වර්ෂ 2013 ක්වූ ජූලි 25 වැනිදා බ්‍රහස්පතින්දා




ජෝන් ඒබ්‍රහම්ට කොටි තර්ජන

ජෝන් ඒබ්‍රහම්ට කොටි තර්ජන

‘මැඩ‍්‍රාස් කැෆේ’ තමිල්නාඩුවේ තහනම් කරන්නලු

සිනමාපටයක් ප්‍රවර්ධනය කිරීමට සිනමාපටයක් නිර්මාණය කිරීමට තරමටම දැඩි වෙහෙසක් දැරීමට සිදුවේ. එහෙත් සමහර සිනමාපට ප්‍රවර්ධනය කිරීමට පෙර සිටම ලැබෙන විවේචන, තහනම් කිරීම් සැබැවින්ම ‘දෙන දෙයියො ගෙටම ගෙනැවිත් දෙනවා’ හා සමාන වාසනාවකි.

‘මැඩ්‍රාස් කැෆේ’ අගෝස්තු 23 වැනි දිනට තිරගත කිරීමට නියමිත නවතම බොලිවුඩ් සිනමාපටයයි. මුලින්ම ‘මැඩ‍්‍රාස් කැෆේ’ ගිනි ගත්තේ ජනවාරි මුල සතියේයි. එතෙක් එහි නම ‘ජැෆ්නා’ය. එහෙත් තමිල්නාඩුවෙන් එල්ල වූ තර්ජන නිසා සිනමාපටය ‘මැඩ්‍රාස් කැෆේ’ නම් විය.

නම වෙනස් කළ පසු ජෝන් ඒබ්‍රහම් නම් මාධ්‍යයට පැවසුවේ කෝපි මේසයක බොහෝ දේ විය හැකි නිසා සිනමාපටයේ අන්තර්ගතයට අලුත් නම වඩාත් සුදුසු බවයි.

දෙවැනි වරට ‘මැඩ්‍රාස් කැෆේ’ ගිනිගෙන ඇත්තේ ජූලි 12 වැනිදා ‘බෑග් මිඛා බෑග්’ සමඟ එහි පූර්ව දර්ශනපට මාලාව පෙන්නූ පසුවයි. තමිල්නාඩුවේ නාම් තමිලර් නායක සහ සිනමාවේදී සීමන් ඇතුළු අන්තවාදීන් එල්ල කරන දැඩි විරෝධතා නිසා යළිත් කාගේත් කතාබහට ලක් වූ සිනමාපටයක් බවට ජෝන් ඒබ්‍රහම්ගේ නවතම සිනමාපටය පත් වී තිබේ.

‘මැඩ්‍රාස් කැෆේ’ සිනමාපටය තමිල්නාඩුවේ තිරගත කිරීම තහනම් කරන ලෙසට දැනටමත් සීමන් රජයෙන් ඉල්ලීම්කර අවසන්ය. එල් ටී ටී ඊ පාක්ෂික සීමන්, එල් ටී ටී ඊ සාමාජිකයන් ත්‍රස්තවාදීන් ලෙස පෙන්වනවාට කොහෙත්ම එකඟ නැත. පූර්ව දර්ශන මඟින් එසේ වැටහීම නිසා ඔහු මෙලෙස උද්ඝෝෂණය කර තිබේ.

‘සිනමාපටය නිසා පසුකාලීනව එල් ටී ටී ඊ සාමාජිකයන් ත්‍රස්තවාදීන් ලෙස හංවඩු ගැහෙන්න පුළුවන්. ශ්‍රීී ලංකාවේ වර්ගවාදය නිසා දහස් ගණන් දමිළ ජාතිකයන් 2009 දී මරා දැමුණා. කවුරුවත් ඇයි මේ වර්ගවාදී ඝාතන ගැන සිනමාපට නිර්මාණය නොකරන්නේ? ඔහු විමසයි.

දමිළ ශිෂ්‍ය සංවිධාන ඇතුළු සංවිධාන රැසක් දරන්නේ සීමන්ගේ අදහසයි. පොලිස් කොමිසන්වරයා පවසන්නේ දමිළ ක්‍රියාකාරීන්ට, නායකයන්ට සිනමාපටය පෙන්විය යුතු බවයි. මතභේදාත්මක දර්ශන ඇත්නම් ඒවා ඉවත් කළ යුතු බව ද ඔහු පවසයි.

මේ වන විට සිනමාපටයට වාරණ මණ්ඩලයේ 4/ඒ සහතිකය (සිනමාපටයේ කිසිදු දර්ශනයක් නොකපා) ලැබී අවසන්ය. නිෂ්පාදකයකු වන ජෝන් ඒබ්‍රහම් වාරණ මණ්ඩලයෙන් ඉහළම සහතිකයක් හිමි වීම ගැන සතුටින් පසුවෙයි. ‘විකී ඩෝනර්’ සිනමාපටය නිර්මාණය කරද්දී වාරණ මණ්ඩලය ගැන හිත කරදරකර ගත්තා. ඒ ශුක්‍රාණු දීම සම්බන්ධ සිනමාපටයක් නිසා.

එහෙත් එයටත් ඒ සහතිකයක් හිමි වුණා. ප්‍රේක්ෂකයන් සිනමාපටයට වශී වුණා. ඉන්දියානු රුපියල් කෝටි 5 ක් සිනමාපටය නිර්මාණය කිරීමට වැය වුණත් ඒ වගේ නව ගුණයක ආදායමක් (ඉන්දියානු රුපියල් කෝටි 45 ක්) උපයන්න ලැබුණා. එය වසරේ ඉහළම ආදායමක් ලැබූ සම්මාන රැසක් ලැබුණු සිනමාපටයක්.

‘මැඩ්‍රාස් කැෆේ’ පෙන්වන්න ඉස්සරම ආන්දෝලනාත්මක සිනමාපටයක් වෙලා’ ජෝන් පවසන්නේය.

මෙහි ජෝන් රඟන්නේ කෞශල් චොකවාලා නම් ඉන්දියානු බුද්ධි අංශයේ ඒජන්තවරයකුගේ චරිතයකි. නාගිස් ෆක්රි, ප්‍රීත් ඔබරෝයි නම් අන්තර්ජාතික වාර්තාකාරියක ලෙස රඟන්නීය.

සිනමාපටය ඉන්දියාවේත්, ශ්‍රී ලංකාවේත් රූගතකර තිබේ. මැඩ්‍රාස් කැෆේ සුජිත් සිර්කාර්ගේ අධ්‍යක්ෂණයකි. ජෝන් ඒබ්‍රහම්, නාගීස් ෆක්රි, ජැකලින් ෆර්නැන්ඩස්, ලීනා මාරි ආදී නළු නිළියෝ රැසක් සිනමාපටයට දායක වෙති.

මේ අන්තර්ජාතික වශයෙන් තිළිණ කළ හැකි ඉන්දියානු සිනමාපටයක් බව බොහෝ දෙනකුගේ අදහසයි. උතුරු අමෙරිකාවේත්, යුරෝපයේත් සිනමාපටය තිරගත කිරීමට නියමිතයි.

අමෙරිකාවේ ‘ආගෝ’ (2012) සිනමාපටයට ඉන්දියාවෙන් ලැබෙන විකල්පය ‘මැඩ්‍රාස් කැෆේ’ බව එම සිනමා කණ්ඩායමේ අදහසයි. ආගෝ ද 1979 දී ටෙහෙරානයේ අමෙරිකානු තානාපති කාර්යාලයට ඉරාන ජාතිකයන් එල්ල කළ ඉතිහාසගත ප්‍රහාරය ඇසුරින් නිර්මාණය වූවකි.

හතළිස් හැවිරිදි ජෝන් 2013 වසරේදී ආන්දෝලනාත්මක චරිතයක් වී සිටින්නේ මැඩ්‍රාස් කැෆේ නිසා පමණක්ම නොවෙයි. ඔහු මේ වසරේදී සිය පෙම්වතිය බැංකු නිලධාරිනියක වූ ප්‍රියා මර්වාගේ අත ගනු ඇති බවට ද වාර්තාවේ.

බිපාෂා බාසු සමඟ පැවැති දස වසරක ප්‍රේමය බිඳ වැටුණු පසු ජෝන්ගේ හද ගත්තේ ප්‍රියාය. මෑතකදී ජෝන් රැඟූ ‘අයි මේ ඕර් මේන්’ සිනමාපටය ද සාර්ථක විය. ජෝන් ක්‍රියාදාම වීර චරිතයෙන් මිදී සුන්දර කඩවසම් පෙම්වතකු ලෙස එහි රැඟූවේය. සිනමාපටයේ මංගල දර්ශනය නැරැඹීමට පැමිණි ඒබ්‍රහම්ගේ මවගේ දෙනෙත කඳුළින් පිරී තිබේ.

නර්ගීස් ෆක්රිට ‘මැඩ්‍රාස් කැෆේ’ සිනමාවේ දෙවැනි උපතක් හා සමානය. මුලින්ම ඇය රැගුවේ ‘රොක්ස්ටාර්’හි සුරූපී පෙම්වතියගේ චරිතයයි. එහිදී ඇයගේ රංගනය ප්‍රධාන නළු රන්බීර් කපූර්ගේ අගැයුමට ලක් විය. මෙහි ඇයගේ සැබෑ රංගන කුසලතාව එළි දැක්වෙන නිසා ඇයගේ කුලුඳුල් රංගනය ‘මැඩ්‍රාස් කැෆේ’ ලෙස හැඳින්නුවාට වරදක් නැති බව අධ්‍යක්ෂ සුජිත් සිර්කාර් පවසයි.