වර්ෂ 2013 ක්වූ ජූලි 25 වැනිදා බ්‍රහස්පතින්දා




කාන්තාවකගේ සුන්දරත්වය තිබෙන්නේ පිරිසුදු බවෙයි

කාන්තාවකගේ සුන්දරත්වය තිබෙන්නේ පිරිසුදු බවෙයි

යශෝධා විමලධර්මගෙන් කාන්තා පරපුරට අගනා දායාදයක්

නිෂ්පාදනයට වඩා මා නැඹුරුව සිටින්නේ නිර්මාණකරණයටයි

මිලාගිරියේ ශාන්ත පාවුළු බාලිකාවේ හතේ කල්ලිය, බොහොම ප්‍රසිද්ධ කල්ලියක්. ආයිලා, නස්රීන්, නිකොලා, චින්තානි, මල්කාන්ති, සමන්තා, යශෝධා ඒ කල්ලියේ සාමාජිකාවෝ.

‘මේ හත්දෙනාගේ තියන්නේ අපූරු බැඳීමක්’

දකින දකින අය කිව්වේ එහෙමයි. ඒ කාලය ගෙවිලා ගියා. ඊට පස්සේ ඈ කිරි මැණිකේ. ඇඟට කිරි කිරියේ තදවුණු රෙද්ද හැට්ටේ ඇගේ ගැමි සුන්දරත්වයට අපූරු සාක්ෂියක්. කවුළුවෙන් එබිකම් කළේ සොබනා. ඒ එබිකම් කිරිල්ලෙන් නැග්ග කෑ මොර ගැහිල්ල මුළු ගම්මානයටම ඇහෙන තරම්. කාලයකට ඉස්සෙල්ලා අපට එහෙම හිතුණා. ඒ සිතුවිල්ලට විරාමයක් තියමින් මා ඈ දෙසම බලාගෙන සිටියා.

‘සොඳුරු අවිහිංසක යුවතියක්’

මගේ සිත මට කෙඳිරුවා.

‘ඒ විතරක්ද?’

මම මගෙන්ම ඇහුව ඒ ප්‍රශ්නයට පිළිතුරක් ලැබුණේ ඊළඟ ඇසිල්ලෙන්.

‘තැන සොයා ගන්න අපහසු වුණාද?’

ඇගේ නිවිච්ච, තැන්පත් හඬ වාතලයට මුසු වුණා. නිකම්ම නිකම් නම් නෙවේ. ඒ ඇගේ මුවඟින් මතුවුණු සොඳුරු සිනහවක් සමඟින්.

‘යශෝධා විමලධර්ම’

ඒ සොඳුරු සිනහවේ රුවැත්තිය ඇයයි. ප්‍රේක්ෂක හදවත සොරා ගත් මේ සොඳුරු රංගන ශිල්පිනිය මේ දවස්වල සැරිසරන්නේ නාලන් මෙන්ඩිස්ගේ ‘අංගනා’ ටෙලි නාට්‍යයෙහි මැදිවියක චරිතයක් රඟමින්.

‘කොහොමද අංගනාට ලැබෙන ප්‍රතිචාර?’

මම ඇසුවා.

‘අංගනා’ ටෙලි නාට්‍යයට ලැබෙන ප්‍රතිචාර හොඳයි. මේ දවස්වල හැමෝම අහන දෙයක් තමයි ඇයි වැඩිය පේන්න නැත්තේ කියලා. හොඳ තිර පිටපතක් නොලැබීම නිසා, ලැබෙන බොහෝ චරිතවලට රංගනයෙන් දායක විය නොහැකියි. නමුත්’අංගනා’ ටෙලි නාට්‍යයේ චරිතය කාලෙකට පස්සේ ලැබුණු හොඳ චරිතයක්. ඒ නිසා මා ඊට රංගනයෙන් දායක වුණා.’

ගුරුවරියක වීමේ අභිප්‍රාය සිතැතිව සිප් සතර හැදෑරූ මේ රුවැත්තිය රංගන ශිල්පිනියක් වෙන්නේ අහම්බෙන්. බන්දුල විතානගේ අධ්‍යක්ෂණය කළ ‘අත්ත බිඳෙයි’ ටෙලි නාට්‍යයෙන් තමයි ඈ සිය රංගන ගමන අරඹන්නේ. එතැනින් ඇරැඹුණු යශෝධාගේ රංගන ජීවිතයේදී ඈ කාලයක් පුංචි තිරයේ ආදරවන්තියක්, ආදරණිය යුවතියක්.

ඒ ආදරවන්තියගේ යුවතියගේ චරිතය අද මැදි වියේ චරිතයකට මාරු වෙලා නේද?

ඒ පිළිබඳ ඈ දරන්නේ මෙවැනි මතයක්.

‘මම වසර විසිහතක් පුරාවට යුවතියකගේ, ආදරවන්තියකගේ චරිතය රඟපෑවා. ඒ ඒ යුගවලදී ගැළපෙන චරිතය ඔස්සේයි පේ‍්‍රක්ෂකයන් අතරට යා යුත්තේ. එහෙම නොවුණොත් ඒක අස්වාභාවික තත්ත්වයක් වෙනවා. මම අද පාසල් යන ළමයකුගේ චරතයක් රඟ පෑවොත් ඒක බොහොම අස්වාභාවිකයි. නියම විදියට ලැබුණු චරිතයක් තමයි ‘අංගනා’ ටෙලි නාට්‍යයේ සාමා කියන්නේ. ඉදිරියේදී මේ චරිතය වගේම බිමල්ගේ චරිතයත් නාට්‍යයේ මූලික කතා වස්තුවට කොයි තරම් බලපානවද කියන එක ප්‍රේක්ෂකයන්ට වැටහේවි.’

නමුත් ඈ තවමත් සොඳුරුයි. යශෝධා සතු චාම් බව ඇගේ සොඳුරු බවේ කැඩපතක්.

‘තවමත් ඔබට යුවතියකගේ චරිතය රඟපෑ හැකියි’

ඇගේ මුවඟට සිනහවක් නැගුණා.

‘අද මට පාසල් යන යුවතියකගේ චරිතයක් නිරූපණය කරන්නට සිතෙන්නේ නෑ. අපට ලැබෙන අත්දැකීම නිසා එහෙම හිතෙනවා වෙන්න පුළුවන්. සමහර කාන්තාවෝ තමන්ගේ වයස කියන්න විතරක් නෙවෙයි වියපත් චරිත කරන්නත් අකැමැතියි. මා නම් තරුණ අවදියේදිත් වියපත් චරිත කළා. චරිතයට කරන අසාධාරණයක් වෙන්නේ ඊළඟ පරම්පරාව ඉන්න ඕන තැනට අපි ආපසු යෑමෙන්. ජීවිතය ගමන් කළ යුත්තේ ඉදිරියටයි. එදා ලැබුණු චරිත මා රඟපෑවේ මට දැනුණා නම් විතරයි. ඒ නිසයි අදටත් මම ප්‍රේක්ෂකයන්ගේ හදවතේ ජීවත් වෙන්නේ.’

කාලයක පටන් ප්‍රේක්ෂකයන්ගේ හදවතේ ජීවත්වීම ලෙහෙසි පහසු නම් නෑ. ඉඳලා හිටලා නිර්මාණයක දකින රංගන ශිල්පිනියකට ඒක ලොකු ගැටලුවක්. ඒත් යශෝධාට නම් එහෙම වුණේ නැහැ. ඇගේ රංගන ප්‍රතිභාවත්, සොඳුරු රුවත් ප්‍රේක්ෂක හදවත සනහන ඔසුවක් වගේ.

‘හදවතේ රැඳි සොඳුරු බව ද ඔබට නව කටයුත්තකට මුල පුරන්නට පාර කිව්වෙ’.

යශෝධා මුල පුරපු අලුත් කටයුත්ත පිළිබඳ යමක් විමසන්න මට හිතුණා.

‘රංගන කටයුතුවලදී විවිධ චරිත රඟපානවා වගේම මීට සමගාමීව යමින් අලුත් වෙනසක් ඇති කිරීමට මට උවමනා වුණා. ඒ අනුවයි මගේම කියලා සමාගමක් නිර්මාණය වෙන්නේ. ඒ ඔස්සේයි ‘ජෙවාල් ඔස්ට්‍රේලියා’ වෙළෙඳ පොළට ගෙන්න හේතු වුණේ. මගේ රසිකයන් වෙනුවෙන් යමක් කරන්නට ලැබීම සතුටට කරුණක්. කාන්තාවක් විදියට අනෙක් කාන්තාවන් සුන්දරව ඉන්නවා දකින්න මා කැමැතියි. තවත් සමහරු ලස්සන කියලා අදහස් කරන දේ නෙවෙයි මම ලස්සනයි කියලා අදහස් කරන්නේ.

මුහුණු පාට කරගෙන විවිධ විලාසිතාවන්ගෙන් සැරසිලා එහා මෙහා යෑම නෙවෙයි මා ලස්සනයි කියන්නේ. කාන්තාවකගේ සුන්දරත්වය තිබෙන්නේ පිරිසුදු බවෙයි. පිරිසුදු බවෙන් මතුවන චාම් බවෙයි. මේ විලාසිතා නිසා ඈ උත්පත්තියෙන් ගෙනා රූප සොබා නැති කර ගන්නවා. එය නොකළ යුත්තක්. මා පිළිබඳ සැලකිලිමත් වන කෙනකුට ලස්සන වීම පිළිබඳව සැක හැර දැනගන්න පුළුවන්.

කාලයක පටන් මා සොය සොයා හිටියේ මගේ රසිකයන් අතරට යන්න පුළුවන් යමක්. ඉතිං ඔවුන් අතරට යන්න පුළුවන් යමක් මට ලැබුණා. මගේ රසිකයන් මාව හරියට විශ්වාස කරනවා. මට හරියට ගෞරව කරනවා. ඒ විශ්වාසය ආරක්ෂා කිරීම මගේ එක්තරා වගකීමක්. මා හඳුන්වා දුන් කේෂ ආලේපන වගේම සම ආශ්‍රිත ආලේපන නගරයේ ඉහළ පැළැන්තියේ යුවතියකට, තරුණයකුට වගේම ගමේ ජීවත් වන යුවතියකටත් වඩාත් සුදුසුයි. ඒ දෙපිරිසටම බයක් සැකක් නැතිව පාවිච්චි කළ හැකියි. මොකද මුලින්ම අත්හදා බැලීමට ලක්වුණු එකම පුද්ගලයා මමයි.’

රංගන ශිල්පිනියක් විදියට වසර විසි හතක් පුරාවට රැඳුණු රංගන ක්ෂේත්‍රයන් ඈත්ව මෙවැනි කටයුත්තකට යශෝධා මුල පිරුවේ ඇයි?

මගේ සිතට පැන නැගුණේ ප්‍රශ්නයක්. මා ඇගෙන් විමසුවා.

‘රංගන ශිල්පිනියක් විදියට ඊළඟ පැමිණෙන්නේ නාට්‍යයක් නිෂ්පාදනයෙන් හෝ අධ්‍යක්ෂණයකින් බවයි බොහෝ දෙනෙක් හිතන්නේ. චිත්‍රපටයක් නිර්මාණය කරන ඊළඟ පියවරට මා පා තබනවා නම් ඒ පිළිබඳ විතරක් නෙමෙයි රංගනය පිළිබඳවත් තවත් බොහෝ දේ පරිශීලනය කළ යුතුයි. තවත් බොහෝ දේ මා ඉගෙන ගත යුතුයි. රංගනයෙන් ඔබ්බට යන්නේ නම් මා ඒ ක්ෂේත්‍රය පිළිබඳ ක්‍රමානුකූලව ඉගෙන ගත යුතුයි. විශේෂයෙන්ම නිෂ්පාදනයට වඩා මා නැඹුරු වී තිබෙන්නේ නිර්මාණකරණය කියන අංශයටයි. නිර්මාණයක රඟපාමින් ලැබෙන ආත්ම තෘප්තියේ ඊළඟ පියවරයි මා නිර්මාණයක් කිරීමෙන් ලබන්නේ. එතැනට යන්න මම කැමැතියි. ඊට ශක්තිමත් අඩිතාලමක් අවශ්‍යයි.”

ඔබ ඒ අඩිතාලමද මේ නිර්මාණය කරන්නේ?

තම ජීවිතය නම් සොඳුරු තෝතැන්නේ තනන්නට යන සොඳුරු මාළිගාවේ ශක්තිමත් අඩිතාලම පිළිබඳව ඈ මෙසේ අප සමඟ පැවසුවා.

‘රංගන කටයුතුවලදී සෑම නිර්මාණයකටම දායක නොවන නිසා මා රඟපෑ නිර්මාණ ප්‍රමාණය සීමිතයි. මේතාක් දුරට මට ලැබෙන මුදල මා නිසි අයුරින් කළමනාකරණය කර ගත්තා. එසේ නොවුණා නම් මට පොළොවේ පය ගහලා ඉන්න බැරි වෙනවා. බොහෝ දුරට සමහරු හිතන්න පුළුවන් එයා තනිකඩ කෙනෙක්, මොනවද එයාට ඔය තරම් තිබෙන වියදම් කියලා. එදා පටන් තාත්තාව බලා ගන්න දේ ඉඳන් ගෙදර සියලු බර පැන දැරුවේ මමයි. මේ සියල්ල කරන්න මා ආර්ථික අතින් ශක්තිමත් කෙනක් වෙන්න ඕනෑ. ඒ තත්ත්වය මා නිර්මාණය කර ගත්තේ රංගනයෙන්.

මගේ ඊළඟ පියවර වෙත ගමන් කිරීමට මම තවත් ශක්තිමත් විය යුතුයි. මෙතනදි මා විශ්වාස කරන යම් දෙයක් තිබෙනවා. මා ආර්ථික අතින් ශක්තිමත් වන්නේ නම් අන් අයට කරනු ලබන දේ ඔස්සේ යම් ප්‍රතිඵලයක් ඔවුන් සතු විය යුතුයි. ඒ ප්‍රතිඵලය ඔස්සේයි මට යම් තෘප්තියක් ලැබිය හැක්කේ. ඒ මත ගොඩ නඟන ආර්ථික ශක්තිය වඩාත් යහපත් වන බව මගේ හැඟීමයි.’

යශෝධාගේ සොඳුරු බවේ රහස සැඟ වී ඇත්තේ ඇගේ සොඳුරු හදවතේ යන්නට සැකයක් නොවේ. තමා යමක් ගත යුත්තේ ගන්නා අයට යමක් දීමෙන් යන උතුම් වදනෙහි ඕ පිහිටා සිටින බවකි පෙනෙන්නේ. ඒ උතුම් වදන සිතෙහි දරා ගනිමින් මා ඇගෙන් මෙසේ විමසුවා.

වර්තමානයේ ටෙලි නාට්‍ය කලාව පිළිබඳ ඔබ මොකද සිතන්නේ?

‘අද වන විට ගුණාත්මක අගයෙන් යුතු ටෙලි නාට්‍ය බිහි වෙන්නේ ඉතාම කලාතුරකින්. රූපවාහිනිය කියන මාධ්‍ය අද වෙනම පැත්තකට යොමු වෙලා. වෙනත්ම ආරක් අරගෙන. මේ නිසා අපට දකින්නට ලැබන්නේ අවර ගනයේ ටෙලි නාට්‍යයි. මීට වසර කිහිපයකට කලින් ටෙලි නාට්‍ය කලාව තිබුණේ හොඳ තැනකයි. ඒත් 90 දශකයේ අග භාගයේ සිටයි මේ කලාව අවර ගනයට යමින් තිබෙන්නේ. ඇත්තටම මේ තත්ත්වය අපටත් බලපානවා. ගුණාත්මක අගයෙන් යුතු ටෙලි නාට්‍ය වර්ධනය සඳහා විශේෂයෙන් ජාතික නාලිකාවලට වගකීමක් පැවරෙනවා. විවිධ නීති පනත් ගෙනෙන්නට ඔවුන්ට හැකියි. ඒ වගේම මේවා නරඹන පිරිසගේ රසඥතාවය වර්ධනය කිරීමටත් යමක් කළ යුතුයි.

රූපවාහිනිය ඉදිරිපස වාඩි වී සිටින්නේ පවුලෙහි කුඩා ළමයාගේ පටන් වැඩිමහල්ලා දක්වාම සාමාජිකයෝයි. ඔවුන්ගේ රසඥතාවය ආරම්භ කළ යුත්තේ කොතනින්දැයි අපට ගැටලුවක් පැන නැඟේ.

“ඒක පටන් ගත යුත්තේ නිවෙසෙන්. ඊට පස්සෙයි පාසලට යා යුත්තේ. එහෙම නොවුණොත් ඉදිරි පරම්පරාව රසඥතාවය මොට වුණු තාක්ෂණික පැත්තට පමණක් නැඹුරු වුණු රොබෝවරුන් පිරිසක් බවට පත් වේවි. සෞන්දර්යාත්මක අගය සම්පූර්ණවීමෙන් තමයි මනුෂ්‍යයෙකු සම්පූර්ණ මනුෂ්‍යයකු බවට පත් වෙන්නේ. ඉස්සර සාහිත්‍ය විෂය තිබුණා. නමුත් අද වෙද්දී මේ විෂයයන් නැහැ. ඒ නිසා පාසල කියන්නේ ළමයින්ගේ රසඥතාවය වර්ධනය කරන ප්‍රධාන තැනක්.”

සිනමාව යන්න යශෝධාගේ රංගාභිෂේකයේ මුදුන් මල්කඩයි. සිනමාව සමඟ පැමිණි ගමනේදී ඈ ගුරු ගෙදර, අනන්ත රාත්‍රිය, මාරුතය, දුවට මවක මිස, තීර්ථ යාත්‍රා, ගරිල්ලා මාකටිං, අග්නිදාහය ආදී චිත්‍රපට රාශියක සිය රංග හැකියාව ප්‍රකට කළ චිත්‍රපටයි. ඈ සහෝත්සාහයෙන් ගොඩ නඟා ගත් සාත්වික අභිනයට නෑකම් කියන ඇගේ රංග රීතිය දක්නට ලැබෙන නව චිත්‍රපට කිහිපයක්ම ඉදිරියේ තිරගත වීමට පිඹුරුපත් සැකසෙයි.

‘සමනල සංධ්වනි’ ඔබගේ රංගනයේ විශේෂ කඩඉමක්ද?

‘ජයන්ත චන්ද්‍රසිරිගේ ‘සමනල සංධ්වනි’ චිත්‍රපටයට මා සම්බන්ධ වූයේ අවුරුදු පහකට පස්සේ. තරුණ කාලයේ පටන් මහලු වයස දක්වා දිවෙන පුණ්ණාගේ චරිතයයි මා රඟන්නේ. සුවිශේෂී චරිතයක් වගේම සුවිශේෂී කතා වස්තුවක් මීට අන්තර්ගත වන්නේ. ඕනෑම මිනිසෙකුගේ ජීවිතයෙන් බිඳක් සමනල සංධ්වනි චිත්‍රපටයේ තිබෙන බව මට විශ්වාසයි. හැඟීම් සමුදායක් පිළිබඳ කතා කරන මේ චිත්‍රපටය ගැන මට තිබෙන්නේ ලොකු බලාපොරොත්තුවක්. ජයන්ත චන්ද්‍රසිරි කියන අධ්‍යක්ෂවරයාගෙන් මෙතෙක් නිර්මාණය නොවුණු ආකාරයේ චිත්‍රපටයක් විදියටයි මා මෙය දකින්නේ.

විශේෂයෙන්ම කාන්තාව කියන කෙනා කොයි තරම් පූජනීය කෙනෙක් ද කියන කාරණය මේ චිත්‍රපටයෙන් මතුªකරලා තිබෙනවා. චිත්‍රපටයේ එක තැනක කියැවෙන දෙයක් තියෙනවා. ‘ආදරය කියලා කියන්නේ පිරිමියෙකුට ජීවිතයේ එක් කොටසක් විතරයි. නමුත් කාන්තාවකට ආදරය කියලා කියන්නේ ඇගේ මුළු ජීවිතයමයි’ කියලා. චිත්‍රපටයේ සමස්තයේ අර්ථය එයයි. මේ දවස්වල එහි ප්‍රවර්ධන කටයුතුයි කරගෙන යන්නේ. ඊට පස්සේ තිරගත වීමට නියමිත සුමිත්‍රා පීරිස්ගේ වෛෂ්ණාවී චිත්‍රපටයයි.”

සිනමාව, පුංචි තිරය හා වේදිකාව කියන මේ පරාස සියල්ලෙහි සැරිසැරූ යශෝධා විමලධර්ම නම් වූ ඈ අධ්‍යාපනයට දැක් වූ නැඹුරුතාවය අපි අගය කළ යුතුයි.

‘මගේ ආචාර්ය උපාධිය සඳහා මා මේ දවස්වල සූදානම් වෙමින් ඉන්නවා. ඒ වගේම ඉදිරියේදී මා ලියූ නිර්මාණ එකතුවත් එළි දැක්වීමේ අදහසක් තිබෙනවා. හින්දි භාෂාවෙන් ලියැවුණු බොහෝ දේ ඒ තුළ අන්තර්ගතයි. මේ සියල්ල අවසානයේදී ග්ලෙන්ඩා පාර්තිපන් මහත්මියටත් ස්තුති කිරීමට මම මෙය අවස්ථාවක් කර ගන්නවා. ඒ මගේ පෞද්ගලික ජීවිතයේ මිතුරියක් වගේම මගේ වැඩ කටයුතුවලදී ළඟ සිටින තැනැත්තියක් විදියටයි.’

ජීවිතයේ සොඳුරු බව අතර රැඳුණු බොහෝ කරුණු ගෙනහැර පාමින් අප සමඟ කළ කතාබහට විරාමය තබන්නට කාලය ඇවිත්. ඉබේම වගේ මගේ මතකයට පිවිසුණේ ඈ ගුරු ගෙදර චිත්‍රපටයෙහි රවීන්ද්‍ර රන්දෙණිය සමඟ ගැයූ ‘මගේ මන්ද්‍රි නම් බිසෝගේ’ ගීතයයි.