වර්ෂ 2013 ක්වූ ජූලි 25 වැනිදා බ්‍රහස්පතින්දා




මුලින්ම මට සර් බෙන් කිංස්ලි කියන්න කිව්ව ඔහු අවසානයේ මාව බදාගෙන සර් කිව්වා

මුලින්ම මට සර් බෙන් කිංස්ලි කියන්න කිව්ව ඔහු අවසානයේ මාව බදාගෙන සර් කිව්වා

කොමන් මෑන් තැනූ සම්මානනීය අධ්‍යක්ෂ චන්ද්‍රන් රත්නම් සමඟ කතාබහක්

ලාංකේය සිනමා වංශ කතාව තුළත් ලෝක සිනමා වංශ කතාවටත් චන්ද්‍රන් රත්නම් ආගන්තුකයකු නොවේ. ‘ආදර කතාව’ නිර්මාණය කරමින් සිංහල සිනමා යාත්‍රාවට ගොඩ වූ රත්නම් ලෝක සිනමා නෞකාවට ගොඩ වන්නේ අ කොමන් මෑන් .චිත්‍රපටය නිර්මාණය කරමිනි.

ලෝක සුපතල, විශ්මයජනක අධ්‍යක්ෂවරුන් සමඟ කුළුපග වෙමින් ලෝක සිනමාවේ සුමිතුරකු වන රත්නම් මේ දිනවල අතිශය ජනප්‍රියත්වයට පත්ව ඇත්තේ ඔහු විසින් නිර්මාණය කළ ඒ common man චිත්‍රපටය නිව්යෝර්ක් චිත්‍රපට උළෙලේ මැඩ්රිඩ් සම්මානය හිමි කරගැනීම සමඟය.

මේ කුඩා මිනිසා ඒ සමඟම ලෝක සිනමාවේ තමාට තිබූ තැන නැවත නැවතත් ස්ථාවර කරගනු ලැබුවේ අපේ රටට ද කීර්තියක් අත්කර දෙමිනි. මේ චන්ද්‍රන් රත්නම් සමඟ සරසවිය කළ සොඳුරු කතාබහකි.

කොමන් මෑන් චිත්‍රපටය සඳහා පාදක වන්නේ ජනප්‍රිය හින්දි චිත්‍රපටයක් වන වෙන්ස්ඩේ සහ දෙමළ චිත්‍රපටයක් වන ඔරුවන් හි කතා පුවත. අපි එතැනින් පටන් ගනිමු.

ඔව් . . . මෙම චිත්‍රපට නරඹද්දී මං හිතුවා ඒ තුළ හොඳ ජාත්‍යන්තර චිත්‍රපටයක් තිබෙනවා කියා. දිගින් දිගටම මම ඒ ගැන සොයා බැලුවා. මේ වස්තු විෂය ලෝකයේ ඕනෑම තැනක ඕනෑම වෙලාවක විය හැක්කක්. ඒ නිසා මා තීරණය කළා මේ චිත්‍රපටය ලෝකයටම පොදු වන ආකාරයට ගොනු කොට නිර්මාණය කරන්න ඕනෑ කියලා. ඒ අනුව මම පිටපත ලියුවා. අපේ රටේ දර්ශන තල හිතේ තබාගෙන තමයි චිත්‍රපටය රචනා කළේ. සාමාන්‍යයෙන් මම චිත්‍රපටයක තිර රචනය කරන්නේ චරිත හිතේ මවාගෙන. මේ චරිතයට මම හිතේ මවා ගත්තේ බෙන් කිංස්ලි. මම දවසක් මගේ මිතුරෙකුට මේ තිර පිටපත ගැන කිව්වා. ඒත් එක්කම මගේ හිතේ මේ චරිතයට ඇඳිලා තියෙන්නේ බෙන් කිංස්ලි කියලත් මම ඔහුට කිව්වා.

නමුත් බෙන් කිංස්ලි වගේ කෙනෙක් චිත්‍රපටයට සම්බන්ධ කරගන්න පුළුවන් වෙයි කියලා එදා මං හීනෙකින්වත් හිතුවේ නැහැ. ඒක හරියට කවදාවත් ඉටු නොවන බලාපොරොත්තු ගොඩට මං දාලා තිබුණේ. ඒත් මගේ මිතුරා කිව්වා ඔහුට කතා කරමු කියලා.

තිර පිටපත නිවැරැදිව ලියා අවසන් වූ වහාම මම බෙන්ව සම්බන්ධ කර ගත්තා. පිටපත කියවා අවසන් කොට ඔහු කතා කළේ ඉතාමත් ආශාවෙන්. ඔහුට ආරාධනා කිරීම ගැන ඉතා සන්තෝසෙන් බෙන් හිටියේ. ඊට පසු සාකච්ඡා කිහිපයකින් අනතුරුව ඔහු මේ චරිතය රඟපාන්නට කැමැති වුණා.

මං හිතන්නේ මට තිර පිටපත ලියන්නට පටන් ගත්ත දවසේ ඉඳලම මේ චිත්‍රපටය නිමාවෙන තෙක්ම හොඳ වාසනා ගුණයක් තිබුණා. මෙම චිත්‍රපටය නිෂ්පාදනය කළේ මනෝහන් නානායක්කාර මහත්මා. ඉතිං මගේ වාසනාවට බෙන්ව චිත්‍රපටයට සම්බන්ධ කරගන්න හැකි වුණා වගේම චිත්‍රපටය ඉතාමත් හොඳීන් නිමා වුණා. සම්මානත් ලැබුණා. ඒකයි මං කිව්වේ වාසනාව කියලා.

බෙන් කිංස්ලිව හිතේ තියාගන්න විශේෂ හේතුවක් තිබුණාද?

මම ඔහුගේ රංගන ප්‍රතිභාව දැකලා තිබුණා. ඒ වගේම ඔහු ගැන හොඳ ස්ව අධ්‍යයනයක් මට තිබුණා. මේ චිත්‍රපටය තදින්ම ඉල්ලා සිටින ගති ලක්ෂණ බෙන්ගේ තිබුණා. මා නිරතුරුවම නළුවන් නිළියන් තෝරා ගන්නේ පිටපත ඉල්ලා සිටින ආකාරයට. ඒ නිසා මගේ හිතේ මැවුණේ බෙන් කිංස්ලි. මගේ හිතේ මැවුණ චරිතය ඊටත් ඉහළින් රඟපාන්නට ඔහු කැපවීම සතුටක්.

බෙන් කිංස්ලි වැනි දැවැන්තයකු අධ්‍යක්ෂණය කිරීමේදී ලැබූ අත්දැකීම් ගැන කතා කරමු.

මුලින්ම චිත්‍රපටයට ආරාධනා කරන්න මං ඔහුට කතා කළේ මිස්ටර් බෙන් කිංස්ලි කියලයි. ඔහු එකවරම උත්තර දුන්නේ මං සර් බෙන් කිංස්ලි කියලයි. ඒ ප්‍රති උත්තරයෙන් මාව තිගැස්සුණා. හිතේ කොච්චර ආශාවක් තිබුණත් මේ පුද්ගලයා එක්ක වැඩ කරන්නේ කොහොමද කියලා මට හිතුණා.

ජාත්‍යන්තර මට්ටමේ කලාකරුවන් රැසක් සමඟ මම ගනුදෙනු කොට තිබුණත් එවැනි උදවියත් සමඟ අධ්‍යක්ෂණ කටයුත්තකට මා අත්දැකීම් බහුල කෙනෙක් නොවෙයි. කෙසේ හෝ බෙන් ලංකාවට ආවා. ඇත්තටම කිව්වොත් කටුනායකින් එළියට ආවේ බෙන් කිංස්ලි නොවෙයි. කොමන් මෑන්.

ඒ මොහොතෙම ඔහුත් සමඟ කටයුතු කිරීම ඉතා පහසුවන වග මට වැටහුණා. සාකච්ඡාවලදී අපි හොඳ මිතුරන් බවට පත්වුණා. මුලින්ම මට සර් බෙන් කිංස්ලි කියන්න කිව්ව ඔහු අවසානයේ මාව බදාගෙන සර් කිව්වා. කටුනායකින් අවේ කොමන් මෑන්. පිටත් වුණේ බෙන් කිංස්ලි කියන මිත්‍රයා.

ඔබේ චිත්‍රපටයට ජාත්‍යන්තර පිළිගැනීම කොහොමද?

අමෙරිකාවේ බෙවරි හිල්ස් සිනමා සංකීර්ණයේ තමයි චිත්‍රපටය නිදහස් වුණේ. මේක ජාත්‍යන්තර චිත්‍රපටයක්. ඒ අවශ්‍ය පිළිගැනීම කොමන් මෑන්ටත් ලැබී තිබෙනවා.

අපේ ප්‍රේක්ෂකයන්ට මේ චිත්‍රපටය නරඹන්න ලැබෙන්නේ කොහොමද?

ලබන මාසේ මැජෙස්ටික් සිනමා ශාලාවේ චිත්‍රපටය පෙන්වීමට සැලසුමක් තිබෙනවා.

රත්නම් කියන්නේ මාර්කටින් වලට කිසිම උනන්දුවක් නැති අධ්‍යක්ෂවරයෙක් කියලා මං කිව්වොත්?

ඇත්ත . . . හරියටම හරි. මං ඒක පිළිගන්නවා. නමුත් මාර්කටින් කියන්නේ මගේ විෂය නෙවෙයි. ඔයා පත්තරේට ලිව්වට පත්තර විකුණන්න යන්නේ නැහැනේ. මං ගත්තේ සරලම උදාහරණයක්. මගේ වැඩේ චිත්‍රපට හදන එක. ඒක විකුණ ගන්න, ඒ සම්බන්ධ සැලසුම් හදන්න, ප්‍රචාරක කටයුතු කරන්න ලෝකේ වෙනම ආයතන තිබෙනවා. අපේ චිත්‍රපටයත් ආයතනයකට බාර දුන්නා. ඔවුන් මාර්කටින් වැඩ ටික අකුරටම බලා ගනීවි. දැන් මට තියෙන්නේ ඔළුව නිදහසේ අලුත් චිත්‍රපටයේ කටයුතු කරගෙන යන්න.

කොමන් මෑන් ලබන මාසයේ ලංකාවේ තිරගත වන බව ඔබ පැවසුවා. නමුත් මේ වන විටත් චිත්‍රපටයේ හොර ඩී. වී. ඩී. පිටපත් රට පුරා ප්‍රචලිත වී හමාරයි?

චිත්‍රපටයේ ඩී. වී. ඩී. කවරය ලංකාවේදී දැක්කම මං පුදුමයට පත් වුණා. ඒ චිත්‍රපට කවරයේ මුලින්ම තිබුණේ ඇකඩමි සම්මානලාභී බෙන් කිංස්ලි කියලා. ඒ වගේම මැඩ්රිඩ් සම්මානයට නිර්දේශ බවටත් එහි තිබුණා. චිත්‍රපටය ගැන දැනුවත් වීම ගැන මට සතුටු හිතුණත් හොර ඩී. වී. ඩී. තැටියක් නිකුත්වීම ගැන මට සියුම් දුකකුත් ඇති නොවුණා නොවෙයි.

මේ කතාවේ දෙපැත්තක් තිබෙනවා. චිත්‍රපට තිරයේ නරඹන පිරිස ගෙදර තිරයේ චිත්‍රපට බලන්න කැමැත්තක් නැහැ. ඒ අය සිනමා ශාලාවට එනවාමයි. හොරකම අල්ලන්න වෙහෙසෙනවාට වැඩිය හොඳයි තව අලුත් දෙයක් කරන්න වෙහෙසෙන එක.

සිංහල චිත්‍රපටයක් කරන්න අදහසක් නැද්ද?

අනිවාර්යයෙන්ම තියෙනවා. තිර පිටපතත් සූදානම්. සරදියෙල් තමයි කරන්නේ. ඉතිං චිත්‍රපට කරන්න මුදල් අවශ්‍යයි. නිෂ්පාදකවරයෙක් හුමුවුණ ගමන් වැඩ අරඹන්න හිතාගෙන ඉන්නවා. චිත්‍රපට කරන්න සල්ල ඕනේ. ඉස්සෙල්ලා සල්ලි ලැබෙන චිත්‍රපටය මං මුලින්ම කරනවා. කොටින්ම කිව්වොත් මං සරදියෙල්වත් තෝරලා ඉවරයි.

කවුද සරදියෙල්, විදේශ නළුවෙක්ද?

නැහැ ඔහුගේ නම නාලක. පසුගියදා තිරගත වූ ජනප්‍රිය චිත්‍රපටයක කටයුතු අතරේ තමයි ඔහු මට හමු වුණේ. එදා මං ඔහුට කිව්වා නුඹ තමයි මගේ සරදියෙල් කියලා.

ඇයි සරදියෙල් නිර්මාණය කරන්න හිතුවේ?

මම මේ පිටපතට පාදක කර ගත්තේ ගුණසේන විතානගේ මහත්මයා ලියූ පොත. ඒ වගේම මට අවශ්‍ය වෙලා තිබුණා සරදියෙල් ගේ සත්‍ය කතාව නිර්මාණය කරන්න. උදාහරණයක් කිව්වොත් සරදියෙල්ගේ අත්තම්මා රාජසිංහ රජතුමාගේ අනතඞපුර කාන්තාවක්. සුද්දෝ බය වුණා සරදියෙල් රජධානියක් පිහිටුවා ගනීවි කියලා. ඔවුන් හිතුවා රාජසිංහ රජතුමාගේ ලේ තමයි සරදියෙල්ට තියෙන්නේ කියලා.

මේ වගේ ලස්සන කතා මගේ පිටපතේ තියෙනවා. ඉදිරියේදී සරදියෙල් නිර්මාණය වේවි කියලා මට හිතෙනවා.

අලුත්ම චිත්‍රපටය ගැන කතා කරමු.

සාර්ථකව කෙරෙමින් පවතිනවා. මේ චිත්‍රපටයත් සත්‍ය කතාවක්. මැතිව් පියතුමාගේ කතාන්දරය තමයි චිත්‍රපටයට නැගුණේ. මේ චිත්‍රපටයේත් ජාත්‍යන්තර කීර්තිමත් පිරිසක් මාත් සමඟ කටයුතු කරනවා.

මැතිව් පියතුමා ඔබට මුණගැහුණා නේද?

ඇත්තටම කියනවා නම් ඔහු අපේ පවුලේ හිතවතෙක්. මගේ මිතුරෙක්. මගේ අම්මගේ මළගෙදර යාඥාවන් පවා කළේ මැතිව් පියතුමා. ඔහු ගොඩාක් හොඳම කරපු පියනමක්. නැති බැරි ජනතාවට හැකිතාක් උදව් කළා. රෝගී උදවිය අමෙරිකාවේ පවා ගෙන ගොස් ඔහු සුව කරලා තිබෙනවා. ඔහු සමඟ මා ඉතාම සමීපව ආශ්‍රය කළා.

එක් දිනක චිත්‍රපටයක කටයුත්තක් සඳහා මම වැලිකඩ බන්ධනාගාරයට ගියා. මා ඉඳන් හුන් පුටුවේ පිටුපසින් කෙනෙකු මගේ දකුණු උරහිසට වරින් වර අත තිබ්බා. මං හැරිලා බලද්දී ෆාදර් මැතිව්. ජම්පරයක් ඇඳන් ඔහු මගේ ඉදිරියට ඇවිත් කතා කරන්න පටන්ගත්තා.

ඔහු මගෙන් ඇහුවා චිත්‍රපටය කරනවද කියල. මං කිව්වා ඔව් ඉතාම ඉක්මනින් කරන්න හිතාගෙන ඉන්නවා කියලා. ඔහු ඇහුවා කවුද මැතිව් කියලා. ඇත්තටම මං හිතේ තියන් හිටියේ ගාමිණී ෆොන්සේකා.

ඒක කිව්වම ෆාදර් වෙනස් වුණා. ඔහු කිව්වා මං ඉක්මනට එළියට එනවා. මං මගේ චරිතය කරන්නම් කියලා. හැබැයි මං නිර්දෝෂියි කියලා තමයි චිත්‍රපටයේ තියෙන්න ඕනේ. එහෙම කිව්වේ මගේ ඇස් දිහ බලාගෙනමයි.

ඒත් එක්කම ඔහු කිව්වා මං ගොනුස්සෙක් වගේ කියලා. උගේ වලිගයේ වගේ මගේ විස තියෙනවා. ඕනෑම වෙලාවක ඒ විස ගෝනුස්සට වගේ ඕනෑම කෙනකුට එන්නත් කරන්න මට පුළුවන් කියලා ඔහු ආවේගයෙන් කියාගෙන ගියා.

මං හොඳටම බය වුණා. එදා ඉඳලා ෆාදර් මැතිව්ගේ කතාව කරන්න තියා පිටපත ගැනවත් මං හිතුවේ නැහැ. පිටපතත් පැත්තකට කරල තියලා ආයේ අතට ගත්තේ ෆාදර් මැරුණට පස්සේ. දැනුත් මට ඒ කතාව මතක් වෙනවා.

මේ චිත්‍රපටයට ජැකලයින් තෝරා ගත්තේ ඇයි?

ඇගේ රංගනයන් මා දැක තිබුණා. ඇය මේ චරිතයට සුදුසු යයි මට වැටහුණා. මේ චිත්‍රපටය ජැකලයින්ගේ ජීවිතයේ කඩඉමක්. ඇගේ පළමුවන ඉංග්‍රීසි චිත්‍රපටය. එයාටත් ආස හිතුණා මං කතා කළාම.

ඇත්තටම ජැකලයින් ඉතාමත් හොඳ නිළියක්. ඒ වගේම දක්ෂයි. නිහතමානියි. ඇය විෂයට ඉතාමත් කැමැතියි.

ඔබ ගත කරන්නේ ඉතාමත් නිහඬ දිවි පෙවෙතක්?

ඔව් . . . අනවශ්‍ය දේවල්වලට සද්ධ කරන්න මට වෙලාවක් නැහැ. මට ඊට වඩා ගොඩාක් වැඩ තියෙනවා කරන්න. මං හැමදාමත් ඉගෙන ගන්නවා, අලුත් වෙනවා.

මේ සම්මානය රැගෙන ඔබ ගුවන් තොටුපළින් පැමිණෙන විට රතු පලස එළා පිළිගන්නට පිරිසක් බලා උන්වග ආරංචියි.

ඔව් . . . ඔව් . . . (සිනහවෙයි) ඔවුන් මට කතා කළා. කවදද එන්නේ අහන්න. මං කිව්වා එන්න මං ගියේ නෑ. මං ඉන්නේ මගේ ඔෆිස් එකේ කියලා.

මොනවද අනාගත සැලසුම්?

විශේෂයක් නැහැ. එකෝඩින් ටු මැතිව් නිමා කරලා ඉදරියේදී සරදියෙල් හෝ තවත් ඉංග්‍රීසි චිත්‍රපටයකට අත ගැසිය යතුයි කියන මතයේ තමයි මේ මොහොතේ ඉන්නේ.