වර්ෂ 2013 ක්වූ ජූලි 25 වැනිදා බ්‍රහස්පතින්දා




රන් කෙවිට 02 ගැන කතා වැරදියි

රන් කෙවිට 02 ගැන කතා වැරදියි

සෝමරත්න දිසානායකට උදයකාන්තගෙන් පිළිතුරක්

ජුලි මස 18 වැනි දින අපි මේක සුහදව බේරා ගනිමු යන සිරස්තලය යටතේ සරසවිය පත්‍රයේ පළකර තිබූ සෝමරත්න දිසානායක මහතාගේ සංවාද සටහනේ මා නිර්මාණය කළ රන් කෙවිට 02 චිතපටය පිළිබඳව ඔහු කර ඇති ප්‍රකාශයන් ගැන නිවැරදි කිරීමක් හා මාගේ අදහස් කිහිපයක් මෙලෙස ලියා දක්වමි.

සෝමරත්න දිසානායක මහතා පවසා සිටින්නේ රන් කෙවිට 02 චිත්‍රපටය හැදුවේ ඉතාමත් මෑතකදි බවත් එය රැගුම් පාලක මණ්ඩලයේ අවසරය ලබා ඇත්තේ 2013 වසරේ බවත්ය. මා රන් කෙවිට 02 චිත්‍රපටයේ පූර්ව නිෂ්පාදන කටයුතු 2008 වසරේ මුල් කාලයේ එනම් මීට වසර පහකට පෙර ආරම්භ කළ අතර රූගත කිරීම් ඇරඹුවේ 2008 වසරේ දෙසැම්බර් 17 වැනිදාය.(ඒ පිළිබඳ ලිපි ලේඛණ සරසවිය පුවත්පත වෙත මේ සමඟ ඉදිරිපත් කරමි.) දින හතළිස් පහක පමණ කාලයක් රූපගත කිරීම් සිදුකළ නමුත් එහි බහුල වශයෙන් තිබුණු “ත්‍රිමාණ සජීවකරණ” කටයුතු ද නිම කිරීමට තවත් අවුරුදු දෙකකට ආසන්න කාලයක් ගත විය.

දැනට වසර දෙකකට ආසන්න ඉහත කාලයකදී එහි කාර්මික පිටපත නැරඹු ඊ.ඒ.පී මණ්ඩලයේ විධායක හා අධීක්ෂක නිලධාරින් පිරිස චිත්‍රපටය ගැන අතිශයින් සෑහීමකට පත්ව එම මණ්ඩලයේ ප්‍රදර්ශනය සඳහා අනුමැතිය දී හැකි ඉක්මනින් ප්‍රදර්ශන අවස්ථාවද ලබාදීමට මා හට පොරොන්දු විය.සෝමරත්න දිසානායක මහතා පවසන්නේ, ඊ.ඒ.පී සමාගම හා රන් කෙවිට 02 චිත්‍රපටය අතර කිසිම ගිවිසුමක් නොමැති බවය. එය සත්‍යයකි. සාමාන්‍ය ක්‍රියා පිළිවෙත අනුව කිසියම් මණ්ඩලයක් විසින් චිත්‍රපටයක් එම මණ්ඩලයේ ප්‍රදර්ශනය සඳහා තෝරා ගත් පසු දැනුම්දීමක් කරනවා හැරෙන්නට නිෂ්පාදකවරුන් සමඟ ගිවිසුම්වලට එළඹෙන්නේ නැත. ප්‍රදර්ශන ගිවිසුම්වලට එළඹෙන්නේ චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට සූදානම්වන කාල වකවානුවේදීය.

නමුත් සෝමරත්න දිසානායක මහතාගේ ‘සිරි පැරකුම්’ චිත්‍රපටය අරභයා වූ ගිවිසුම් කාරණය ඊට වෙනස්ය. ඒ මහතා එම චිත්‍රපටය වෙනුවෙන් ඊ.ඒ.පී සමාගමෙන් ලබාගත් ණය මුදල හේතුවෙන් ගිවිසුමකට එළඹෙන්නට සිදු වූ අතර ඒ සමඟ චිත්‍රපටය ප්‍රදර්ශනය කර ගැනීමේ දින වකවානුද යොදා ගන්නා ලදී. රන් කෙවිට 02 චිත්‍රපටය සඳහා මා එම සමාගමෙන් ණය මුදලක් ලබා නොගත් නිසා ගිවිසුමකට එළැඹීමේ අවශ්‍යතාවයක් මට හෝ ඊ.ඒ.පී සමාගමට නොවීය.

2013 වසරේ ජනවාරි 01 වැනිදාට පෙර රැගුම් පාලක මණ්ඩලයෙන් අනුමත වූ අනුපිළිවෙළට චිත්‍රපට පෙන්විය යුතු බවට නීතියක් නොවූ හෙයින් බොහෝවිට සිදු වූයේ චිත්‍රපටය සිනමා ශාලාවල ප්‍රදර්ශනය කිරීමට ආසන්නයේදි රැගුම් පාලක මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමයි. එහෙයින් මීට දෙවසරකට පෙර සිටම රන් කෙවිට 02 චිත්‍රපටයේ වැඩ කටයුතු අවසන් කර තිබුණත් රැගුම් පාලක මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීම 2013 ට පෙර හදිසි කටයුත්තක් නොවීය. (සිරි පැරකුම් චිත්‍රපටය ද රැගුම් පාලක මණ්ඩලයේ ප්‍රදර්ශන අනුමැතිය ලබා ඇත්තේ එහි ප්‍රදර්ශනයට දින කිහිපයකට පෙරය.)

චිත්‍රපට මණ්ඩල පුද්ගලීකරණය අනුව චිත්‍රපටයක් තෝරා ගැනීමේ හා ප්‍රදර්ශනය කිරීමේ අයිතිය එම මණ්ඩලවල පවතින්නේ සදාචාරයටත් ඉහළින්ය. එයට අපට අභියෝග කළ නොහැක. රන් කෙවිට 02 චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට භාර ගෙන මට පොරොන්දු ලබාදුන් ප්‍රදර්ශන මණ්ඩලයෙන් ඉවත්කර ගනු ලැබුවේ ඔවුන් විසින් වරින්වර ගනු ලැබූ අවස්ථාවාදී තීරණ හේතුවෙන් මා ලැබූ සිත් වේදනාවෙනි. රන් කෙවිට 02 චිත්‍රපටය වෙනුවෙන් මා ගත කළ කාලය හා දැරූ වෙහෙස අපමණය. ‘ඉගිල්ලෙන්න ඇයි දඟලන්නේ’ චිත්‍රපටයෙන් පසුව රන් කෙවිට 02 සී.ඊ.එල් සහ රිත්මා මණ්ඩලයේ සිනමා ශාලාවල ප්‍රදර්ශනයට නියමිතව ඇති බව තවදුරටත් දන්වා සිටිමි.