වර්ෂ 2013 ක්වූ ජූලි 25 වැනිදා බ්‍රහස්පතින්දා




‘ඉගිල්ලෙන්න ඇයි දඟලන්නේ’ හැදුවේ හැඟීම්, දැනීම් ඇති අයට

‘ඉගිල්ලෙන්න ඇයි දඟලන්නේ’ හැදුවේ හැඟීම්, දැනීම් ඇති අයට

චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිසෙමින් ජනපි‍්‍රය නළු අර්ජුන් කමලනාත් පවසයි

අර්ජුන් කමලනාත් නළුවකු වූයේ අහම්බෙනි. ඒ අහම්බය ඔහුගේ ජීවිතයට වාසනාව ළඟා කර දුන්නේය. දාහතර වසරක් පුරාවට අපේ සිනමාවේ ජනප්‍රිය තරුවක් සේ දිදුලන්නට ඔහු වරම ලැබූයේ ඒ අහම්බය නිසාවෙනි.

‘ඉගිල්ලෙන්න ඇයි දඟලන්නේ’ චිත්‍රපටය සමඟින් අර්ජුන් අධ්‍යක්ෂණයට ද පිවිසියේය. එය ද අහම්බයක් බව ඔහු පවසයි. අභියෝග මැද නොසැලී ඉදිරියට යන අර්ජුන් අද අප හා මෙලෙස සංවාදයට එක් වේ.

අධ්‍යක්ෂවරයකු වූයේ ඇයි කියන පැනය මා මුලින්ම ඔබට යොමු කරන්නම්?

මම නළුවෙක් වුණේ අහම්බෙන්නේ. ඒ වගේම අධ්‍යක්ෂවරයෙක් වුණෙත් අහම්බෙන්. හැබැයි රඟපාන්න එනකොට මට ඒ ගැන දැනුමක් අවබෝධයක් තිබුණේ නෑ. කවුරුත් දන්නවා සුනිල්්සෝම පීරිස් මහත්තයා පාරෙදි මාව දැකලා මට පොඩි චාන්ස් එකක් දීලා එහෙමනේ නළුවෙක් වුණේ. නමුත් අධ්‍යක්ෂවරයෙක් වෙන කොට මම ඊට වඩා පරිණත වෙලා. චිත්‍රපට නිෂ්පාදනය කරලා, අධ්‍යක්ෂවරු සිනමාවට හඳුන්වලා දීලා මේ ෆීල්ඩ් එක ගැන අවබෝධයක් මට මේ වෙන කොට තියෙනවා. මම නිෂ්පාදනය කළ ‘සුදු හංසි’ චිත්‍රපටයෙන් මම සෆ්රාස් කියන අධ්‍යක්ෂවරයා සිනමාවට හඳුන්වා දුන්නා. ඒත් ඇත්තෙන්ම අධ්‍යක්ෂවරයකු වෙන්න මගේ හිතේ කිසිම බලාපොරොත්තුවක් තිබුණේ නෑ.

නමුත් අද ඒක එහෙම වෙලා?

සිනමාව දෙකට බෙදලා තියෙනවනේ අද කලාත්මක, වාණිජ කියලා. ඒක හරි ද වැරැදි ද කියන එක වෙනම කතාවක්. නමුත් එහෙම බෙදලා තියෙනවනේ. ඒක අපිට වෙනස් කරන්නත් බෑනේ. එතකොට අපි මේ වාණිජ සිනමාව නියෝජනය කරන නළුවන්. ඒත් අද සුන්දර වාණිජ චිත්‍රපට නිර්මාණය නොවීමේ ප්‍රවණතාවක් තියෙනවා. එහෙම වාණිජ චිත්‍රපට කරන්න පුළුවන් අධ්‍යක්ෂවරු අද ඇත්තෙන්ම අපේ සිනමාවේ හිඟයි. නළු, නිළියෝ ඉන්නවා. තක්ෂණය තියනවා. ඒත් යසපාලිත නානායක්කාර, දයා විමලවීර, නීල් රූපසිංහ වගේ ක්‍රියේටිව් ෆිල්ම් ඩිරෙක්ටර්ස්ලා අද හිඟයි. හින්දි හරි දෙමළ හරි චිත්‍රපටයක් බලලා සිංහල කොපියක් ගැහුවට ඒක නියම වාණිජ චිත්‍රපටයක් වෙන්නේ නෑ.

ඔබ වාණිජ සිනමා ධාරාව නියෝජනය කරන නළුවකු නිසා ඒ අඩු ලුහුඬුකම තදින්ම දැනෙනවා ඇති?

ඔව්. ඉඳලා හිටලා හරි එහෙම චිත්‍රපටයක් හැදුනත් අපෙන් වැඩක් ගන්නෙම නැති තරම්. ඒ ගැන මට ලොකු කලකිරීමක් තිබුණා. මොකද මම ටෙලි නාට්‍යයවල රඟපාන්නෙත් නෑ. ප්‍රසන්ට් කරන්න සිංදු කියන්න යන්නෙත් නෑ. මම එතකොට කරන්නේ සිංහල චිත්‍රපටවල රඟපෑම පමණමයි. ඒත් සමහර අධ්‍යක්ෂවරුන්ගේ කුහක ප්‍රතිපත්තියකුත් තියෙනවා මාව චිත්‍රපටවලට දායක කර නොගන්න.

එතකොට මේ තත්ත්වයන් තමයි ඔබට බලපෑවේ අධ්‍යක්ෂවරයකු වෙන්න?

මට මේ වෙලාවේ හිතුණා, නෑ මම අලුත් දෙයක් කරන්න ඕනෑ කියලා. එහෙම තමයි ‘ඉගිල්ලෙන්න ඇයි දඟලන්නේ’ චිත්‍රපටයට පසුබිම සැකසෙන්නේ. මේ කිසිම හින්දි, දෙමළ එහෙම නැතිනම් වෙනත් චිත්‍රපටයක කොපියක් නෙවේ. ඒක මම දැඩි වගකීමෙන් කියන දෙයක්. මේක මගේම කන්සෙප්ට් එකක්. අධ්‍යක්ෂණය වගේම කතාව, දෙබස්, තිර නාටකයත් මගේ. නළු, නිළියෝ ගත්තත් සීයට අනූවක් බ්‍රෑන්ඩ් නිව්. ඒ බ්‍රෑන්ඩ් නිව් ගත්තේ ඔවුන් මට හසුරවා ගන්න ලේසි නිසා. චිත්‍රපටයේ හිටපු ප්‍රවීණයා මමයි. අනෙක් ඔක්කොම අය මට වඩා පල්ලෙහා මට්ටමේ. අත්දැකීම් අඩු අය.

‘සුපර් ස්ටාර්ස්ලා’ නැතුවයි මේ චිත්‍රපටය ඔබ කළේ?

ඔව් . . . කම් ඕ ගෝ චිකාගෝ, වා නම් වා පෝ නම් පෝ කියලා හිතලා තමයි වැඩේට අත ගැහුවේ.

නමුත් ප්‍රවීණ නළු, නිළියන් සමඟ වැඩ කළා නම් මේ චිත්‍රපටයට වැඩි වටිනාකමක් ලබා ගත හැකි වේ යැයි ඔබට සිතුණේ නැද්ද?

ඔය කියන දේ ලැබෙන්න පුළුවන්. හැබැයි එතකොට චිත්‍රපටයේ නැවුම් ගතිය නැතිව යනවා. දැන් මේ චිත්‍රපටයේ තියෙනවා නැවුම් ගතියක්. ඒ බ්‍රෑන්ඩ් නිව් ගතිය ඔය කියන කට්ටිය ගත්තා නම් මට ලැබෙන්නේ නැති බව මට විශ්වාසයි. මොකද අපේ මිනිස්සුන්ට දැන් ඕනෑ අලුත් මුහුණු. ඒක තමයි ඇත්ත. ජාතික තරුණ සේවා සභාවේ ඉන්න අධ්‍යක්ෂවරයෙක් හැටියට මට ගොඩක් තරුණ, තරුණියෝ හම්බ වෙනවා. මට හම්බ වෙන්නේ අවුරුදු 16 ත් 30 ත් අතර කෙල්ලෝ, කොල්ලෝ. උන් මගෙන් ඉල්ලන්නේ අලුත් දේවල්.

යං බ්ලඩ්?

ඔව්. . . යං බ්ලඩ්. එතනදි අපි අලුත් කන්සෙප්ට්වලට ගිහිල්ලා, අලුත් පිරිස යොදා ගෙන අලුත් දෙයක් කරනවා මිසක අර පරණ අච්චුව ගහන්න ගියොත් ආයෙමත් අර පරණ තැනටමනේ යන්නේ. මම ජෝතිපාල මහත්මයාගේ සිංදු දාගත්තා නම් එතනත් එන්නේ අර පරණ තැටියමනේ. දැන් මේ චිත්‍රපටයේ සිංදු දෙකම අලුත්. ‘රණවිරු රියල් ස්ටාර්’ අයෝමි පෙරේරා මේ ගී දෙකම ගායනා කළේ. මේ එයාගේ ෆස්ට් ෆිල්ම් එක. ඒ වගේම කේෂාන් පෙරේරා කියන තරුණ සංගීත අධ්‍යක්ෂවරයා මේ චිත්‍රපටයට සංගීතයෙන් දායක වුණා. මේ හැම දේම නැවුම්. ඒ නැවුම් බව හරි සුන්දරයි.

මේ චිත්‍රපටයෙන් ඔබ ඉලක්ක කළේ මම හිතන්නේ තරුණ ප්‍රේක්ෂක පිරිස?

ඔබ හරි. චිත්‍රපටයට තරුණ පිරිසගෙන් මේ වෙන කොට විශාල ප්‍රතිචාරයක් ලැබෙමින් පවතිනවා. සමහරු මට කිව්වා ‘අයියේ මේ පැය එක හමාර ගත වෙනවා අපට දැනුනෙවත් නෑ’ කියලා. ඒ තමයි මම බලාපොරොත්තුª වූ ප්‍රතිචාරය. විශේෂයෙන්ම කියන්න ඕනෑ අසංක මේ චිත්‍රපටය මම හැදුවේ හැඟීම් දැනීම් තියෙන අයට. අනෙක මේ චිත්‍රපටය නරඹලා මාධ්‍යවේදීන් මට අත්පුඩි ගැහුවනේ. අන්න ඒක මට සම්මානයක් ලැබුණා හා සමානයි. මම සලකන්නේ මගේ හොඳම විවාරකයෝ මාධ්‍යවේදීන් කියලයි. ඒ කියන්නේ විචාරකයෝ නෙවෙයි. පොදු ජනතාවත් එක්ක ඉන්න ඔයාලා වගේ කට්ටිය.

ඇයි විචාරකයන්ගේ අදහස්, උදහස් ඔබට වටින්නේ නැද්ද?

ඔය විචාරකයන් කියන අයට මගේ එච්චර මනාපයක් නෑ. බලන්න බැරි චිත්‍රපට හොඳයි කියන කට්ටියත් ඉන්නවනේ. ඒ අයගේ දෘෂ්ටි කෝණයට මගේ චිත්‍රපටය ලෙඩක් වෙන්න පුළුවන්. නමුත් මම කතා කරන්නේ පොළොවේ පය ගහලා ඉන්න සාමාන්‍ය ජනතාව ගැන. මට ඕනෑ කෙලින් ප්‍රතිචාර. මගේ ජංගම දුරකථන අංකය පවා මම හෑන්ඩ් බිල්වල මුද්‍රණය කළේ ඒ නිසා. හොඳ විතරක් කියන්න ඕනෑ කියලා නියමයක් නෑනේ. මට බැන්නත් මම අහගෙන ඉන්නවා. හැබැයි ඒවා සාධාරණ විවේචන වෙන්න ඕනෑ.

විචාරකයන් ඔබේ චිත්‍රපටයට යහපත් ප්‍රතිචාරයක් දක්වයිද, නැද්ද කියලා දැන්ම කියන්න බැහැනේ?

සාමාන්‍යයෙන් විචාරකයෝ චිත්‍රපටවලට හොඳ කියනවා හරි අඩුයි නේ. ඒක එදා ඉඳන්ම තිබුණ දෙයක්නේ. මිනිස්සුන්ට නොතේරෙන මොකක් හරි කළොත් ඒක හොඳයි කියනවා. මිනිස්සු ආදරයෙන් වැලැඳ ගත් චිත්‍රපට සමහර විචාරකයන්ට අරහං. මගේ චිත්‍රපටය බොහොම සරලයි. හැබැයි ඒකේ යටි පෙළ අරුතක් තියෙනවා. මොන දේ කළත් නීතියට යටයි කියන පණිවිඩය තමයි මම දෙන්නේ. මේක විචාරකයෝ කොහොම ග්‍රහණය කර ගනියි ද කියන්න මම දන්නේ නැහැ.

සාධාරණ විවේචනවලින් චිත්‍රපටයට වගේම සිනමාකරුවාටත් සෙතක් වෙනවා?

ඔව්. සාධාරණ නම් විතරයි. පහුගිය කාලේ තමන්ගේ ප්‍රථම චිත්‍රපටය හදපු අධ්‍යක්ෂවරුන් කීප දෙනෙකුටම විචාරකයන්ගෙන් ඒ සාධාරණය ඉටු වුණේ නෑ. එහෙම වුණාම නිර්මාණකරුවෝ අධෛර්යයට පත්වෙනවා. අපි විවේචනයක්, විචාරයක් කරන්න ඕනෑ කෙනෙක් හදා ගන්න මිසක නැති කරන්න නෙවෙයිනේ. බලලා විවේචනය කරන්න හරි ලේසියි. නමුත් අධ්‍යක්ෂවරයකුට, නිෂ්පාදකවරයකුට තමන්ගේ චිත්‍රපටය පෙන්වා ගන්න අද කොයි තරම් පරිශ්‍රමයක් දරන්න ඕනෑද කියා අමුතුවෙන් කියන්න ඕනෑ නෑනේ. ඒක ලොකු කට්ටක්. විවේචනය කරන්නෙත් කවුරු හරි චිත්‍රපටයක් හැදුවොත්නේ. එහෙම නැතිනම් විවේචකයන්ට තමන්ගේ ජොබ් එකත් නැතිව යනවා.

ඔබෙන් වැඩ නොගැනීම, ඒ නිසා ඇති වූ කලකිරීම හරහා නේ ඔබ අධ්‍යක්ෂණයට පිවිසෙන්නේ. නමුත් ඔවැනි පෞද්ගලික කාරණා පමණක් සෑහෙනවද හොඳ අධ්‍යක්ෂවරයකු වෙන්න?

නෑ කොහෙත්ම නෑ. ඒවා අතිශය පෞද්ගලික කාරණානේ. නමුත් මම සිනමාවේ අවුරුදු දාතරක් ලබා ගත් අත්දැකීම් ඒ සඳහා සුදුසුකම් නොවේ යැයි කාටවත් කියන්න බෑ. නිෂ්පාදන කළමනාකරණය පිළිබඳ මට දැනුමක් තියෙනවා. මම රඟපාන චිත්‍රපටවල පෝස්ටර් පවා මම ඇලෙව්වා. දැන් ලාල් ප්‍රියදේව ‘ජොලි හලෝ 01’ චිත්‍රපටයේ සංස්කරණ කටයුතු සිදු කළේ මාව එඩිටින් ටේබල් එක ළඟ වාඩි කරවාගෙන. ඒක තමයි මම මුලින්ම ඉගෙන ගත්ත පාඩම. කොහොමද කන්ටිනිවිටි තියා ගන්නේ, සීන් බයි සීන් යන්නේ කොහොමද, කැමරා කෝණවලට පෙනී සිටින්නේ කොහොමද කියන කාරණා ගැන හොඳ අවබෝධයක් මට තිබුණා.

අත්දැකීම් තුළින් ලත් අවබෝධයක්?

මේ වෙනකොට මම විවිධ අධ්‍යක්ෂවරු යටතේ චිත්‍රපට තිස් නවයක රඟපාලා තියෙනවා. ඒ අත්දැකීම් මට බෙහෙවින්ම ඉවහල් වුණා මේ අධ්‍යක්ෂණ කාර්යයේදී. නමුත් සිනමාවේ මගේ ගුරුවරයා තමයි ලාල් ප්‍රියදේව. ඔහු බොක්ස් ඔෆිස් චිත්‍රපට අධ්‍යක්ෂ යසපාලිත නානායක්කාරගේ ගෝලයෙක්. යසපාලිතගේ ගෝලයාගේ, ගෝලයෙක් මම දැන් එහෙම බැලුවොත්. මගේ මේ චිත්‍රපටයේත් සංස්කරණ ශිල්පියා ලාල් අයියා. අඩු පාඩු හද හදා මට බැන බැන ඔහු තමයි මගේ කුලුඳුල් නිර්මාණය සංස්කරණය කළේ. මොකද චිත්‍රපට සෑහෙන ප්‍රමාණයක් කරලා ඔහු හොඳ පරිණත බවක් ලැබූ කෙනෙක්.

මෙහි තිර පිටපත රචනා කළේත් ඔබ?

පොඩි කාලේ ඉඳලම මට ලිවීමේ හැකියාවක් තිබුණා. ඒක තමයි මෙතනදි මම පාවිච්චි කළේ. හොඳ හෝ නරක ඒක වෙනම දෙයක්. නමුත් ලිව්වේ මම. මට තිබුණ කලකිරීමයි, ආවේගයයි ඔක්කොම ඒ ටැලන්ටිස් එක්ක එකතු කරලා තමයි චිත්‍රපටය කළේ. හැබැයි කැමරා ශිල්පියාගෙන් මට විශාල සහයෝගයක් ලැබුණා. ඔහු ඉතාම දක්ෂයෙක්. සජිත වීරප්පෙරුම. ෂැගී කිව්වාම තමයි කවුරුත් ඔහුව දන්නේ. මේ ෂැගීගෙත් ප්‍රථම චිත්‍රපට කැමරා අධ්‍යක්ෂණය. ඔහු චන්ද්‍රන් රත්නම් මහත්තයත් එක්ක වැඩ කරන පුද්ගලයෙන්. ‘ශ්‍රී සිද්ධාර්ථ ගෞතම’ චිත්‍රපටයේත් දෙවැනි කැමරා අධ්‍යක්ෂවරයා වුණේ ෂැගී. කොහොමත් මේක අපි කළේ ටීම් වර්ක් එකක් විදිහට. ඒ නිසයි මෙහි නිර්මාණ අධ්‍යක්ෂණය ‘ඉසුරු ෆිල්ම්ස්’ කියා නම් කළේ.

අධ්‍යක්ෂවරයකු හැටියට ඔබේ මුල්ම චිත්‍රපටය පිළිබඳ සෑහීමකට පත් වෙනවාද?

ලංකාවේ චිත්‍රපටයක් හදලා ඒක පෙන්වන තැනට ගේනවා කියන්නෙත් අද ලොකු අභියෝගයක්නේ. ඒ දේ මම කළානේ. චිත්‍රපටය දැන් සාර්ථකව තිරගත වෙනවා. ඒකම ලොකු ජයග්‍රහණයක්නේ ඩිරෙක්ටර් කෙනෙකුට. මේක ජනතාවගෙන් ප්‍රතික්ෂේප වුණා නම් මට තව ගොඩක් පැති ගැන හිතන්න තිබුණා. නමුත් දැනට තත්ත්වය හොඳයි. මේ චිත්‍රපටයේ කොස්ට් එක හරි කවර් වුණොත් ඒ කියන්නේ ජනතාව මා ගැන සලකලා බලලා තියෙනවා. එහෙම වුණොත් මට අනාගතය ගැන සුබවාදීව බලන්න පුළුවන්.

දැන් මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වගේම ප්‍රධාන නළුවාත් ඔබ. අධ්‍යක්ෂවරයාම ප්‍රධාන නළුවා වීම හෝ ප්‍රධාන නළුවා අධ්‍යක්ෂවරයා වීම අදාළ නිර්මාණයට ආලෝකයක්ද? නැතිනම් අභියෝගයක්ද?

ඔය දෙකම. අභියෝගයකුත් තියෙනවා. ආලෝකයකුත් තියෙනවා. හැබැයි අධ්‍යක්ෂවරයාම තිරකතාව ලියනවා නම් එයාම ප්‍රධාන චරිතයත් රඟපානවා නම් තමාව බේස් කර ගන්න හොඳ නෑ. එතකොට තමන් ‘පොර’ වෙනවානේ. ඒක ලැජ්ජා නැති වැඩක්. දැන් මගේ චිත්‍රපටය නරඹන ඕනෑම කෙනෙකුට පේනවානේ මේන් රෝල් එක අර කෙල්ලෝ පස් දෙනා සහ දුෂ්ටයා කියලා. සීන්ස් ගාණ බැලුවත් මම තමයි අඩුවෙන්ම රඟපාන්නේ. මට ඕනෑ කතාව. අධ්‍යක්ෂවරයා සහ නළුවා කියන ඩබල් ඇක්ට එකේදී නළුවාගේ භූමිකාව මම කරන්නේ හරිම අඩුවෙන්. මම චිත්‍රපටයේ රඟපෑවේ මාකට් කරගන්න ඕනෑ නිසා. විකුණන්න කවුරු හරි ඉන්නත් එපායැ. මොකද මේ වැඩි දෙනා නිව් කම(ර්)ස්ලානේ. ඒ නැතුව මම ඉස්මතු වෙන්න ගියේ නෑ කොයිම වෙලාවකවත්. මොකද වටින්නේ ෆ්ලොට් එක.

අපේ සිනමාවේ දුෂ්ටයන් ශීඝ්‍රයෙන් වඳ වෙලා යන යුගයක ඔබ හොඳ දුෂ්ටයෙක් අපේ සිනමාවට කැඳවන් එනවා?

ඔව්. චාමි සේනානායක. ඔහු මා හඳුනා ගත්තේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ලුවී වැන්ඩ්‍රස්ටාට්න් මාර්ගයෙන්. මේ වෙන කොටත් ඔහුගේ රඟපෑම් ගැන ක්ෂේත්‍රයේ වගේම ප්‍රේක්ෂකයන් අතරත් කතාබහක් ඇතිවෙලා තියෙනවා.

කිසිම නළු අධ්‍යක්ෂවරයෙක් තමන්ගේ ප්‍රතිවීර චරිතය, එහෙම නැතිනම් දුෂ්ටයාගේ චරිතය ඔහුට වඩා ඉස්මතු කළ අවස්ථා අප දැක නෑ. නමුත් මෙහි දුෂ්ට චරිතය ඇතැම් විට ඔබ අබිබවා යනවා?

මගේ එකම පරමාර්ථය සිනමාව මේ රටේ අංක එකේ කර්මාන්තය බවට පත් කිරීම. දැන් ඉන්දියාව ගත්තොත් කර්මාන්තයක් හැටියට ඒ රටේ දෙකට නැතිනම් තුනට තියෙන්නේ බොලිවුඩ් සිනමාව. අපට එකට ටාගට් එක තිබ්බොත් අඩුගාණේ දහයටවත් එන්න පුළුවන්නේ. එතැනට ගේන්න නම් අපි හදන්න ඕනෑ සිනමාවටම ආවේණික පිරිසක්. අපි මෙතනින් යනකොට තව පිරිසක් හදලා තියලා යන්න ඕනෑ.

කර්මාන්තයේ ඉදිරි පැවැත්ම සඳහා....?

තව ඕනෑනම් මම අධ්‍යක්ෂණය කරන චිත්‍රපටයක දෙකක මම රඟපායි. දැන් මම මේ දෙවැනි පාරට කරපු චිත්‍රපටයේ මම ඇක්ට් නොකරන්න හිටියේ. නමුත් නිෂ්පාදකයා කිව්වා ඔයා රඟ නොපෑවොත් මම මේ චිත්‍රපටය කරන්නේ නෑ කියලා. තුන්වැනි චිත්‍රපටයටත් දැන් ප්ලෑන් එක ගහලා ඉවරයි. ඒකටත් මගේ රංගන දායකත්වය බලාපොරොත්තු වෙනවා. ඉතිං අන්න එහෙම පොඩි ප්‍රශ්නයකයි මම ඉන්නේ. ඒත් ඉදිරියේදී රඟ නොපා චිත්‍රපට අධ්‍යක්ෂණය කරන්නට මම බලාපොරොත්තු වෙනවා.

සිනමාවට ‘ආවේණික පිරිසක්’ කියා ඔබ මුලින් සඳහන් කළේ කවුද?

ටෙලි නාට්‍යවල රඟපාන අය චිත්‍රපටවලට හරියන්නේ නෑ. සිනමාවට වෙනම පිරිසක් ඉන්නවා නම් ඇත්තටම අපට පුළුවන් සිනමාවේ තියෙන දැවැන්තකම රැක ගන්න. සිනමා නළුවා බාල සිල්ලර කෙනෙක් නොවේ. අපේ සිනමාවේ අර්බුද ගැන කතා කරන අය ටච් නොකරන පැත්තක් මේක. “මං පොර” ජාතකය දේශනා නොකර හැමෝම “අපි” කියන හැඟීමෙන් වැඩ කළා නම් අපේ සිනමාව ගොඩගන්න එක මහ ලොකු දෙයක් නෙමේ. හීරෝ වගේම විලන්වත් උස්සන්න ඕනෑ. එතකොට තමයි චිත්‍රපටයක් ඉස්සෙන්නේ.

මගේ නොවන, අපේ සිනමාවක් කරා ගමන් කළ යුතුයි කියලයි ඔබ අවධාරණය කරන්නේ?

කොහෙද මගේ කියලා සිනමාවක් තියෙන්නේ. මගේ කියලා කිසිම දෙයක් මේ ලෝකේ නෑනේ. අම්මයි, තාත්තයි එකතුවුණ නිසානේ “මම” කියන පුද්ගලයා ඇතිවුණේ. ඉතින් එතනම “අපි”නේ. ඒ නිසා සිනමාව විතරක් මගේ කරගන්න කාටවත් බෑ. ඒ නිසා අපේ සිනමාවක් හදා ගන්න අපි නිර්ලෝභීව අත දෙන්න ඕනෑ.

අමීෂා කාවින්දි, සැබෑ ජීවිතයේ ඔබේ පෙම්වතියම තමයි මේ චිත්‍රපටයේ ඔබ සමඟ ප්‍රධාන චරිතය රඟපාන්නේ...?

ඇත්තෙන්ම අමීෂා කාවින්දි කියන කෙනාව ඇය මේ චිත්‍රපටයේදී මුළුමනින්ම අමතක කළා. එයා කිසි බයක් නැතිව ස්වීමින් කිට් එක ඇන්දා. එතකොට අධ්‍යක්ෂවරයා හැටියට මොකක්ද මම අඳින්න කියන ඇඳුම එයා ඇන්දා. මුලින්ම මම අමීෂාට ස්ක්‍රිප්ට් එක අතට දීලා කිව්වේ මට ඕනෑ මෙන්න මේ වගේ කෙනෙක් කියලයි. ඒ තමයි “ජිනා”. අමීෂා හුරතල් නොවී ඒ වැඩේ හරියටම කළා. ඒ නිසා අනෙක් කෙල්ලො හතර දෙනාවත් හසුරුවගන්න පුළුවන් වුණා. මේ කෙල්ලෝ පස් දෙනාම ෆිල්ම් එකේ ස්විමින් කිට් ගහනවා. කොටට අඳිනවා. ගහ ගන්නවා. මරා ගන්නවා. පුදුම කේස් එකක්නේ. අමීෂා ඇඹරෙන්නේ නැතිව ර්‍ණම් එක දුන්න නිසා වැඩේ සාර්ථක වුණා.

“ඉගිල්ලෙන්න ඇයි දඟලන්නේ” චිත්‍රපටයේ අවසානය කෙළවර වන්නේ ප්‍රේක්ෂකයා බලාපොරොත්තු නොවුණ විදිහට. ඇයි ඒ විදිහේ දුක්ඛාන්තයක් චිත්‍රපටයේ අවසානයට ගෙන එන්න ඔබ තීරණය කළේ...?

නීතිය කියන්නේ හැම දේටම උඩින් කියන එකයි මම අවධාරණය කරන්න උත්සාහ කළේ. අපේ රටේ වුණත් නීතිය තමයි අංක එක. එය ක්‍රියාත්මක වීමේදී කල්ගත වෙනවා, වැරැදීම් වෙනවා. ඒක වෙනම දෙයක්. නමුත් නීතියනේ අංක එක. දැන් මේකෙ ජිනා කියන චරිතය මගේ පෙම්වතිය කරගෙන, සාම්ප්‍රදායික අවසානයකට මට එන්න තිබුණා. නමුත් මට ඕනෑ වුණේ තාරුණ්‍ය කෙළිලොල්, දඟකාරයි, වේගවත්. එය ප්‍රවේශමෙන් පරිහරණය කළ යුතුයි කියන පණිවිඩය ප්‍රෙක්ෂයන්ට ලබා දෙන්න.

විශේෂයෙන්ම නවක අධ්‍යක්ෂවරයකුට තිබෙන ප්‍රබල අභියෝගයක් තමයි නිෂ්පාදකවරයකු සොයා ගැනීම. ඒ අභියෝගයට මුහුණ දෙන්න ඔබටත් සිදුවුණා...?

මුලින්ම මේ වැඩේට අත ගැහුවේ මමයි, යාළුවෝ කීප දෙනෙකුයි එකතු වෙලානේ. සමහරු මේ, මේ විදිහට කරන්න කියලා අපිව වටේ යැව්වා. කොටින්ම කිව්වොත් ඇන්දුවා. අන්තිමට අතේ තිබ්බ සල්ලිවලටත් වුණ දෙයක් නෑ. ඔය අතරේ චිත්‍රපට සංස්ථාවෙන් ලක්ෂ දහයක ණය මුදලක් අරගෙන ලස්සනට සවුන්ඩ් ට්‍රැක් එක හදාගත්තා. ලාල් පි‍්‍රයදේව සංස්කරණ ශිල්පියා හැටියට එතනදි ගොඩක් උදව් කළා. ශෂික රුවන් තමයි ශබ්ද පරිපාලනය කළේ. අලුතෙන් හිතන්න පුළුවන්, අලුත් දේවල් කරන්න පිපාසයෙන් පෙළෙන සුපිරි කොල්ලෙක් තමයි සරසවි ස්ටුඩියෝ එකේ ශෂික රුවන්. ඔහු අලුත්ම සවුන්ඩ් ට්‍රැක් එකක් හදලා දුන්නා ච්.ඊ.ඉ. වගේනේ.

සාර්ථක අත්හදා බැලීමක්....?

ඔව්... ශෂික මගෙන් ඇහුවා ‘අයියේ අපි වැඩේ කරලා බලමුද’ කියලා. මට නැතිවෙන්න දෙයක් තිබුණේ නෑනේ අසංක. මම හා කිව්වා. වැඩේ හරි ගියා. චිත්‍රපටය බලපු හැමෝම කිව්වේ ෂඞ මරු සවුන්ඩ් කියලා. ඉතින් ඒ විදිහට කොහොම, කොහොම හරි වැඩ ටික කරගත්තයි කියමුකෝ. දැන් කොපිගහන්න සල්ලි නෑ. ඒ වෙලාවේ තමයි ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු මගේ පිහිටට ආවේ. ඇත්තටම ඔහු මගේ දෙවැනි චිත්‍රපටයේ ප්‍රොඩියුසර්. ඒත් ඔහු මට කිව්වා “අර්ජුන්” මේ ඔයාගේ ෆස්ට් ෆිල්ම් එකනේ. මේ වෙලාවේ ඔයා ළඟ මම ඉන්න ඕනෑ” කියලා. ඇත්තෙන්ම ච්ප. අරෝෂ නැතිනම් මට මේ චිත්‍රපටය පෙන්වන්න හම්බ වෙන්නේ නෑ.

ඔබේ දෙවැනි චිත්‍රපටය ගැන යමක් සඳහන් කළොත්...?

මේ චිත්‍රපටය නිසා දෙවැනි චිත්‍රපටයේ වැඩ කටයුතු අතරමග නතර කරලයි තිබෙන්නේ. ඒ චිත්‍රපටයේ නම “ආශාවේ මායා” එය ආශාවන් පසු පස හඹා ගිය යෞවනියකගේ කතාවක්. මම පත්තරේක දැකපු නිවුස් දෙකකින් තමයි මේ කන්සෙප්ට් එක ඔළුවට ආවේ. ඒ අනුසාරයෙන් තමයි ස්ක්‍රිප්ට් එක ලිව්වේ. ප්‍රධාන චරිත රඟපාන්නේ මමයි. අමීෂායි. තව ඉමේෂා ජයමාන්න කියලා අලුත් නිළියක් මම සිනමාවට හඳුන්වා දෙනවා. රෙක්ස් කොඩිප්පිලි, ප්‍රේමදාස විතානගේ, රජිත හිරාන් ඇතුළු ප්‍රවීණ නළු නිළියන් තිහක් විතර පිරිසක් මීට රංගනයෙන් දායක වෙනවා. සේරම පිරිස එකසිය පනහක් විතර. දැවැන්ත නිර්මාණයක්. කැමරා තුනකින් එය රූගත කරනවා. මේ චිත්‍රපටයේත් නිෂ්පාදක ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු.