වර්ෂ 2013 ක්වූ ජූලි 25 වැනිදා බ්‍රහස්පතින්දා




නිව් තියටර්ස් චිත්‍රපටයක සිංහල නළුවෙක්

නිව් තියටර්ස් චිත්‍රපටයක සිංහල නළුවෙක්

ඉන්දියානු සිනමා කතාව 26

ඉන්දියානු සිනමාව අද පවත්නා තත්ත්වය දක්වා වර්ධනය වීමේ දී කල්කටාවේ නිව් තියටර්ස් සමාගමේ සිනමාකරුවන්ගෙන් ලද පෝෂණය පිළිබඳ ලිවීමේ දී එහි තවත් වැදගත් සිනමාකරුවකු ලෙස පී.(ප්‍රේමතේශ්)සී.(චන්ද්‍ර) බරුවා (1903 ඔක්තෝබර් 24-1951 නොවැම්බර් 29) හඳුන්වා දිය හැක්කේය.ඔහු ජීවත් වූ කාලය වසර හතළිස් අටක් වුවත් සියවස් පිරුණ ඉන්දියානු සිනමාවේ දී ඔහු හඳුන්වා දිය හැක්කේ කෙසේද? ඒ ඔහු ඉන්දියානු සිනමා ජීවිතය කවියක් බවට පත් කළ බවය.

ඔහු සිනමාවට නැඟුණ බොහෝ චරිත ඔහු මෙන්ම විචිත්‍ර විය.ධනයෙන් ආඪ්‍ය විය.ඔහු නිර්මාණය කළ ’දේව්දාස්’ චිත්‍රපටයේ දේව්දාස් නම් ප්‍රධාන චරිතයත් ඔහුගේ ජීවිතයත් අතර බරපතළ වෙනසක් නොවීය.ඇසෑමයේ ගෞරිමාත් මහරාජාගේ පුතෙකු වූ ඔහු සුරතලයට ඇති කළේ ඇතෙකු සහ කොටියෙකි.වැඩිපුර වාහන නොතිබූ එකල ඔහුගේ අලුත්ම ස්පෝට්ස් මොටර් රථ නිරන්තරයෙන් කල්කටාවේ වීදි දිගේ ඉගිල ගියේය.කල්කටාවේ ප්‍රසිඩන්සි විදුහලේ විද්‍යා උපාධිධාරියකු වූ හෙතෙම 1926 වසරේ දී පැරීසියට ගියේය.

සිනමාව පිළිබඳ ඔහුගේ සිත ඇඳුණේ එහි කාලය ගත කරද්දීය.ලෝක සිනමා ඉතිහාසයේ මහා ඉහළින් වර්ණනා කරන ප්‍රංශ සිනමාකරුවන් අතර වූ රෙනේ ක්ලේ,අර්නස්ට් ලුබ්ට්ච් වැන්නන් සමඟ ඇසුරට වැටුණ ඔහු සිනමාවේ මූලික න්‍යායන් දැන ගත්තේය. පසුව ධිරෙන් ගංගුලිගේ බ්‍රිටිෂ් ඩොමිනියන් ෆිල්ම්ස් සමාගමට ආයෝජනයෙන් දායක වන බරුවා යළි ලන්ඩනයේ එල්සි චිත්‍රාගාරයට ගියේ සිනමාව පිළිබඳ වැඩි දුර ඉගෙන ගන්නටය. ඉන්දියාවට පැමිණි ඔහු ස්වරාජ් පක්ෂයේ අපේක්ෂකයකු ව ඇසෑමයේ ප්‍රාන්ත සභාවේ සාමාජිකයකු විය.

ඔහු 1928 වසරේ සිට 36 දක්වාම සිය අසුන රැක ගත්තේය.මේ අවදියේ සිය පියාගේ වතුයායවල් ඉන්දියානු චිත්‍රපට සඳහා පසුතල වෙනුවෙන් ලබාදුන් ඔහු තම මුල්ම සිනමා සමාගම ‘බරුවා පික්චර්ස්’ නමින් ආරම්භ කරන ලදී. එහි මුල්ම චිත්‍රපටය ‘අපරාදි’ නම් විය.

එහි ප්‍රධාන චරිතය ඔහු විසින් රඟපාන ලද අතර අධ්‍යක්ෂ දේබකී බෝස් විය.එහෙත් වැඩි කල් නොයාම සිය සිනමා සමාගම නිව් තියටර්ස් වෙත විකුණා දැමූ බරුවා ද එයට එක් විය.බරුවා නිව් තියටර්ස් සඳහා රංගනයෙන් පමණක් නොව අධ්‍යක්ෂණයෙන් ද ඔහු දායක විය.ඔහුගේ මුල්ම චිත්‍රපටය ‘රූප්ලේකා’ 1934 වසරේ නිර්මාණය කෙරිණ.

ඔහු ගේ ඊළඟ නිර්මාණය සඳහා තෝරා ගත්තේ දේව්දාස් නවකතාවයි.නවකතාවේ හරය පමණක් ගෙන එහි සියල්ල පසෙකට විසි කර දැමූ බරුවා නිර්මාණය කරන ලද දේව්දාස් කෙතරම් ඉන්දියානු සිනමාවට බලපෑමක් කළා ද කිවහොත් මේ වන විට ඉන්දියානු සිනමාවට වැඩිම වාර ගණනාවක් නැඟී ඇති නවකතාව ලෙස සලකනුයේ එයයි.අවම වශයෙන් දස වතාවක් වත් දේව්දාස් ඇසුරු කර ගත් සිනමා කෘති ඉන්දියාවේ බිහිව ඇත්තේය.

කොටින්ම ඉන්දියානු සිනමා ප්‍රේම වෘතාන්තවල ආදර්ශය බවට පත් වනුයේ දේව්දාස්ය. බරුවා විසින් ‘දේව්දාස්’ මුල් වරට සිනමාවට නැඟුවේ බෙංගාලි බසිනි. එහි දේව්දාස් ලෙස රඟපෑවේ ද ඔහුය .අනතුරුව ඔහු එය හින්දි බසින් සිනමාවට නංවද්දී ප්‍රධාන චරිතය කේ.එල්.සයිගාල් විසින් රඟන ලදී.

’දේව්දාස්’ කෘතියට පාදක වනුයේ සමින්දාර් වරයෙකුගේ පුතෙකු සහ අසල්වැසි දිළිඳු තරුණියක අතර ඇති වන ආදරයයි.දේව්දාස් මේ ධනවත් තරුණයා වන අතර පාර්වතී හෙවත් පාරෝ එම දිළිඳු තරුණියයි. කල්කටාවේ ඉගෙනුම ලබා ආපසු එන දේව්දාස්ට තම ළමා වියේ මිතුරිය ගේ ආදරය අහිමි වෙයි.

ඒ ඇගේ මව්පියන් ඇයව ධනවත් බිරිය මියගිය සැමියෙකුට සරණ පාවා දෙන බැවිනි. එයින් සිත් බිඳී යන දේව්දාස් මිය යන මොහොතේ හෝ ඇය යළි හමුවන්නෙ මැයි සපථ කොට කල්කටාවට පෙරළා යන්නේ සියලු යස ඉසුරු පසෙකට දමමිනි.ඔහු එහිදී චන්ද්‍රමුඛී නම් කාරුණික ගණිකාවකගේ ඇසුරට වැටෙයි.එහෙත් අධික ලෙස මත්පැනට ගොදුරු වන ඔහු සිය ජීවිතයේ අවසන් මොහොතේ පාරෝ සොයා පිටත් ව යයි.

ඒ සිය හිතවත් සේවකයා වන ධර්මදාස් සමඟය.බරුවා සිය චිත්‍රපටය නිර්මාණය කරනුයේ තමන්ගේ ම විලාසිතාවටය. එය භාවාතිශය ඉස්මතු කරන්නක් වන නමුත් ඔහු එම චරිත ඛේදාන්තයක් බවට පරිවර්තනය කරනුයේ ඉතා සියුම් චරිත හැසිරවීමකිනි.එහි වීරයන් හෝ දුෂ්ටයන් නොවීය.

සිටිනුයේ සාමාන්‍ය පිරිමි සහ ගැහැනුන් ය.මේ ආදරය සර්වකාලීන එකකි.දේව්දාස් සහ සිය පවුල,චන්ද්‍රමුඛී,පාරෝ සහ ධර්මදාස් ආදීන් සමඟ පවත්වන සබඳතාවයන් බරුවා ඉස්මතු කරනුයේ මානුෂිය සබඳතාවන් අදාළ කොට ගනිමිනි.එමෙන්ම මේ කතාන්තරය අතර ඔහු ආර්ථික විෂමතා හා සමාජ සබඳතා ද කදිමට ගෙන හැර පෑවේය. පසුකලෙක බොහෝ සිනමාකරුවන් ‘දේව්දාස්’ සිනමාවට නැඟුව ද ඒ හැම විටම ගුරු කොට ගත්තේ අදාළ නවකතාවට වඩා පී.සි.බරුවා විසින් නිර්මාණය කරන ලද චිත්‍රපටයයි.

ඔහු චිත්‍රපටය පුරාම සිය නළු නිළියන් මෙහෙය වන ලද්දේ ඔවුන්ට පුරුදු අධි රංගනයට ඉඩ නොදෙමිනි. එය ඉන්දියානු සිනමා රංගනයට අලුත් විලාසිතාවක් විය.

එවකට බෙංගාලි සිනමාවේ ජනප්‍රියම නිළිය වූ කනන් දේවි චරිතය ප්‍රතික්ෂේප කළ හෙයින් හින්දි චිත්‍රපටයේ දී රාජ්කුමාරි ද බෙංගාලි චිත්‍රපටයේ දී චන්ද්‍රබායි දේවි ද චන්ද්‍රමුඛී චරිතය නිරූපණය කළහ.පාරෝගේ චරිතය චිත්‍රපට ද්විත්වයෙහිම නිරූපණය කරන ලද්දේ එයින් පසු බරුවාගේ භාර්යාව වූ ජමුනා විසිනි.දේව්දාස් චිත්‍රපටයේ දෙබස් ඉතා කෙටි විය.එමෙන්ම එය උච්චාරණය කරන ලද්දේ ද ඉතා හෙමිනි. මේ රටාව පසු කලෙක බොහෝ බෙංගාලි චිත්‍රපට සඳහා ආදර්ශයක් විය.

බොම්බේ ක්‍රොනිකල් සඟරාව පවසන පරිද්දෙන් දේව්දාස් හින්දි සිනමාව පිළිබද අග්‍රගණ්‍ය දායකත්වයක් ලබා දුන් චිත්‍රපටයක් විය.එය එකල පවා මිනිසුන් දෙතුන් වර නරඹන ජාතියේ චිත්‍රපටයකි.’මන්සිල් (1936)’ බරුවාගේ ඊළඟ නිර්මාණය විය.එයද සරත්චන්ද්‍ර චැටර්ජිගේ නවකතාවක් වූ ග්‍රිහාද් පාදක කර ගත්තකි.මහිම් හා ඔහුගේ බිරිය අචලා ද ඔහුගේ මිතුරු සුරේෂ් මෙහි පාත්‍ර වර්ගයා විය.මහිම් ලෙස බරුවා ද අචලා ලෙස ජමුනා ද රඟපෑ එහි සුරේෂ් වූයේ ප්‍රීතිවිරාජ් කපූර්ය.තුන් කොන් පෙම් පුවතක් වන මෙහි අවසානයේ මහිම් දිවි නසා ගනියි.

චිත්‍රපටය නිමවනුයේ අචලා තනි වීමෙනි.1937 වසරේ තැනුණ බරුවාගේ ‘මුක්ති’ චිත්‍රපටයට ඒ නම තබන ලද්දේ රබින්ද්‍ර නාත් තාගෝරයන්ය.ඒ සඳහා පාදක වනුයේ චිත්‍ර ශිල්පියකු සහ ඔහුගේ භාර්යාව පිළිබඳ කතා පුවතකි.’මුක්ති’ රූ ගත කරන ලද්දේ බරුවාට බොහෝ හුරු පුරුදු ඇසෑමයේ වනාන්තර පෙදෙස්වලය.ඔහුට වඩාත් ළංවූ විචිත්‍ර ධනවත් පවුල්වල අභ්‍යන්තර ඛේදවාචකය පරිසරයද උපයෝගි කොටගෙන සිනමාවට නගන්නට හේ සමත් විය. 1938 වසරේ ඔහු නිර්මාණය කළ ‘අදිකාර්’ පුවත්පත් කලාවේදී සංගමය මගින් වසරේ විශිෂ්ටතම චිත්‍රපටය ලෙස තෝරා ගන්නා ලදී.

වාමාංශික සිනමා විචාරකයෝ බරුවාගේ මේ චිත්‍රපටය ඉතා ඉහළින් අගය කළහ.එයට පාදක වනුයේ ධනවතෙකු ගේ අවජාතක දියණියක් සහ ඇගේ නීත්‍යානුකුල දියණිය අතර අරගලයයි.අවජාතක දියණිය හැදී වැඩෙනුයේ පැල්පතකය.එහෙත් බරුවා සිය චරිත දේශපාලන චරිත බවට පත් කළේ නැත. එමෙන්ම ඔහුගේ කිසිදු චරිතයක් සහමුලින් සුදු හෝ සහමුලින් කළු වූයේ ද නැත.මේ චිත්‍රපටයේ චරිත පිළිබඳ විනිශ්චය ඔහු ඉතා සියුම් ලෙස ප්‍රේක්ෂකයා අතරට පත් කළේය.ඔහු නිව් තියටර්ස් වෙනුවෙන් අවසන් වරට නිර්මාණය කරන ලද්දේ 1940 වසරේ තිර ගත කළ’ සින්දගී’ නම් චිත්‍රපටයයි.ආලෝකය සහ අඳුර ඔහු එහි දී සිනමා කෘතියට කදිම අන්දමින් භාවිත කළේය. උපාධිධාරි රැකියා වියුක්ති තරුණයකු සහ ඔහුට පිහිට වන විවාහක ස්ත්‍රියක අතර ඇති වන ආදරයක් එයට පාදක විය.

ඔහු නවාතැන් ගෙන සිටින නිවසේ හිමිකාරිය ඇය වන අතර ඇගේ සැමියාගේ අභිලාෂය වනුයේ ඔහු නිවසින් පන්නා දැමීමයි.දේව්දාස් චිත්‍රපටයෙන් පසු සයිගාල් සහ බරුවා එක් වූයේ ‘සින්දගී’ චිත්‍රපටයේය. එහි බිරින්දෑගේ චරිතය නිරූපණය කරන ලද්දේ ජමුනා විසිනි.සමාජ පද්ධති දෙකක් සහ හර පද්ධති අතර වෙනස බරුවා එවර සිනමාවට නැං වූයේය. පසු කලක විශිෂ්ට සිනමාකරුවකු සහ තිර රචකයකු වන කේ.ඒ .අබ්බාස් බරුවාගේ චිත්‍රපට පිළිබඳ මෙසේ සටහන් කරයි. ඒ චරිත ජීවිතය පිළිබඳ අනේක විධ බලාපොරොත්තු තබා ගන්නා ,බැලූ බැල්මට සියලු යස ඉසුරින් පිරුණ ද තනිකම වෙලාගත් සහ අපේක්ෂා භංගත්වයෙන් යුත් චරිත වෙයි. එමෙන්ම ඔවුන්ගේ නොසිතූ ඛේදවාචක එහි පොදු ලක්ෂණයක් බැව් පෙන්වා දෙයි.එමෙන්ම මේ අභාග්‍යයන්ට මුහුණ දෙන මිනිසුන් කිසිවකු හෝ නරක මිනිසුන් නොවේ.ඔහුගේ චිත්‍රපටයන්හි කිසි විටෙකත් නරක මිනිසුන් සිටියේ නැත.ඔවුන් සාමාන්‍ය මිනිසුන්ය.එ?මෙන්ම ඔවුහු ජීවිතයේ සැප ද දුක ද දරති.බරුවා ඔවුන් ඉතා සියුම් ආකාරයට අභාග්‍යය සම්පන්න ඉරණමේ ප්‍රතිඵලයක් ලෙස කෲර මරණයකට ගොදුරු කරයි.

මේ චරිත බොහෝ වැඩිහිටියන් අතීත කාමයෙන් මත් කරවන සුළු අතර යෞවනයෝ එය තමන්ට ආරෝපණය කර ගැනීම විලාසිතාවක් කර ගනිති.බරුවා සිය චරිත ගොඩ නැංවීමේ දී ඉතා විශිෂ්ට මනෝභාවයන් ග්‍රහණය කර ගත්තේය.පසු කලෙක බිමල් රෝයි,මනි කෞල්,ගුරු දත් සහ රාජ් කපූර් යන සිව් දෙනාම ස්වකීය චරිත ගොඩ නැංවීමේ හා විලාසයේදී අත්පොත් කර ගත්තේ පී.සී.බරුවා බැව් ප්‍රවීණ සිනමා විචාරක චිදානන්ද දාස්ගුප්ත පෙන්වා දෙයි.දාස්ගුප්ත හඳුන්වා දෙන අන්දමට බරුවා ඔහුගේ චිත්‍රපට සියල්ලේම තිර නාටක රචකයා විය.රූප රාමු නිර්මාණයේ සිට නළු නිළියන්ගේ රංගන පරාසය දක්වා ඔහු දැඩි පාලනයක් ගෙන ගියේය. සිනමාව සාමූහික කාර්යයක් වුව ද බරුවාගේ චිත්‍රපටයන්හි දී සෙසු ශිල්පින්ට වූයේ ඔහුට සහාය දීම පමණකි. ඒ බරුවා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සිනමා අධ්‍යක්ෂවරයෙක්වීම යැයි චිදානන්ද දාස්ගුප්ත සඳහන් කරයි.එමෙන්ම ඔහු ලෝකයේ මහා කලා සම්ප්‍රදායන් ඇසුරු කළ දැනුම් සම්භාරයකින් යුක්ත වූවෙකි.මේ චිත්‍රපට සිද්ධාන්ත ඔහු සාමාන්‍ය ප්‍රේක්ෂකයා සිනමාහල් වෙත ගෙන ඒමේ මගක් ලෙස අත් දුටුවේය.

නිව් තියටර්ස් සමාගමෙන් ඉවත්වීමෙන් පසු බරුවා ස්වාධීන සිනමාකරුවකු ලෙස කටයුතු කළේය. ඔහු සඳහා ආයෝජනය කරන්නට බොම්බායේ බොහෝ ව්‍යාපාරිකයන් ආරාධනා කළ ද ඔහු ඒ පිළිබඳ තැකීමක් කළේ නැත. කෙසේ වෙතත් අනතුරුව ඔහු නිර්මාණය කරන චිත්‍රපට අතරින් වඩාත් අවදානයක් දිනා ගන්නේ ශාප් මුක්ති සහ ශේෂ් උත්තර් යන චිත්‍රපට යුගලයයි. මේ චිත්‍රපට ඔහු නිව් තියටර්ස් වෙතින් ඉවත් වූ සමයේම නිර්මාණය කළ ඒවාය. දේව්දාස් මෙන් ඉතා සුඛෝපභෝගී ජීවිතයක් ගත කළ හෙතෙම ඒ විලාසයෙන්ම මත්පැනට ඉතා ලොල් වූවෙකි. එබැවින්ම රෝගාතුර වූ ඔහු සිය මව්පියන් විසින් ලන්ඩනයේ සහ ස්ව්ට්සර්ලන්තයේ ඉහලම රෝහල්වලට ඇතුළත් කළ ද අකල් මරණයෙන් ගලවා ගත නොහැකි විය. ඔහුගේ චිත්‍රපට සියල්ලේම පාහේ රඟපෑ පසුකලෙක ඔහුගේ බිරිඳ බවට පත්වූ ජමුනා ගුප්තා අග්‍රාහි ගැමියකුගේ දියණිය වූවාය.ඉන්දියානු කතානාද සිනමාවේ මුල් වරට දේව්දාස්ගේ හද දිනූ පාරෝ හෙවත් පාර්වතී වූයේ ඇයයි.

එය ඇගේ මුල්ම චිත්‍රපටය ද විය.පසුව බරුවා නිසා ඇයට දරුවන් තිදෙනෙකු ලැබිණ.ඔහු මිය යනුයේ ඇයට තිස් තුන් හැවිරිදි වියේ දීය.සැමියාගේ මරණයත් සමඟ ඇය සිනමාවෙන් සමු ගත්තාය.බරුවාගේ වංශවත් පවුලේ සාමාජිකයෝ ඇය හා දරුවන් පිටු දැක්කාහ.සැමියාගේ උරුමය ඉල්ලා සටන් කරන්නට ඇයට සිදුවිය.අවසානයේ දරුවන්ගේ නඩත්තුවට මුදලක් සහ බරුවාගේ නිවස මහරාජා පවුලෙන් ඇයට හිමි විය.පී.සී.බරුවාගේ ජන්ම සත සංවත්සරය වෙනුවෙන් ඇසෑම් ප්‍රාන්තය පැවැත්වූ උළෙල සදහා සහභාගි වූ ඇය ඉන් දෙවසරකට පසු මෙලොව හැර ගියාය.

මෙයට පෙර ද සඳහන් කළ නිතින් බෝස් නිව් තියටර්ස් සමාගමේ තවත් සිනමාකරුවෙකු විය. ඔහු සිය පියා වෙතින් කුඩා ප්‍රමාණයේ සිනමා කැමරාවක් තෑගි ලබා ගන්නේ දොලොස් හැවිරිදි වියේ උපන් දිනයකටය. ඒ රුපියල් 165ක් වැනි ඉහළ මිලකටය. කැමරාව හූටන් බුචර් වර්ගයේ එකකි.මේ කැමරාව ලැබුණු පසු එය තම කොට්ටය අසල තබාගෙන රැය නිදිවැරූ අන්දම පසුකලෙක නිතින් සිහිපත් කර තිබිණ. ඔහුට දැනී තිබුණේ කැමරාව යනු තමාගේ නිවුන් සහෝදරයකු වැනි හැඟීමකි.පසුකලෙක නිව් තියටර්ස් වෙත කැමරා ශිල්පියකු ලෙස දායක වන ඔහුගේ මුල්ම චිත්‍රපටය වූයේ හින්දි බසින් තැනුණ ‘චන්දිදාස්’ය. අනතුරුව තැනුණ ද ප්‍රෙසිඩන්ට්,දුෂ්මන්,ධර්තිමාතා ඔහු සිනමාකරුවකු ගේ නම ඉදිරියට ගෙන ගියේය. ඔහුගේ චිත්‍රපට තේමා කර ගත්තේ ප්‍රේමයයි.

ඔහුගේ ආදර වෘත්තාන්ත බෙහෙවින් හැඟීම් බර වූ අතර ගස් වැල් වටා නටමින් ප්‍රේම කිරීම එහි දක්නට නොවීය.’ ප්‍රෙසිඩන්ට්’ චිත්‍රපටයට පාදක වනුයේ ධනවත් ඇඟලුම් කර්මාන්ත ශලා හිමිකාරියක සහ එහි මෝස්තර නිර්මාණ කරු අතර ඇති වන ආදර කතාවකි. එයට බාධා වනුයේ ඇගේ නැගණිය ද ඔහුට පෙම් කරන බැවිනි.ඔහු කැමරාව මෙහෙය වූයේ එහි සංස්කරණ රීතිය පිළිබඳ සැලකිලිමත් වෙමිනි.ඔහුගේ ‘ධර්තිමාතා’ චිත්‍රපටය ඉඩම්හිමියන් ඔවුන්ගේ සහචරයන් හා එයින් පීඩාවට පත් වන ගොවීන් අතර කතාන්තරයකි. එය සහමුලින්ම සමකාලීන රුසියානු සිනමාවේ ආභාෂය ලබමින් තැනුණකි. ලගාන් (1941) සහ කාශිනාත් (1943) ඔහු නිව් තියටර්ස් වෙනුවෙන් තනන ලද අවසන් චිත්‍රපට විය.ඒ වනවිට සිනමාකරුවන් පමණක් නොව සිනමා තාරකාවන් ද කල්කටාවේ ජීවත් වන වාට වඩා බොම්බාය හා සෘජුවම සම්බන්ධ වී තම ඉරණම සොයා ගැනීමට තීරණය කරමින් සිටි යුගයයි.මේ අතර වාරයේ නිව් තියටර්ස් අධිපති ශර්කාර් සහ නිතින් බෝස් අතර මතබේද ඇතිවිණ.නිව් තියටර්ස් ගොඩනැඟීමේ දී ද නිතින් හවුල්කරුවකු ව සිටියේය. ඔහු අනතුරුව බොම්බායට ගියේ බොම්බේ ටෝකිස් සමාගම සමඟ එක්වෙමිනි.එහිදී තාගොර් ගේ නව්කාබි නවකතාව ඇසුරෙන් හෙතෙම ‘මිලාන්’ නිර්මාණය කළේය. එහි ප්‍රධාන චරිතය රඟපෑවේ දිලිප් කුමාර්ය.දිලිප් සහ නිතින් එක්වීමෙන් පසුකාලීන ව ජනප්‍රිය චිත්‍රපට රැසක් නිර්මාණය විය.’ගංගා ජම්නා,දීදාර්’ ඒ අතරින් කැපි පෙනෙයි.’කපාල් කුන්දලා,පරිචේ,දාර්ද් ඊ දිල්,මෂාල්.වාරිස්,කත්පුත්ලි‘ ඔහුගේ සෙසු ජනප්‍රිය චිත්‍රපට විය.ඔහුගේ අවසන් චිත්‍රපටය සමන්තා 1972 වසරේ දි තිරගත කෙරිණ.නිතින් බෝශ් 1986 වසරේ මිය යනවිට බිරිඳ ශාන්ති මෙන්ම දියණියන් දෙදෙනෙකු සහ මුණුපුරන් සත් දෙනෙකු ඔහු සමීපයේ විය.

සිනමා චිත්‍රාගාර පැවැත්මෙහි ලා නිර්මාණශීලී අධ්‍යක්ෂවරුන් අත්‍යවශ්‍යය සාධකයක් විය.ඔවුහු චිත්‍රාගාර ඇතුළත දී සිනමා තාරකාවන්ටත් වඩා බලවත් වූහ. පුරෝගාමී නිව් තියටර්ස් සිනමාකරුවන් එයින් වෙන්ව යද්දී තවත් සිනමාකරුවන් කිහිප දෙනෙක්ම හඳුන්වාදීමට නිව් තියටර්ස් සමාගමට හැකිවිය.මේ අතරින් සමහරුන්ගේ හැකියාවන් එහි පාලකයන් හඳුනාගනු ලබනුයේ එහිම සේවකයන් ලෙස කටයුතු කරද්දීය. නිව් තියටර්ස් ඉදිරි පැවැත්මට දායක වූ එබඳු සිනමාකරුවන් කිහිප දෙනෙකු ද මෙහිලා සදහන් කළ යුතය.ඒ හේම්චන්ද්‍ර,පානි මජුම්දර්,බිමල් රෝයි,සුබෝද් මිත්‍ර,සෞමන් මුඛෝපාධ්‍යය,මධු බෝස්,කාර්තික් චත්තෝපාධ්‍ය සහ අමර් මලික් ය.හේම්චන්ද්‍ර යනු ප්‍රෆුල්ලා රෝයි සහ ප්‍රේමන්කූර් අතෝර්ති ගේ සහාය අධ්‍යක්ෂ ලෙස සිනමාවට පිවිසුනෙකි.හේම්චන්ද්‍රගේ මුල්ම චිත්‍රපටය 1936 වසරේ තිරයට නැඟුණ ‘ක්‍රෝර්පති’ විය.ඔහුගේ චිත්‍රපට දැඩි හාස්‍ය රසයෙන් යුත් ඒවා විය.අස්රම්(1937) සහ ජවානි කී රීත්(19?39) සහ බිෂ්ණුප්‍රියා(1949) හේම්චන්ද්‍රගේ චිත්‍රපට අතර කැපී පෙනෙයි.

අමර් මලික් නිව් තියටර්ස් සමාගමේ නිෂ්පාදන අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළේය.ඔහුගේ මුල්ම අධ්‍යක්ෂණය වූයේ ‘බඩී දිදී’ චිත්‍රපටයයි.අභිනේත්‍රි,බිරජ් බෝ,ඔහු සමාගම වෙනුවෙන් නිර්මාණය කළ චිත්‍රපට අතර කැපී පෙනෙයි.පසුකලෙක ඔහු තමාගේම ඒ.එම් ප්‍රඩක්ෂන්ස් ආයතනය පිහිටුවා ගත්තේය.නිව් තියටර්ස් වෙනුවෙන් ඔහු නිර්මාණය කරන ලද ‘බඩී දිදී’ අති සාර්ථක චිත්‍රපටයක් විය.එයට පාදක වනුයේ සරත්චන්ද්‍ර චැටර්ජිගේම නවකතාවකි. ගුරුවරයෙක් සහ වැන්දඹුවක අතර ඇති වන ආදර කතාවක් එයට ඇතුළත් විය. මේ ආදරය සමකාලීන සමාජය විසින් නො ඉවසන ලද්දකි.

පානි මජුම්දර් බරුවාගේ සහායකයකුව සිනමාවට පිවිසෙන්නකි.පසුව ඔහු 1938 වසරේ දී නිර්මාණය කරනු ලබන ස්ට්‍රීට් සිංගර් චිත්‍රපටය සයිගාල්ගේ අති සාර්ථක චිත්‍රපටවලින් එකකි.පසු කලෙක ඔහු ද ලක්ෂ්මි පික්චර්ස් සහ බොම්බේ ටෝකිස් සමාගම සමඟද චිත්‍රපට නිර්මාණයෙහි යෙදුණි. පසුකලෙක ජනප්‍රිය සිනමාකරුවකු වන ශක්ති සමන්තා සිනමාවට පිවිසෙනුයේ පානි මජුමීදර්ගේ සහාය අධ්‍යක්ෂවරයා වශයෙනි.බිමල් රෝයි ගේ සිනමාව මේ ලිපි මාලාවේ විශේෂ අවධානයක් දිනා ගන්නා බැවින් මෙහි ඔහු පිළිබඳ මම වැඩිදුර සදහන් නොකරමි.බිමල් රෝයිගේ මුල්ම චිත්‍රපට සියල්ල ඔහු විසින් අධ්‍යක්ෂණය කරනුයේ නිව් තියටර්ස් වෙනුවෙනි. ඔහුගේ මුල්ම චිත්‍රපටය ‘උදයර් පාතේ’ය.ඒ තිරගත වූයේ 1941 වසෙර්ය.අපේ සිනමාවේ සුපිරි සිනමා නළුවක්ව සිට නැසී ගිය හර්බි සෙනෙවිරත්න සිනමාවට පිවිසියේ නිව් තියටර්ස් චිත්‍රපට සමාගම මගින් නිපදවන ලද එම චිත්‍රපටයෙන් බැව් ඔහු සරසවිය සමඟ කළ සංවාදයකදී මා සමඟ පැවසුවේය.

එහෙත් අනුක්‍රමයෙන් නිව් තියටර්ස් සමාගම ද අභාවයට ගියේය. එයට වඩාත්ම හේතු වූයේ එහි සිටි නිර්මාණශිලී සිනමාකරුවන් සියල්ල එයින් ඉවත් වයාමයි. නිතින් බෝශ් වෙන්ව ගියේ තනිවම නොවේ.ඒ සමඟ චිත්‍රාගාරයේ සිටි අති දක්ෂ කාර්මික ශිල්පින් රැසක් ද නික්ම ගියහ.නිව් තියටර්ස් කල්කටාව කේන්ද්‍ර කොට ගත්තත් එය සටන් වැදුණේ සමස්ත ඉන්දියාවේම චිත්‍රාගාර සමඟය.ඒ වන විට බොම්බාය ඉන්දියානු සිනමාවේ අගනුවර වෙමින් පැවතිණ.එබැවින් නිව් තියටර්ස් සමාගමට හුදකලා සටනක යෙදීම පහසු නොවීය.නිර්මාණශීලි මිනිසුන්ගේ වෙන්වීමත් සමඟ එහි පරිහානිය ද වේගවත් විය.එ?හි සිටි ජනප්‍රියම සිනමා නිළිය සහ ගායිකාව වූයේ කනන් දේවි (1916.04.22-1982.07.17)ය.

ඇය බෙංගාලි සිනමාවේ මුල්ම සිනමා තාරකාව වූවාය.ඉතා දිළිඳු දැරියකව මදාන් තියටර්ස් සමාගමට දස හැවිරිදි වියේදී එක් වන ඇය පසුව නිව් තියටර්ස් සමාගම සමඟ එක්වීමෙන් පසුව සුපිරි නිළියක වන්නීය.’දේව්දාස්’ චිත්‍රපටයේ රඟපෑම ප්‍රතික්ෂේප කිරීම ඇය පසුකාලීනව පශ්චත්තාපයට පත් වූ කරුණක් විය.අල්ලා රක්ඛා යටතේ මෙන්ම රබින්ද්‍ර සංගීතය ද ඇය මැනවින් හදාරා සිටියාය.

ඇයගේ මුල් විවාහය වූයේ බ්‍රාහ්මණ වංශවතෙක් වූ අශොක් මයිත්‍රා සමය. ඔහුගේ පාර්ශවය එම විවාහය තදින් ප්‍රතික්ෂේප කළ ද මහා කවි රබීන්ද්‍ර නාත් තාගෝරයන් එම මංගල්‍යයට සහභාගි විය.විවාහයෙන් පසු සිනමාව අත හැර දැමීමට ඇය එකඟ නොවූවාය.ටික කලකින් ඇගේ විවාහය දෙදරා ගියේ එබැවිනි.පසුව ඇය හන්දාස් බට්ටාචාර්ය නම් නාවික නිලධාරියකු සමඟ විවාහ වූවාය.ශ්‍රීමති පික්චර්ස් නමින් තමන්ගේම නිෂ්පාදන සමාගමක් අරඹන ලද ඇය සිනමාවෙන්පසු කලෙක සමු ගත්තාය.දිගු කලක් කල්කටා මහිලා සමිතියේ සභාපති පදවිය හෙබවූයේ ද ඇයයි.

කෙසේ වෙතත් සිනමා ප්‍රදර්ශන චිත්‍රපට ප්‍රමිතිය ආදියේ දී ඉන්දියානු සිනමාව ගුරු කොට ගත්තේ නිව් තියටර්ස් ගොඩ නගන ලද සම්ප්‍රදායන්ය. කතානාද සිනමාව ඇරඹීමේදී නිව් තියටර්ස් ගුරු කොට ගත්තේ කුමක් හෝ ශබ්ද එක් කොට ගැනීම නොව හරවත් සිනමාවක් බිහි කිරීමය.එයින් බිහි වූ සිනමා ශිල්පින් අතර සිටි සයිගාල්,ප්‍රීතිවිරාජ් කපූර්,ලීලා දේසායි.වැනි නළු නිළියන් ද එහි බිහිවූ සිනමා තාක්ෂණ ශිල්පීන් ද පසුකලෙක ඉන්දියානු සිනමාවට ආලෝකයක් ගෙන දුන්නේය.

1931 වසරේ සිට 1950 වසරේ දී චිත්‍රගාරය වැසෙන කාලය දක්වා එය චිත්‍රපට එකසිය පනහක් නිපද වූයේය. ඒ හින්දි සහ බෙංගාලි බසිනි. සමාගම වැසූ පසු ද බිරේන්ද්‍ර නාත් සිර්කාර් සිනමාව සමග සම්බන්ධතා පවත්වා ගෙන ගියේය.පසු කලෙක ඉන්දියානු චිත්‍රපට සංවර්ධන සංස්ථාවේ සභාපති පදවියට ඉන්දියානු රජය මගින් හෙතෙම පත් කරන ලදී.ඉන්දියානු සිනමාව වෙනුවෙන් පිරි නැමෙන ඉහළම සම්මානය වන පාල්කේ සම්මානයෙන් ද සිර්කාර් පුදම් ලබනුයේ නිව් තියටර්ස් ගොඩනඟා ඉන්දියානු සිනමාවට ඔහු කළ මෙහෙය වෙනුවෙනි.1980 නොවැම්බර් 28 වැනි දින ඔහු මෙලොව හැර යන විට නිව් තියටර්ස් සමාගමේ චිත්‍රපට අතරින් ආරක්ෂා වී තිබුණේ කිහිපයකි.