වර්ෂ 2013 ක්වූ ජූලි 25 වැනිදා බ්‍රහස්පතින්දා




සිරි පැරකුම් විකුම් පෑ සිඟිති තරු තුන

සිරි පැරකුම් විකුම් පෑ සිඟිති තරු තුන

රජ මැදුර සිපිරි ගෙයකි – ගම සොඳුරු තිදස පුරකි

අද කලා තෙරතුරු සමඟින් සරසවියේ තවත් එක කාර්යබහුල දවසක්. ඒ අතර මට ඇසුණේ කුඩා දරුවන් පිරිසකගේ හඬක්. එවිටම මා දුටුවේ පුංචි නංගිලා දෙදෙනෙකුගේ අතින් අල්ලා ගත් පුංචි අයියා කෙනෙක් සරසවිය දෙසට පිය නඟන අයුරුයි. එක අත්තක පිපුණු මල් තුනක් වගේ ‘කවුද මේ පුංචි පැටවු තුන්දෙනා’. ඔවුන් දුටු සැණින් කෙනෙක් අසනු මටත් ඇසුණා. ඇත්තටම කවුද මේ?

මම අප්පු, මේ කළු එතනා, මේ සිරිමල් එතනා. පුංචි පුතා දඟකාර ලෙසින් එහෙම කිව්වා.

අප්පු කිව්වේ?

සිරිපැරකුම් චිත්‍රපටයේ අප්පුවා.

අනේ මට හඳුනා ගන්න බැරි වුණානේ. කෝ ඔයාගේ කොණ්ඩේ?

ඒක බොරු කොණ්ඩයක්. චිත්‍රපටයට විතරයි පාවිච්චි කළේ.

ඉතිං මට ඔයාලගේ ඇත්තම නම්වලින් හඳුන්වලා දෙන්නකෝ.

මේ වෙලාවේ ඉදිරිපත් වුණේ කළු එතනා.

මම මිහිරි අංශිකා. මේ නංගි මිනෝලි බාලසූරිය. අයියා සචින් චතුරංග.

ඇත්ත නම සචින් වුණාට දැන් වැඩිපුර පාවිච්චි කරන්නේ අප්පු කියන නමද?

ඒක නම් ඇත්ත. ඉස්කෝලෙ යාළුවොත් මට ගොඩක් විහිළු කරනවා. දැන් මගේ නම සචින් කියලා පාවිච්චි වෙන්නෙම නැති තරම්. හැමෝම මට කතා කරන්නේ අප්පුවා කියලා තමයි. ඉස්කෝලෙදි යාළුවෝ, මී හරක්ගෙ පිටේ යමුද? උදැල්ලක් හදල දෙන්න පුළුවන්ද කියලත් අහනවා.

ඒක අහපු පුංචි මිනෝලිටත් හරිම හිනා.

ඉතිං මිනෝලි ඔයාගේ යාළුවෝ චිත්‍රපටය ගැන මොනවද කිව්වේ?

හුඟක් ලස්සනට රඟපෑවා කියලා හැමෝම කිව්වා. තව . . . ගොඩක් හොඳයි කියලත් කිව්වා.

ඔයාට යාළුවෝ සිරිමල් එතනා කියන්නේ නැද්ද?

අනේ . . . නෑ . . . මිනෝලි කිව්වේ හරිම ලැජ්ජාවෙන්.

මිහිරි ඔයාගේ යාළුවෝ මොනවද කිව්වේ?

ගොඩක් ලස්සනයි. මම ලස්සනට රඟපෑවා කියලා හැමෝම කිව්වා.

චිත්‍රපටයේ ෂූටිං තිබුණෙත් ගොඩක් ලස්සන තැන්වල නේද? ඔයාලා ඇති තරම් සෙල්ලම් කරන්නත් ඇති නේද මිනෝලි?

ඔව්. ලස්සන දිය ඇලි තිබුණා. අපි ගල් උඩ නැග්ගා. එක දවසක් ෂූටිං කරද්දී මමයි මිහිරි අක්කයි වතුරෙ ඉන්න වෙලාවක එක පාරටම වතුර ගොඩාක් ආවා. එතන හිටිය කට්ටිය අපව ඉක්මනට ගොඩට ගත්තා.

ඔව්. එදා නම් අපි ගොඩක් බය වුණා. ඒ කතාවට එකතු වුණේ සචින්.

එදා අපි ෂූටිං කරද්දී කළු එතනයි සිරිමල් එතනයි වතුරේ ඉන්න දර්ශනයක් තිබුණා. ඒ වෙලාවේ තමයි මේක සිදු වුණේ. සොරොව්ව ඇරලා කියලා අපිට දැනගන්න ලැබුණේ නැහැ. කොහොම වුණත් ඒ වෙලාවේ කාටවත් කරදරයක් වුණේ නැහැ. ඒ වුණාට ෂූටිං කරද්දී ගලක් උඩින් වැටිලා මිනෝලි නම් හොඳටම ඇඬුවා.

ඇත්තද මිනෝලි මේ අයියා කියන්නේ?

ඔව්. මම ලොකු කළු ගලක් උඩට නගිද්දී වැටුණා. මට ගොඩක් රිදුණා. ඒ නිසයි ඇඬුවේ.

චිත්‍රපටයේදී තුන්දෙනාටම මී හරක් එක්කත් රඟපාන්න වුණා නේද?

මීහරක්ගෙ පිටේ යන්න වුණේ සචින් අයියට තමයි. එහෙම කරන්න ගිහින් එයත් වැටුණා නේ . . . මිහිරි එහෙම කිව්වේ හිනා වෙන ගමන්.

මෙයාට නම් හිනා.

සචින්ට තරහා ගියාද?

අනේ නැහැ. මීහරක්ගෙ පිටේ යන්න ගිහින් කීප සැරයක්ම මම වැටුණානේ. මුලින්ම මට සෝමේ මාමා මී හරක් ගේ පිටේ යන විදිය කියලා දුන්නා. ‘පුතේ මී හරක් කියන්නේ හොඳ ජාතියක් නම් නෙවෙයි. ඉක්මනට කුලප්පු වෙනවා’ කියලත් කිව්වා. එහෙම කියලා වැඩි වෙලාවක් ගියේ නැහැ මී හරකා කුලප්පු වෙලා දුවන්න හදද්දි මම වැටුණා. කකුල බැන්ඩේජ් කරලත් ඉන්න වුණා. මෙයාලට නම් හිනා.

මිහිරිටත් මී හරකෙක්ව ගොඩට ඇදලා ගන්න වුණා නේද?

ඔව්. ඒක තමයි අමාරුවෙන් කළේ. ඒ වගේම ටිකක් බයත් වුණා. මමයි සචින් අයියායි එකතු වෙලා ඌ ගොඩට ඇද්දෙ හරිම අමාරුවෙන්.

සෝමේ මාමායි, රේණුකා නැන්දයි එක්ක වැඩ කරන කොට කොහොමද කියලත් කියන්නකෝ?

ඒ ගැන කියන්න මුලින්ම ඉදිරිපත් වුණේ මිහිරි.

මම මීට කලින් රඟපාලා තිබුණේ නැහැ. ඉස්කෝලෙදි නම් විවිධ දේවල්වලට සහභාගි වුණා. නිවේදන කටයුතු කරනවා, නැටුම් වගේම සංගීතයත් හදාරනවා. ඒත් රඟපාලා නම් නැහැ. සිරි පැරකුම් චිත්‍රපටයට තේරුණාම සෝමේ මාමා කිව්වේ රඟපාන්න බය වෙන්න එපා කියලා. වැරැදි කරන කොට සෝමේ මාමා ඒවා මට කියලා දුන්නා. රේණු නැන්දත් අපිට හරිම ආදරෙයි. අපිව හොඳීන් බලා ගත්තා.

දැන් මිනෝලිගේ අවස්ථාව.

අපි රඟපාන කොට සෝමේ මාමා අපට අඩුපාඩු කියලා දුන්නා. කැමරාවට බය වෙන්න එපා කියලත් කිව්වා. රේණු නැන්දා හරිම හොඳයි.

මිනෝලිත් මීට කලින් රඟපාලා නැද්ද?

මම වෙළෙඳ දැන්වීම්වල ඉඳලා තියෙනවා. තව සල්මල් ලන්ද ටෙලි නාට්‍යයෙත් චිත්‍රපටයකත් රඟපාලා තියෙනවා.

සචින් නම් පුංචි කාලේ අයියත් එක්ක සම්මානවලටත් රණ්ඩු කරනවාලු නේද?

මගේ අයියා තමයි සූරියඅරණ චිත්‍රපටයේ පොඩි හාමුදුරුවන්ට රඟපෑ දසුන් මධුසංඛ. මට රඟපාන්න ආසාවක් ඇති වුණෙත් අයියා නිසා. අයියාට සම්මාන ලැබිලා ඒවා ගෙදර ගේන කොට මම ඒවා ඉල්ලලා රණ්ඩු කරනවා. මට මිනුවන්ගොඩ කලා සංසදයෙන් කුසලානයක් ලැබුණා. ඒක තමයි මට ලැබුණ පළමු සම්මානය. බිංදු චිත්‍රපටයේ රංගනයට ඕ. සී. අයි. සී. සම්මානයකුත් 2010 වසරේ රූපවාහිනි රාජ්‍ය ටෙලි සම්මාන උළෙලේ හොඳම ළමා නළුවාට හිමි සම්මානයත් හිමි වුණා. ඊට පස්සේ 2012 රයිගම් ටෙලි සම්මාන උළෙලේ හොඳම ළමා නළුවාට හිමි සම්මානයත් ලැබුණා. මේ වෙන කොට මම ටෙලි නට්‍ය විසි දෙකක විතර රඟපාලා තියෙනවා. බිංදු, බඹර වළල්ල, තණ්හා රති රඟා, පුංචි අපිත් බය නැහැ චිත්‍රපටවලත් රඟපාලා තියෙනවා.

සචින් මීට කලිනුත් සෝමේ මාමා එක්ක වැඩ කරලා තියෙනවා නේද?

මගේ පළමු චිත්‍රපටය බිංදු චිත්‍රපටය සෝමේ මාමාගේ. සෝමේ මාමා එක්ක වැඩ කරන කොට එක වෙලාවකට එයා යාළුවෙක්. තවත් වෙලාවකට තාත්තා කෙනෙක් වගේ. අපි තුන්දෙනාටම සෝමේ මාමායි රේණු නැන්දයි අම්මා තාත්තා වගේ හිටියා.

මං කැමැතියි තුන්දෙනාගෙම ඉස්කෝලෙ වගේම ඉගෙන ගන්න විෂයන් ගැනත් විස්තර දැනගන්න. මුලින්ම මිනෝලි කියන්නකෝ?

මම කෝට්ටේ ශාන්ත තෝමස් විද්‍යාලයේ තුන වසරේ ඉගෙන ගන්නේ.

මිනෝලි අනාගතයේදී නිළියක් වෙන්නද කැමැති?

රඟපාන්න ආසයි. මම අනාගතයේදී නැටුම් ටීචර් කෙනෙක් වෙන්න තමයි කැමැති. දැන් මම බුදවත්ත සර්ගේ නැටුම් පංතියේ ඉගෙන ගන්නවා.

දැන් මිහිරි ඔයා ගැනත් කියන්නකෝ?

මම නාවල ජනාධිපති ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ පහ වසරේ ඉගෙන ගන්නේ. මේ දවස්වල ශිෂ්‍යත්ව විභාගයට ලෑස්ති වෙනවා. අනාගතයේදී නීතිඥවරියක් වෙන්න තමයි මම කැමැති.

එතකොට සචින්?

මම මොරටුව වේල්ස් කුමර විද්‍යාලයේ 9 වසරේ ඉගෙන ගන්නේ. දැන් සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වෙනවා. උසස් අධ්‍යාපනය ලබන අංශය මොකක්ද කියලා නම් තවම තීරණය කරලා නැහැ. දිගටම රංගන කටයුතුවල නිරත වෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන් මගේ නාට්‍ය ගුරුතුමා වන තිස්ස ගුණවර්ධනයන්ගෙන් විශාල සහයෝගයක් ලැබෙනවා.

සචින්, මිහිරි, මිනෝලි ඔබ හමුවට ආවේ සෝමරත්න දිසානායකගේ සිරිපැරකුම් චිත්‍රපටයෙන්. එහි පරාක්‍රමබාහු කුමාරයා, කළු එතනා සහ සිරිමල් එනාගේ ළමා වියේ කොටසක් නිරූපණය කරමින් ඔවුන් කාගේත් සිත් තුළ නොමැකෙන මතක සටහන් කර අවසන්. ඒ සොඳුරු මතක සමඟ මේ රසවත් කතාවට සමු දෙන්නට කාලය ඇවිත්. සචින්, මිහිරි, මිනෝලි ඔබ තිදෙනාට සෞභාග්‍යමත් අනාගතයකට සරසවිය සුබපැතුම්.