේ අනාගත බලාපොරොත්තුව වන්නේ සම්ප්‍රදායයන් රැකගෙන නව නිර්මාන බිහි කරමින් මේ නැටුම් කලාවන් තවත් අය අතරට ගෙන යාමට නැටුම් ගුරුවරියක් වන්නටයි.

තම අනාගතය සාර්තක කරගැනීමට අත දෙන සියලු ගුරුභවතුන්ට,ඉන්ද්‍රානි දමයන්ති, සරත් නන්දසිරි මව් පියන්ට, තම බාල සොහොයුරු ලහිරු රංගනා නන්දසිරිට, හිත මිතුරන්ට, ගෞරවනීය ස්තුතිය පුද කරන්නට ඇය අමතක නොකළාය.