වර්ෂ 2013 ක්වූ ජූලි 25 වැනිදා බ්‍රහස්පතින්දා




රජ වෙලා මාව උල තියන්ඩද ?

රජ වෙලා මාව උල තියන්ඩද ? 09

ආචාර්ය සෝමරත්න දිසානායකයන් ගේ සිරි පැරකුම් තිර නාටකය ඇසුරෙන් සරසවිය ගෙන එන වෘතාන්තය

13 වැනි සියවසේ දඹදෙණිය රාජධානිය කර විසූ නැම්බඹර කලිකාල සාහිත්‍ය සංගීත සර්වඥ පණ්ඩිත දෙවන පරාක්‍රමබාහු රජතුමාගේ ළමා කාලය ආශ්‍රිත ජනප්‍රවාද පාදක කොට ගෙන ආචාර්ය සෝමරත්න දිසානායකයන් විසින් ලියන ලද තිර නාටකය ඇසුරෙන් සරසවිය පාඨකයන් වෙනුවෙන් විශේෂයෙන් ලියැවෙන්නකි

යුද්ධයට තෝරා ගත් තරුණයන් ගමෙන් පිටව යනු අප්පුවා බලා සිටියේ වේදනාවෙනි. ජිවිතයේ තමා පැතූ බොහෝ දේවල් වෙන්ව යනු ඇතැයි ඔහුට නිකමට සිතිණ. හිටි අඩියේ තමන් පිටස්තරයක් ව ඇතැයි අප්පුවා කල්පනා කළේය.

‘යුද්දෙට යන්න ඕනෑ තරම් විසේ තියෙන ඉළංදාරි ඉන්නේ’.

සිරිමල් එතනා පැවසුවේ අප්පුවාගේ හිත හදන්නටය.

‘නගා කියන්නේ මට විසේ නෑ කියලද ?”

අප්පුවා ඇසුවේය.

‘අපෝ නෑ .විසේ නම් ඕනෑවටත් වඩා වැඩියි”

සිරිමල් එතනා පැවසුවේ නෙතගින් බලමිනි. ඇයගේ ඒ බැල්ම ලස්සනය. එහෙත් ඒ වගක් කියන්නට අප්පුවා මැළි වූයේය. ඔහු ඒ වෙනුවට ඇයගේ මුහුණ දෙස බැලුවේය. දවසින් දවස ඇයගේ මුහුණ පියකරු වෙමින් පවතී.

‘යුද්දෙට ගොහිං අය්යන්ඩිට කරදරයක් වුනොත් ?’

‘කරදරයක් වුනොත් මටනේ”

අප්පුවා පැවසුවේය. ඇය එවර ඉවත බලා ගත්තාය.

‘අනේ. එහෙම නම් මට වාවගන්න බැරි වේවි”

ඔහු ඇය දෙස බැලුවේ ඇය පවසන දේ වටහා ගන්නටය.ඇයගේ ඇස් වල කඳුළු කැට දෙකක් උපදිනු ඔහුට පෙනිණ.

‘මං දන්නේ නෑ අය්යන්ඩි.අය්යන්ඩි පැලට යන දාට මම බලාගෙන ඉන්නේ එලිය වැටෙන කල්’

“කජු අහුලන්ඩ යන්ඩද ?”

අප්පුවා ඇසුවේ සමච්චලයට මෙනි. එහෙත් ඇය එය විහිළුවකට ගණන් නොගත්තාය.

‘නෑහැ. අය්යන්ඩි බලන්න’

අප්පුවා සමග සිරිමල් ගේ කතා බහත් සිනහවත් ඇස ගැසුණු කළු එතනා අම්මාට එය පෙන්වුවාය.

“අම්මා තමයි නගාවත් නරක් කරන්නේ.ගෙදර වැඩට ඉන්න එකාත් එක්ක මොනවාද මනමාළ කං’

එබසට අම්මාට සිනහ ගියාය. කළු එතනාට කේන්ති ගියේ ඇයි දැයි ඇය සිතන්නට නොගියාය.කළු එතනා මෑතක සිට හොස්ස ළඟින් මැස්සා යන්න බැරි ගානය.ගම හාමිනේ සිටියේ ගමරාළගේ දණ හිසෙහි තෙල් ගාමිනි. ටික දිනක සිට දණ හිසේ වේදනාවෙන් ඔහු පීඩා විඳීන්නට පටන් ගෙනය.වෙද රාළ දුන් තෙල් දවසට තුන් වරක් හොඳීන් දණහිසේ සිට උඩට ඇතිල්ලිය යුතු විය.

‘අර කාරණේ ගැන කෙල්ලො දෙන්නගෙන් ඇහුවද ?’

ගම හාමිනේ නැතැයි කියන්නට හිස සෙලවූවාය.

“ළමයිනේ.”

ගමරාළ කතා කළේය.

“අප්පුවා ඉන්න තැන අහන්න එපා”

හාමිනේ හෙමින් පැවසුවාය. එහෙත් දියනියන් දෙදෙනා සමග අප්පුවා ද එතැනට ආයේය.

“පුතේ. මේ කන්නෙ මට නැම්බඹර කුඹුර හාන්න බැරි වෙයි.එන්න එන්නම දනිස්සේ අමාරුව වැඩියි.අපි මේ පාර කාට හරි දෙමු”

ගමරාළ පැවසුවේ අප්පුවාටය.

‘නෑ.අප්පච්චි .කාටවත් දෙන්නේ මොකෝ.මං කරන්නං.”

“උඹට තනියෙන් පුළුවන්ද මයෙ පුතේ”

ගමරාළ පැවසුවේ ආදරයෙනි. මේ කොල්ලා පවුලේම එකකු වනුයේ නම් රටක් රාජ්ජයක් දිනුවා හා සමානය.

‘පුළුවනි අප්පච්චි. මම හෙටම හාන්නම්කෝ”

‘උඹ එහෙනම් ගොහිං රනාවත්තේ දුරයාගෙන් මී හරක් බානක් ඉල්ලා ගනින් කෝ”

ගමරාල පැවසුවේ අප්පුවා එතැනින් පිටත් කර යවන්නත් එක්කය.ඔහු කිසිත් නොකියා කරබා ගෙන පිටත් ව ගියේය.කළු එතනා මෙන්ම සිරිමල් එතනා ද ගෙපිලට ඇතුලු වූහ.ගමරාළ හැරී බැලුවේ දියනියන් දෙසය.

“උඹල දෙන්න ටිකක් මෙහාට වරෙල්ලකො”

යුවතියන් දෙදෙනා එකිනෙකාගේ මුහුණ බලා ගත්තේ අමුත්තක පෙර නිමිති දැනුණ හෙයිනි.මේ කතා කරන්නේ වැදගත් කතාකට බැව් ඔවුන්ට සිතිණ.

“උඹලගේ අප්පච්චිට මොකක්දෝ කියන්න තියෙනවලු.”

හාමිනේ පැවසුවේ දියනියන් ගේ සිතේ කුතුහලයක් උපන් බව දැනුන හෙයිනි.ඔවුහු මාපියන්ගේ අණට කීකරුවූහ. ගමරාළ හිසින් සන් කළේ තමා වාඩිවී සිටි පැදුරේ වාඩිවෙන ලෙස හඟවමිනි. පැදුරේ තුන් පත් රටාවක වියමන අපූරු වට වැටී ඇත්තේය. අක්ක නගෝ දෙදෙනා මේ පැදුරේ රටා වියන්නට පසු ගිය දින කිහිපයම වෙහෙසනු ගමරාළ දුටුවේය. බෙහෙත් තෙල් ගඳක් හීනියට තම නාස් පුඩු අසලින් ඇදී යනු කළු එතනාට දැනිණ.ඇය පිළිකුලෙන් මෙන් මුහුණ හකුලා ගත්ත ද ඒබැව් කිසිවකු දුටුවේ නැත.

“උඹලා දෙන්නා දැන් පොඩි ළමයි නෙවෙයිනේ.මයෙ පුතේ හැමදාමත් උඹලට ඔහොම ඉන්ඩ බෑ”

ගමරාළ කතාව ආරම්භ කළේය. එහෙත් ඔහුට ඉන් එහා කතා කරන්නට නොහැකි වූ ගානය. දුවනියන් දීග දෙනවා යැයි සිතුවිල්ල ඔහුට දුකක් ඇති කළේය. ගමරාළ දරුවන්ට ආදරය පෙන්වූයේ නැත.එහෙත් දියනියන් දෙදෙනාම වෙන්ව යන්නට කාලය එළැඹ ඇත්තේය.සෑම දියනියකගේම පියෙකු සේ තමා ද ඒ ඉරණම ළඟට පැමිණ ඇතැයි ඔහුට සිතිණ.ඉන් ඉක්බිති දිනයක ගෙපැළ ඇතුළත තවත් බිළිඳු කට හඩක් ඇසෙන්නේය.

‘සංසාරේ “ ඔහු කාටවත් නොඇසෙන්නට තනියම කියා ගත්තේය.ගමරාළ මෙබඳු කාරණා වලදී පොඩි ළමයෙක්ටත් අන්ත බැව් බිරින්දෑ දැන උන්නාය.දරුවන් කුඩා කළ හදිසියේවත් රෝගයකට ගොදුරු වුවහොත් ගමරාළ විස්සෝපයෙන් බලා සිටිද්දී දිරිය ගත්තේ ඇයයි.ඔහු හිත හදාගන්නේ ද හෙමිහිටය.එබඳු තැනකදී තම ගැහැනු කම අමතක කරන හාමිනේ වහා දුව පැන ඇවැසි කටයුතු සම්පාදනය කරන්නට සමත් වෙයි. මෙය ද එබඳු තැනක් බැව් ඇයට ඉවෙන් මෙන් වැටහිණ.

“කපුරාලත් හොඳ යෝජනාවක් ගෙනාවා.ඒ උනාට උඹලෑ අප්පච්චි ට තියෙනවලු උඹලත් එක්ක කතා කර ගන්ඩ හොඳ යෝජනාවක්”

එවර ගමරාළ ගමහාමිනේගේ මුහුන බැලුවේ තමන් අමාරුවේ දැමීම ගැන යටි සිතින් කෝප වෙමිනි. මුළු ගමටම එක යායට අණ දෙන්නට ඇති හැකියාව නිසාම ගමරාළ ලෙස ගම්මු ඔහුට සලකතත් දරුවකුගේ ප්‍රශ්ණයක් තමාට විසඳන්නට නොහැකිව ඇත්තේය.කළු එතනා පියා දෙස බැලුවාය.

‘කාටද මටද ? නගාටද”

ඇය ඇසුවාය

‘දෙන්නාටම”

හාමිනේ පැවසුවේ සන්සුන් ස්වරයකිනි.

“පිටින් මනමාලයෝ හොයන්නේ මොකටද ළමයිනේ.දාහකින් හොයන්න බැරි හොඳම ඉළන්දාරියා මේ ගෙදර ඉන්න කොට”

සිරිමල් එතනා සිය සොහොයුරිය දෙස බැලුවාය.කළු එතනා කිසිදිනක කරබා ගෙන සිටින්නියක නොවේ.

ඇය රණ්ඩු කෙක්කකි.

“මොනවද මේ අප්පච්චිල දොඩවන්නේ ?”

ගමරාළ වඩා හොඳීන් පැහැදිලි කරන්නට පටන් ගත්තේය.

‘ළමයිනේ.උඹල දෙන්නා අය්යන්ඩි කිව්වට අප්පුවා උඹලෑ අම්මාගේ බඩින් වදාපු එකෙක් නෙවේ.මෙහෙම කොල්ලෙක් අහල ගං හතක වත් ඉන්නවද බොලව්.”

ගමරාළ පැවසුවේය. ඔහුට කතාව නිම කරන්නට ඉඩ ලැබුණේ නැත. කළු එතනා උන් තැනින් නැගිට්ටාය.

“අපේ ගෙදර වැඩට ඉන්න රෙදි නැන්දාගේ කොල්ලත් එක්ක දිග යන්න කියලද අප්පච්චි මට කියන්නේ.දීග නොගිහින් ගෙදර නාකි උනත් මං නෙවේ ඕකා එක්ක දීග කන්නේ”

ඇය ගෙතුළට දිව ගියේ හඬමිනි. මහත් අවමානයක් වින්දා වැනි හැඟුමක් ඇයට ඇති විණ.මේ කොල්ලා පමනක් නොව උන්ගේ මහ එවුන් මොකක් හෝ වශියක් අප්පච්චිට කවා ඇති වගක්යැයි ඇය උපකල්පනා කළාය.නැතිනම් මෙහෙම යෝජනවාක් අප්පච්චි තුන් හිතකින් වත් නොකරනු ඇතැයි ඇයට විශ්වාසය. ගමරාළ මොහොතක් ඉවසා සිටියේය.කළු එතනා මෙතරම් මුරණ්ඩුව හැසිරෙනු ඇතැයි ඔහු අපේක්ෂා කළේ නැත. එහෙත් මෙතැන තමන් ඉවසිය යුතුය. වෙන කවරදාටත් වඩා තමන් ඉවසිය යුතුව ඇත්තේය.ඔහු සිරිමල් එතනා දෙස බැලුවේය.ඇය අක්කා මෙන් දමා ගසා නොගිය එක ගැන ඔහුට සතුටුවූයේය.

“ඒකි අකමැති නම් අපි අර කපුරාළ කියාපු එක ඒකිට කරල දෙමු.”

ගමරාළ පැවසුවේ තීන්දුවක් ගත් විලසටය.

“මොකද පොඩි දුවේ උඹ හිතන්නේ”

හාමිනේ ඇසුවාය. සිරිමල් එතනා ලැජ්ජාවෙන් ඇඹරුණාය.ඇය මැටි පොළවෙහි වලක් සාදන්නට මෙන් පා ඇඟිල්ලෙන් බිම සෑරුවාය. තවත් සෑරුවේ නම් එහි සැඟව යන්නට ඇයට හැකි වෙයි.

‘මට තේරෙන්නේ නෑ අප්පචිචි”

ඈ තැතනුවාය.

“ඇයි උඹට තේරෙන්නේ නෑ කියන්නේ. දැන් උඹට පහලොවක් නේ”

හාමිනේ ඇය වෙහෙස කළාය.

“උඹත් අකමැති නම් කියාපන් මයෙ දුවේ.”

ගමරාළ ගේ හඬ වඩා ළං වූයේ බලාපොරොත්තු බිඳ ගත් මිනිසෙකුගේ ස්වරූපයටය.

‘අය්යන්ඩි කැමති වෙයි ද දන්නේ නෑනේ අප්පච්චි”

ඈ පැවසුවාය.

ඒ මොහොතේම රනාවත්තේ දුරයාගේ ගෙපැලේ වැටෙන් පනින්නට අප්පුවා සමත් විය.

“මේ අර ගමරාළ රෙදි නැන්දාගෙන් හදා ගත්ත කොල්ල නේද ? මොකද බොල”

රනාවත්තේ දුරයා පැවසුවේ පාච්චලයට මෙනි. ඔහු සිටියේ වී වේලමිනි. එය ඇසුණු දුරයාගේ බිරින්දෑ ද එතැනට පැමිණියාය.

“අපේ නැම්බඹර කුඹුර හාන්න මීහරක් බානක් “

අප්පුවාට කියා නිම කරන්නට කල් ගත වුණේ නැත.

“අද නම් දෙන්න විදියක් නෑ පස්සේ දවසක වර”

දුරයා ගෙට ගියේය.

මොහොතක් දුරයාගේ නිවස දෙස බලා සිටි අප්පුවා කුඹුරට පැමිණියේය. ගමෙන් කෙළවර පිහිටි නැම්බඹර කුඹුරු යාය යළ මහ දෙකන්නයම හොඳීන් වැඩ කළ හැකි කුඹුරකි. අප්පුවා කුඹුරට ගොස් ලියද්දකට වතුර හැරවන්ටව්ය. ඔහු දුටුවේ නියර මත්තේ බලා ඉන්නා සිරිමල් එතනාය. ඔහු ඇය සිටිනා තැනට ගියේය.

“රනාවත්තේ දුරයාගේ හරක් දක්කන් එන්න බැරි උනොත් මම ගෙදර ඉන්න වැස්සියො බාන නඟුලක බැඳන් හානවා”

අප්පුවා පැවසුවේ ඇය සමග ගෙදර එන්නට සැරසෙමිනි.

“ගෙදර කොයින් ද වැස්සියො බානක්”

සිරිමල් එතනා විමසා සිටියාය.

“ඇයි කළු එතනායි සිරිමල් එතනායි”

“හිතේ ඇති දෙන්නම බැඳ ගන්න. ආන් අක්කන්ඩි නම් හම්බ වෙන එකක් නෑ. අන්න විදානේ රාළගේ පුතාට තීන්දු කරලා”

එය අප්පුවාට අලුත් ආරංචියක් විය.

“රන් කාසි මල්ලක් එක්ක දුන්නත් කළු එතනා නම් එපා”

අප්පුවා පැවසුවේ ඇත්තටමය. පසුගිය කාලය ඇතුළත කළු එතනා තමා නොරිස්සන බැව් ඔහුට වැටහී තිබිණ.

“අප්පචිචි නම් කතා කෙරුවේ දෙන්නම දෙන්ඩ. තියෙන විසේට නම් එක් කෙනෙක් මදි වෙයි මයෙ හිතේ”

සිරිමල් එතනා පැවසුවාය. වෙනදා නැති නිදහසක් ඇගේ සිතට ගලා එමින් තිබිණ.

“එහෙම උනොත් මම තවත් කවුරු හරි හොයා ගන්නම්කෝ”

අප්පුවා පැවසුවේය. ඔවුන් ගමන් කළේ කුඩා අතු පාරක් ඔස්සේය. අප්පුවාට තුරුළු වන්නට මෙන් සිරිමල් එතනා ළංවුනාය.

“හිතේ ඇති මහ රජ්ජුරුවො කියලා. අන්තපුරයක් තියා ගන්න”

ඇය ඔහුගේ උරහිසට ඇන්නාය. ඇය බදා සිප වැළඳ ගන්නට සිතට නැගුන ආසාව අප්පුවා මැඩ ගත්තේ ආයාසයෙනි.

“මම රජ උනොත් මුලු අන්තපුරයටම නගා විතරයි”

අප්පුවා පැවසුවේය. ඔහුගේ මුහුණේ ආදරය උතුරතැයි සිරිමල් එතනාට සහතිකය. ඉඳීන් මේ වන ගැබ වෙනත් කිසිවකු නැතැයි ඇයට සිතිණ.

පසුවදා ද එයට පසුදා ද රනාවත්තේ දුරයා ගේ නිවසට යන්නට අප්පුවාට සිදු විය. කුඩා කළ උදැල්ලක් සාදා ගන්නට කම්මල්කරු හමුවන්නට ගිය අයුරු ඔහුට සිහිපත් විය. එහෙත් දුරයා කම්මල්කරුට වඩා අහංකාරය.

“මං පෙරේදාත් ආවානේ”

අප්පුවා පැවසුවේ නෝක්කාඩුවක් ස්වරූපයෙනි.

‘පෙරේද ආව කියලා මං මොනවා කරන්නද ? උඹේ වැඩක් කියල මගෙ හරක් වෙන් කරල නෑ.”

රනාවත්ත දුරයා ගේ හඬ ගොරෝසුය.

‘මාමේ එක් බානක්”

අප්පුවා යලිත් බැගෑපත් වුනේය. වර දුරයාගේ හඬ තවත් උදාරම් විය.

“තොට කව්ද බොල ගොවිතැන් කරන්න කිව්වේ.තොපිට උරුම කරුමාන්තේ රෙදි හෝදන එකනේ යකෝ”

දුරයාගේ ගෝරනාඩුව ඇසුන බිරින්දෑ ද ගෙයින් එළියට පිවිසියාය.

‘දැන් මේ කොල්ල දවස් කීයක් රස්තියාදු වුනාද? හරක් බානක් දෙන්න බැරි කමක් නෑනේ. හරක් බානක් දක්කන් පළ යං කොල්ලෝ”

ඇය පවසුවේ මේ තරුණයා ගැන උපන් අනුකම්පාවෙනි. එහෙත් දුරයා ඇයට හෙලුවේ තර්ජනයකි.

“තමුන්ට අයිති නැති වැඩ වලට හොට දාන්න එපා. උඹට දෙන්න හරක් මා ගාව නෑ”

‘දෙන්න බැරි නම් කෙලින්ම කිව්වනම් ඉවරනේ,කී දොහක් ආවද? එහෙම කරන එක වැරදියිනේ”

දුරයාගේ බිරින්දෑ පැවසුවේ නෝක්කාඩුවක විලාසයකිනි. එහෙත් දුරයාගේ අහංකාරකම එයට වඩා ඉස්මතු ව ආයේය.

“මම වැරදි නම් ඌට රජ වෙලා මා උල තියන්ඩ කියාපිය”

අප්පුවා සිතට නැඟුණ කෝපය මැඩ ගත්තේ ආයාසයෙනි.

“මොකෑ බොල තෝ මාව කන්ඩ වගේ බලා ගෙන ඉන්නේ”

අප්පුවා වහා ආපසු හැරී වේගයෙන් දුව ගියේ හිතේ ඇති වූ කෝපය මැඩලන්නට එක්කය. ඔහු දුව ගෙන ගියේ ගෙදරටය. අප්පුවාගේ කලබලය කඩුල්ල ළඟ උන් සිරිමල් එතනා පැහැදිලිව දුටුවාය.ඔහු ගෙට ගියේ ඇය නොදැක්කාසේය.

‘රනාවත්තේ දුරයා හරක් දුන්නේ නැද්ද ?”

ඇය ඇසුවාය.

“මට ඕනෑ නෑ කාගේවත් හරක්”

ගෙතුළට ගිය අප්පුවා විය ගහ සහ නගුල ගෙන එළියට බැස්සේය.

“කොහේද මේ යන්න හදන්නේ”

සිරිමල් එතනා ඇසුවාය.

‘නැම්බඹර කුඹුර හාන්න,’

යුවතිය පුදුම වූයේ එක් හරකෙකු වත් නැතිව හාන්නට යන ගමන ගැනය.

ඔහු කෝපයෙන් යුතුව සිටිතැයි ඈ අනුමාන කළාය.

“ඉතින් ටිකක් කතා කරල යන්නකො”

‘ටිකක් නෙවේ හුඟක් කතා කොරන්ඩ තියෙනවා.දැන් ඒවට වෙලාවක් නෑ”

සිරිමල් එතනා අප්පුවා පසුපස දිව ගියාය. කුඹුරට ගිය අප්පුවා විය ගහ නියර ළඟ කෙලින් අතට සිටුවූයේය. අනතුරුව විය ලනු ද එහි දමා කෙවිට අතින් ගෙන අසල කැලයට වැදුනේය. සිරිමල් එතනා ද ඔහු පසුපස ආවාය. මේ තදියමේ ඔහු මොන විජ්ජුම්බරයක් කර ගනීදැයි ඇයට සිතිණි. වෙලාවකට කුඩා බළල් පැටියකු මෙන් අප්පුවා හිටි අඩියේ නපුරු දිවියකුගේ ගානට වියරු වැටෙන වග ඇය වටහා ගෙන උන්නාය.

අප්පුවා දිව ගියේ වනාන්තරය සුව පහසු එකෙකු මෙනි. සිරිමල් ඔහු පසුපසින් දුව ආවේ අසීරුවෙනි.බොහෝ කලකට ඉහත මේ අසල දී කුළු හරකෙකු අප්පුවා විසින් බේරා ගන්නා ලද අයුරු ඇයට සිහිපත් විය. එදා මෙන්ම අදත් අප්පුවා කෑ ගෑවේය. මේකා කුළු හරකෙක් යැයි සිරිමල් එතනා ට සිතිණ.

වැඩි වේලාවක් ගත වූයේ නැත. හරකෙක් පඳුරු දෙබෑ කර ගනිමින් මතුවුණේය. ඇය ඔහුට තුරුළු වුනේ ආරක්ෂාවටය.

“ඔයිට වැඩිය කුළු හරකෙක් තමයි නගාව තුරුළු කරගෙන ඉන්නේ “

ඔහුට කියැවිණ.

“බයවෙන්න එපා ඒ අපේ යාළුවා”

අප්පුවා යළි පැවසුවේ ඇය අස්වසන්නටය. කුළු හරකාගේ වේගය නිසල විය. ඒ සමග තවත් හරක් රැලකි.මුලින් පැමිණි හරකා පිළිබඳ අප්පුවාගේ අනුමානය නිවැරදි විය.මේ තිරිසන්නු දෙපා සතුනට වඩා ගුණ යහපත් යැයි සිරිමල් එතනාට සිතිණ. අප්පුවා ගවයා ඉදිරියට ගියේය. ඌ හිස පාත් කළේය. අප්පුවාගේ අත සතාගේ හිස මත තැබිණ. පසුපස සිටි හරකෙකු පිඹිනු ඇසින. මුලින් සිටි එකා ආපසු හැරුනේ මං දන්න කෙනෙක්යැයි කියන්නට මෙනි.

“රනාවත්තේ දුරයා.මට හරක් බානක් දුන්නේ නෑ.උඹල මට උදව් කරනවාද ?”

අප්පුවා හරකුන් ගෙන් විමසුනු සිරිමල් එතනා අසා සිටියාය. අප්පුවාට පිස්සුයැයි සිතන්නට ඇය මැළි විය. ඒ වන විට මහා පුදුමය දෙයක් සිදුවෙමින් පැවතිණ. හරකා හඬ නැගුවේය. වැස්සක් ද ඇරඹිණ. ගවයන් රංචුවක් පිටිපසුන් ඇදෙන්නට පටන් ගත්තේය. තම හිතවතා සාමාන්‍යයෙක් නොවන වග සිරිමල් එතනාට සිතුණ වාර අනන්තය. එහෙත් මෙවර එය ඇය අත් දුටුවාය.

“මං එක දවසින්ම හානවා”

ඔහු සිරිමල් එතනාට පැවසුවේය. තවත් හෝරාවක් ගත වන්නට මත්තෙන් නැම්බඹර කුඹුරු යාය සිසාරා අප්පුවා ගේ හඬ පැතිර ගියේය.

ලබන සතියේ

අර අප්පුවාගේ අම්ම අප්ප කවුද ?