වර්ෂ 2013 ක්වූ ජූලි 25 වැනිදා බ්‍රහස්පතින්දා




රියැලිටි අතර ‘ස්ටාර්’ රණවිරු රියල් ස්ටාර්

රියැලිටි අතර ‘ස්ටාර්’ රණවිරු රියල් ස්ටාර්

තෙවන වටයේ මහා ප්‍රසංගය 27 වැනිදා

රණවිරු රියල් ස්ටාර්ස් නාමය අපේ දෙසවනට ඇසෙන්න පටන් ගත්තේ මීට තෙවසරකට පෙරාතුව. ඒ අපේ රණවිරුවන්ගේ විජයග්‍රහණයත් සමඟ. ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයක් අනුව ඇරැඹි රණවිරු රියල් ස්ටාර්ස් අද වන විට ජනප්‍රියම රූපවාහිනී රියැලිටි වැඩසටහන බවට පත්ව ඇත. එහි තෙවන අදියර අභිෂේක මංගල්‍යය මෙම මස විසිහත් වෙනිදා සවස 6.30 ට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට සියල්ල සූදානම් වී හමාරය. මෙම වැඩ සටහනේ භාරකාරත්වය උසුලන ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතා සමඟ කෙරෙන පිළිසඳරකි මේ.

* එළඹෙන විසි හත් වැනිදාට එළි දක්වන්නේ කීවෙනි රණවිරු රියල් ස්ටාර් මහා ප්‍රසංගයද?

තෙවන ප්‍රසංගය තමයි එදාට අපි පවත්වන්නේ. මීට පෙර අවස්ථා දෙකකදී අපි මෙවැනි ප්‍රසංග දෙකක් පවත්වා තිබෙනවා.

* අද වෙන විට රූපවාහිනී නාලිකා අතරේ තරගකාරී ලෙස පවත්වනු ලබන මෙවැනි රියැලිටි වැඩසටහන් අතර රණවිරු රියල් ස්ටාර්ස් වෙත ලැබෙන්නේ මොන වගේ ප්‍රතිචාරයක්ද?

රූපවාහිනි මාධ්‍ය ඉතිහාසයේ ජනප්‍රියම රියැලිටි වැඩසටහන පවත්වලා තිබෙන්නේ අපි. ඒ බව රූපවාහිනී රේටින්ස්වලින් පවා අද වෙන කොට ඔප්පු වෙලා අවසන්. කවුරු රියැලිටි වැඩසටහන් කළත් ඒ අය ස්ටාර්ස්ලා තෝරපු අවසන් වටයේ ලබපු එස්. එම්. එස්. ප්‍රමාණයට වඩා කීප ගුණයක් අපි කරපු රියැලිටි වැඩසටහන්වල අවසන් වටයට ලැබිලා තියෙනවා.

* ඒ කියන්නේ අපේ රටේ රියැලිටි වැඩසටහන් අතරින් රණවිරු රියල් ස්ටාර්ස් නම්බර් වන්?

පැහැදිලිවම ඔව්. කාටවත් නෑ කියන්න බෑ. අපි කරපු මුල්ම රණවිරු රියල් ස්ටාර්ස් වැඩසටහනේ අවසන් වටයට ලැබුණු එස්. එම්. එස්. ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් දෙවන වරට කරපු රියැලිටි ෂෝ එකේ අවසානයට ලැබුණා. මෙවර එහි තෙවන අදියර පවත්වන්නේ. මේ වැඩසටහන මිනිසුන් අතර කෙතරම් ජනප්‍රිය ද කියනවා නම් අපි මෙවර අවසන් වටයට තෝර ගත්තු පස් දෙනා වෙනුවෙන් පමණක් ඒ අවස්ථාව වන විට එස්. එම්. එස්. විසිතුන් ලක්ෂ හැට නව දාහක් ලැබී තිබුණා. තෙවන වටයේ අවසන් මහා තරගයේ පස්දෙනා තෝර ගන්න විතරක් එදා ලැබුණු මේ එස්. එම්. එස්. ප්‍රමාණය කොයි රියැලිටි වැඩසටහනකටවත් ලැබිලා නැතුව ඇති.

පළමුවෙනි වටය අවසාන වන විට එයට ලැබුණේ එස්. එම්. එස්. මිලියන 2.3 ක්. ඊට පස්සේ දෙවන රණවිරු රියැලිටි වැඩසටහන අවසන් වන විට ලැබුණේ එස්. එම්. එස්. මිලියන 3.4. මේ අනුව ගත්තාම 27 වැනිදා අවසන් මහා තරගය අවසන් වන විට අනිවාර්යෙන්ම එස්. එම්. එස්. මිලියන 4 ක් හෝ පහක් ඉක්ම වෙලා යයි.

* රණවිරු රියල් ස්ටාර්ස් මෙතරම් ජනතාව අතර ජනප්‍රියවීමට හේතුව වුණේ මොකක්ද?

මේ වැඩ සටහනේ තියෙන ගුණාත්මකභාවය, විනය ගරුකභාවය වගේම මෙය ලෝකයේ මුල්ම රණවිරු රියැලිටි වැඩසටහනවීමත් මම හිතන්නේ ඒ ජනප්‍රියත්වයට හේතුවක් වෙන්න ඇති කියලා.

වැඩසටහන් පුරාවට අදියර තුනේදීම මෙහි සාර්ථකත්වය ඉහළින් රඳවා ගැනීමට සුවිශේෂී හේතුවක් තියෙනවාද?

මේ වැඩසටහනේ නිර්මාතෘවරයා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා. එතුමා මෙහි කටයුතුª පිළිබඳ නිරන්තරයෙන් සොයා බලනවා. වැඩසටහන පටන් අරන් කාට හරි කරගෙන යන්න කියලා පැත්තකට වෙලා හිටියේ නෑ. සතියක් ගානේ මේ වැඩසටහන නරඹලා අඩුපාඩු හදාගන්න එතුමා උපරිමයෙන් මෙයට කැප වුණා. උගත් බුද්ධිමත් විනිශ්චය මණ්ඩලයක් මේ සඳහා තෝරා ගත්තා. සංගීත අධ්‍යක්ෂවරයාගේ පටන් හැම දෙයක් වෙනුවෙන්ම උපරිම දක්ෂතා ඇති පුද්ගලයින් මෙයට සම්බන්ධ කරගත්තා. ආරක්ෂක ලේකම්තුමාගේ සෘජු මැදිහත්වීම නිසාම මේ තරම් සාර්ථක රියැලිටි වැඩසටහනක් අපිට ඉදරිපත් කරන්න පුළුවන් වුණා.

* මෙවර මෙහි තෙවන අදියරේදී මෙතෙක් පැවැති තරගයට අලුත් මුහුණුවරක් එක් කළාද?

මුලින් කරපු තරග දෙකටම වඩා වෙනස් මුහුණුවරක් අපි මෙවර හඳුන්වා දුන්නා. ඒ කටයුත්ත මෙයට පෙර කිසිම රියැලිටි වැඩසටහනක් වෙනුවෙන් කිසිම නාලිකාවක් කර තිබුණෙත් නැහැ. මුලින් අපි අවසාන වටයට විසි හතර දෙනෙක් ගෙනාවා. ඒක අපි තිස් හය දෙනෙක් දක්වා වැඩි කළා. මෙවර අපි අවසාන වටයට තෝරා ගන්නා දොළොස් දෙනාට තමන් හිටිය තැන සිට ඉදිරියට එන්න නව මුහුණුවරක් හඳුන්වා දෙමින් අවසන් වටයට පස් දෙනෙක් තෝරා ගත්තා.

* නව මුහුණුවර තරගකරුවන්ට අසාධාරණයක් වෙන්නේ නැද්ද?

කොහෙත්ම නෑ. තමන්ගේ අඩු පාඩු හදාගෙන තරගයට එන්න හොඳ ප්‍රවිශ්ටයක් වුණා අපේ මේ නව වෙනස. ඒකෙන් තරගකරුවන් තමන් ඉන්න තැන හොඳින් වටහාගෙන තරගයට මුහුණ දීලා අද වෙන කොට මුල් වතාවේ අන්තිමට සිටි අය අද අවසන් පස් දනා අතරට එක්වෙලා ඉන්නවා. ඒක නියම දක්ෂයාට තමන්ගේ හැකියාව පෙන්වන්න හොඳ අත්වැලක් වුණා.

* මෙවර ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් අවසන් වටයට පැමිණිලා ඉන්නේ කවුරුන්ද?

යුද හමුදාව නියෝජනය කරමින් තිදෙනකුත්, නාවික හමුදාව නියෝජනය කරමින් එක් අයකුත්, ගුවන් හමුදාව නියෝජනය කරමින් එක් අයකුත් පැමිණ තිබෙනවා.

* කාන්තා නියෝජනයක් ඇත්තෙම නැද්ද?

ගුවන් හමුදාව නියෝජනය කරමින් එක් කාන්තාවක් මෙවර අවසන් වටය තරග වදිනවා.

* මෙවර අවසන් වටයේ ජයග්‍රාහකයන්ට මොන වගේ තෑගි ද ලබා දෙන්නේ?

පළමුතැන හිමි කර ගන්නා ජයග්‍රාහකයාට මිලියන විස්සක් වටිනා ගෙයක් ලබාදෙනවා. දෙවන තැන හිමි කර ගන්නා ජයග්‍රාහකයාට මිලියන 6.7 ක් වටිනා මෝටර් රථයක් ලබා දෙනවා. අවසන් වටය නියෝජනය කළ තිස් හය දෙනාටම මිලියන පනහකට අධික තෑගි ප්‍රමාණයක් ලබා දෙනවා. අපි මෙහිදී විශේෂත්වයක් කරනවා. අපි ලබා දෙන මූල්‍ය ත්‍යාග කිසිවක් අපි චෙක්පත් මඟින් ලබා දෙන්නේ නෑ. ඒ සෑම මුදලක්ම එවේලේම ලංකාවේ වලංගු මුදල් නෝට්ටුවලින්ම ලබාදෙනවා. ජයග්‍රාහකයන්ට දෙන ත්‍යාග කිසිවක් අපි කල් අරගෙන ලබා දෙන්නේ නැහැ. අනෙකුත් රියැලිටි වැඩසටහනන්වල සේ අවසන් මහා තරගයේදීම සියලු දෙනාට එදින තමන්ගේ ත්‍යාග අපි ලබාදෙනවා. මේකත් අපේ රියැලිටි වැඩසටහනේ සුවිශේෂී අංගයක්.

* මේ රියැලිටි වැඩසටහන්වලින් ජයග්‍රහණය කරන පුද්ගලයන්ගේ දක්ෂතා නැවත පුනර්ජීවනයකට අත් වැලක් එක් කිරීමේ වැඩ පිළිවෙළක් සැලසුම් කරලා නැද්ද?

අවසන් වටයේ ජයග්‍රහණය කරන පුද්ගලයන්ට සංගීතය පිළිබඳ වැඩිදුර පුහුණුවක් ලබාදිමේ වැඩ පිළිවෙළක් මින් ඉදිරියට අපි ආරම්භ කරනවා. ආරක්ෂක ලේකම්තුමාගෙන් දැනටමත් එයට අවසර ලැබිලයි තියෙන්නේ.

* මීට කලින් ජයග්‍රහණය කළ පුද්ගලයන්ගේ දක්ෂතා එළි දක්වන්න කිසියම් හෝ වැඩ පිළිවෙළක් ඇති කළාද?

අපේ පළමු අදියරයේ දොළෙස් දෙනාගේ සී. ඩී. එකක් දැනටමත් එළි දක්වලා තියෙනවා. ඒ වගේම ඒ අදියර දෙකේම ජයග්‍රහණය කළ පුද්ගලයන් විදේශ සංචාර සඳහා සහභාගි කරලා තියනවා. අමෙරිකාවේ ලොස් ඇන්ජලීස්, නිව්යෝර්ක් නගරවල, කොරියාව, මැද පෙරදිග, ඕස්ට්‍රේලියාව ආදී රටවල සංගීත ප්‍රසංග සඳහා අපි ඔවුන්ව සහභාගි කරලා තියෙනවා. ඒ රටවල තානාපති කාර්යාල, කලා සංගම්වල ආරාධනයන් වෙනුවෙන් තමයි අපි ඔවුන්ව ඒ සඳහා සහභාගි කෙරෙව්වේ. ඒ සංචාර ඉතාම සාර්ථක සංචාර වුණා.

අදටත් හුඟක් රටවලින් ආරාධනා තියෙනවා ප්‍රසංග සඳහා මේ අයව ඉල්ලලා. අපේ විශේෂ අවසරයක් ඇතුව ප්‍රසංග වේදිකාවේ ගී ගැයීමටත් අපි මේ අයට අවස්ථාව උදා කරලා තියෙනවා. හමුදාවේ විනය ආරක්ෂා වන පරිදි ගිය වර අපේ දෙවන අදියරේ ජයග්‍රහණය කළ අයෝමාට පවා මේ වන විට දිය මත ලියමි ටෙලි නාට්‍යයේ තේමා ගීතය ගායනා කිරීමට අවස්ථාව උදා වුණා. මෙවැනි දේ තුළින් අපේ ජයග්‍රාහී රණවිරුවන්ට ලැබිලා තියෙන්නෙ විශාල ගෞරවයක්.

* ‘රණවිරු රියල් ස්ටාර්ස්’ රැගත් සංගීත සංදර්ශන රට පුරා වුණත් සංවිධානය කරන්න පුළුවන් නේද? එවැන්නකට තවමත් සූදානමක් නැද්ද?

එවැනි සංදර්ශන පහක් පමණ අපි මේ වන විට කරලා තිබෙනවා. වව්නියාව, කුරුණෑගල, මීගමුව, ඇඹිලිපිටිය, යාපනය ආදී ප්‍රදේශවල මෙවැනි ප්‍රසංග කීපයක් කළා. අතුරු සිදුරු නැතුව මහා ජන ගඟක් මේ හැම ප්‍රසංගයකටම පැමිණියා.

* රණවිරු රියල් ස්ටාර්ස් හතරවෙනි අදියරට යෑමට මේ වන විටත් සූදානම්ද?

ඔව්. අපේ සූදානම ඊළඟට හතරවෙනි අදියර. ඒ සඳහා අපි වැඩ සටහනට වෙනස් මුහුණුවරක් එක් කරන්න බලාපොරොත්තු වෙනවා. ආරක්ෂක ලේකම්තුමා අපිට කිව්වා ආබාධිත රණවිරුවන්ටත් මේ අවස්ථාව උදා කරලා දෙන්න කියලා. ඒ අයගෙත් කුසලතා අපි මේ ස්ටාර්ලා අතරට ගෙන එන්න තමයි හතර වෙනි අදියරේ සූදානම.

* මෙවර විසිහත් වෙනිදාට පවත්වන ප්‍රසංගය විශේෂ සංදර්ශනයන්ගෙන් අලංකාර කිරීමේ සැලැස්මක් තිබෙනවාද?

මිහිඳු සෙත් මැදුර, අභිමන්සල, රාගම රණවිරු සෙවණේ වෙසෙන ආබාධිත රණවිරුවන්ගේ විශේෂ සංදර්ශන දෙකක් අපි මෙවර අවසන් මහා තරගයේ විචිත්‍රත්වයට එක් කරලා තියෙනවා.

* මුල්ම රණවිරු රියල් ස්ටාර්ස් වුණේ නාවික හමුදාව. දෙවන වර රණවිරු රියල් ස්ටාර්ස් වුණේ යුද හමුදාව. මෙවර එය ගුවන් හමුදාව සතු වෙයිද?

ඒක අපි මෙම මස 27 වැනිදා සවස 6.30 ට සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරැඹෙන රණවිරු රියල් ස්ටාර්ස් මිෂන් ත්‍රී රාත්‍රියෙන් දැක බලා ගමු. මම ආරාධනය කරනවා රට පුුරා විසිරී සිටින සියලු රූපවාහිනී ප්‍රේක්ෂකයන්ට එදාට ජාතික රූපවාහිනිය සමඟ එකට එක්වෙලා අපේ රණවිරුවන්ගේ මීළඟ රණවිරු රියල් ස්ටාර්ස් කවුද කියලා අපට තෝරලා දෙන්න කියලා.