වර්ෂ 2013 ක්වූ ජූලි 25 වැනිදා බ්‍රහස්පතින්දා




විකට – තාත්ත්වික මට වෙනසක් නෑ

විකට – තාත්ත්වික මට වෙනසක් නෑ

රංගන ශිල්පී ජීවන් හඳුන්නෙත්ති

ජීවන් හඳුන්නෙත්ති. නම කියූ පමණින් ඔබ ඔහුව හඳුනා ගන්නේ විකට රංගන ශිල්පියෙක් ලෙස බව නම් විශ්වාසයි. පොඩි වෙනසක් එක්ක වෙනස්ම චරිතයකින් ඔහු ඔබ හමුවට එන්න නියමිත බව ආරංචියි. ඒ ගැන අපි ජීවන්ගෙන්ම අහලා බලමු.

මොකක්ද ජීවන් මේ ආරංචිය? විකට චරිතවලින් ඉවත් වෙන්න ද තීරණය?

අපෝ එහෙම අදහසක් නම් නැහැ. මාව මිනිසුන් හඳුනා ගත්තේ විකට රංගන ශිල්පියෙක් විදියට. එවැනි චරිත විශාල ප්‍රමාණයකට මම රංගනයෙන් දායක වෙලා තියෙනවා. නමුත් විකට චරිතවලින් බැහැරව තරමක් වෙනස් චරිතයකට මට අවස්ථාව ලබා දුන්නේ උදයකාන්ත වර්ණසූරිය මහතා. ඒ ඔහුගේ ‘දිය යට ගින්දර’ චිත්‍රපටයෙන්. දැන් ඒ වගේම වෙනස් චරිතයක් සමඟින් ප්‍රේක්ෂකයන් හමුවට එන්න බලාපොරොත්තු වෙනවා.

ඒ ගැන තවත් විස්තර කළොත්?

ලාල් ප්‍රියදේවගේ ‘මගේ යාළු මාළු’ චිත්‍රපටයේ තමයි මම මේ චරිතය රඟපාන්නේ. එය මගේ රංගන ජීවිතයේ වෙනසක්.

ඊට අමතරව බර්මින් ලයිලි ප්‍රනාන්දුගේ ‘සඳලු තලය’ චිත්‍රපටයෙත් රූගත කිරීම් අවසන් කළා. එහි නම් දායක වුණේ විකට චරතයකට.

දෝණි චිත්‍රපටයට වගේම දිනේෂ් ප්‍රියසාද්ගේ ‘ඇද්දා ලණුව දැම්මා කොඩිය’ චිත්‍රපටවලටත් දායක වුණා. කේ. කරුණාරත්නගේ ‘තායම් මායම්’ චිත්‍රපටයටත් ආරාධනා ලැබිලා තියෙනවා. ඊට අමතරව රංගනයෙන් දායක වූ පද්මසිරි කොඩිකාරගේ ‘කෝරළේ මහත්තයා’ ටෙලි නාට්‍යය වගේම සංජය ගුණවර්ධනගේ ‘ඉහිරෙන කිරි’ ටෙලි නාට්‍යත් විකාශය වෙන්න නියමිතයි.

මේ දිනවල වන අභිනික්මන චිත්‍රපටයේ කළ රංගනයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ඒ චරිතයත් මට ලැබුණු චරිත අතර සුවිශේෂි චරිතයක්. එහි හාස්‍ය මුසු වුණත් තරමක් වෙනස් චරිතයක්. එහිදී මට සටන් ක්‍රම පවා දක්වන්නට අවස්ථාව ලැබුණා. ඒ චරිතයටත් ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා.

පවුලේ විස්තරත් කියමු?

බිරිඳ නිරෝෂිණි හඳුන්නෙත්ති. ගල්කිස්ස උසස් බාලිකා විද්‍යාලයේ ගුරුවරියක්. පුතා ශනිඳු හඳුන්නෙත්ති.

ඉදිරිය ගැනත් කෙටි සටහනක් තබන්නට මේ අවස්ථාව?

රංගන ක්ෂේත්‍රයේ දිගටම රැඳී ඉන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මට කළ හැකියි කියා හිතෙන චරිත උපරිමයෙන් හොඳට නිරූපණය කරන්න බලාපොරොත්තු වෙනවා.

ජීවන් හඳුන්නෙත්ති – 0776364070.