|
ඔළුව ජපන් කඳ ජර්මන් සමඟ අපේ ‘කමිං සූන්’ විත්තිය
2013 වසරේදී සිංහල රිදී තිරය මත දිග හැරීමට නියමිත දිනේෂ් ප්‍රියසාද්ගේ 17 වන චිත්‍රපටය වන ‘ඔළුව ජපන් කඳ ජර්මන්’ වර්ණ සිනමාපටය සඳහා නවතම මාදිලියේ පූර්ව ප්‍රචාරක පටයක් නිර්මාණය කොට ඇත. ශ්‍රී ලාංකේය පවුල් සංස්ථාවේ කාන්තාවත් - පුරුෂයාත් අතර වන අරගල, හැලහැප්පීම්, ගැටුම් - නැටුම් පිළිබඳ කියැවෙන ‘ඔළුව ජපන් කඳ ජර්මන්’ නම් නවතම සිනමා පටය FEMALE FORMAT වර්ගයේ චිත්‍රපටයක් ලෙසින් හැඳින් විය හැක. ප්‍රකට, විශිෂ්ට ගණයේ නළු ත්‍රිමූර්තියක් වන ගාමිණී ෆොන්සේකා - අමිතාබ් බච්චන් සහ ශෝන් කොනරි රඟපාන චලන රූප පෙළක් මෙම ට්‍රේලර් පටයට භාවිත කොට ඇත. ඒ තරු ත්‍රිමූර්තියේ මිදුණු රූපය මත - සෝමපාල ලීලානන්දගේ වචන – අරුන් ඩයස් බණ්ඩාරනායකගේ හඬින් . . . මේ චිත්‍රපටයේ රඟපෑමට නියමිතව තිබුණේ මේ විශිෂ්ට සිනමා තරු ත්‍රිමූර්තියයි . . . ‘ඔළුව ජපන් කඳ ජර්මන්’ පූර්ව ප්‍රචාරක පටය එතැනින් ආරම්භ වෙයි.
අවුරුදු 118 ක් තුළ නොකඩවා, වෙනස් නොවී - ලෝක සිනමාව භාවිත කළ සිනමා රූප – රාමුවල
ක්‍රමවේදය සහ යකඩ ගොඩේ දුවන සෙලියුලොයිඩ් පටයේ අවසන් අදියර මෙම වකවානුව බව ‘ඔළුව
ජපන් කඳ ජර්මන්’ ප්‍රචාරක පටය අවසානයේදී නරඹන්නාට හැඟී යනු නිසැකය. අභ්‍යවකාශ තරණය වෙනුවෙන්, උත්පාදනය කරමින් ප්‍රගුණ කළ ඩීජිටල් සිනමා ක්‍රමවේදයේ හාස්කමත් – පහසුවත් – ආශිර්වාදයත් ලොව හොලිවුඩ් සිනමා කර්මාන්තයට එන්නත් කිරීමටත් ප්‍රථම අප හෙළවුඩ් සිනමා කර්මාන්තයේ ජනප්‍රිය මෙන්ම විශිෂ්ට ගණයට පාත්‍ර ව සිංහල සිනමා පට ගණනාවක් සඳහා කිසිදු ඩිජිටල් උපක්‍රමයක් ලොව සිනමා කර්මාන්තයක නොතිබූ යුගයක – නවීන මුහුණුවරකින් යුත් දෘෂ්ටි ප්‍රයෝග දර්ශන ඇතුළත් මනස්කාන්ත පූර්ව ප්‍රචාරක පට නිර්මාණය කිරීමට අප සිනමාකරුවන් උත්සුක වූයේ ගිවන්ත අර්ථසාද් සහ දිනේෂ් ප්‍රියසාද් යන දෙසොහොයුරන් විසින් 1976 දී මෙරට දීම නිෂ්පාදනය කළ විශේෂ දර්ශන ප්‍රයෝග මුද්‍රණ යන්ත්‍රයේ බලමහිමයෙන් කළ හැකි හාස්කම පාදක කර ගනිමිනි. ටයිටස් - ගාමිණී – ආනන්දන් වැනි කෘතහස්ථ සිනමාවේදින්ගේ විධානයට යටත්ව, සිනමාවට පා තැබූ දිනේෂ් ප්‍රියසාද් නම් සිනමා තාක්ෂණික ශිල්පියා දේශීය සිනමා කර්මාන්තයේ එකම එක දර්ශන ප්‍රයෝග ශිල්පියා වශයෙන් සිනමා කෘතිවලට මෙන්ම, ඊටත් වඩා පූර්ව ප්‍රචාරක පට කෙරෙහි විශේෂ සැලකිල්ලක් දක්වමින්, තම කාර්යභාරය විශිෂ්ට අන්දමින් ඉටු කර ඇති බව සඳහන් කළ යුතුය. මෙරට සිනමාවේ මුල්ම ට්‍රේලර් පටය නිර්මාණය වූයේ 1953 තැනුණු ‘සුජාතා’ චිත්‍රපටයටය. එතැන් පටන් තැනුණු බොහෝ චිත්‍රපට ට්‍රේලර්, චිත්‍රපටයේ සම්පූර්ණ කතාවම කෙටියෙන් කියාපෑමක් විය.
1986 දී තිරගත කළ සිංහල සිනමා වංශ කථාවේ 622 වැනි චිත්රපටය වන දිනේෂ් ප්‍රියසාද් විසින්ම අධ්‍යක්ෂණය කරන ලද ‘පෙරළිකාරයෝ’ සහ 1995 තිරගත කළ 804 වැනි චිත්රපටය වන ‘දෙමෝදර පාලම’ සිනමාපට ද වෙනුවෙන් නිර්මාණය කොට නරඹන්නන්ගේ සිත්සතන් වශීකෘත කරවමින් තිරගත කළ අපූරු පූර්ව ප්‍රචාරක පට තවමත් ප්‍රේක්ෂක මනසේ රැඳී ඇති බවට සැක නැත.
ඉන් බොහෝ කලකට පෙර – මහා සිනමාකරු ටයිටස් තොටවත්ත විසින්, 1965 මාර්තු 18 දා තිරගත
කළ ‘චණ්ඩියා’ චිත්‍රපටය වෙනුවෙන් සිංහල රිදී තිරය මත පළමු වරට ‘ටීසර්’ පටයක් දිග
හැරිණ. එහි කාලය තත්පර 30 කි. ‘චණ්ඩියා’ චිත්‍රපටයේ රූප රාමු පෙළක් තිරගත වෙමින්
තිබියදී තත්පර 10 – 12 කින් සෙලියුලොයිඩ් පටය කැඩී තිරයෙන් ඉවතට විසි වී යන අයුරුත්
– ඒ සමඟ කෝප වූ සිනමාහලේ නරඹන්නන් හූ හඬ දෙන අයුරුත් ප්‍රේක්ෂකයාට ජීවමාන නවමු
අත්දැකීමක් විය. මොහොතකින් රිදී පාටින් බැබළෙන රිදී තිරය පසාරු කරගෙන ඉදිරියට එන කිණිස්සකි. එහි ආධාරයෙන් තිරය දෙපළු කරගෙන ‘චණ්ඩියා’ හෙවත් ගාමිණී ෆොන්සේකා ප්‍රේක්ෂක ජනතාව අබියසට ප්‍රවිෂ්ට වන්නේ ද කිණිස්ස අතැතිවය. සැණෙකින් මුළු සිනමාහලම එකම ඔල්වරසන් හඬකි.
ඉන් අනතුරුව ‘ටීසර්’ පටයක් හෙළවුඩ් සිනමාපටයකට භාවිත කළේ 1995 දී ‘දෙමෝදර පාලම – චණ්ඩියා ධ්ධ්’ චිත්‍රපටය සඳහාය. ‘චණ්ඩියා’ අනුගමනය කරමින් එලෙසම ‘චණ්ඩියා’ චිත්‍රපටයේ දර්ශනයක් තිරගත වෙමින් තිබියදී සේයා පටලය කැඩී විසි වී යන අයුරුත් බැබළෙන රිදී තිරයට පිටු පසින් එල්ල වන මැෂින්ගන් ප්‍රහාරයෙන් තිරය කැඩී බිඳී සුනු විසුණු වී යද්දී තිරය පිටුපස සිට වෙඩි තැබූ චුට්ටේ හෙවත් ගාමිණී ෆොන්සේකා ගිනි අවිය අතැතිව මිදුණු රූපයක් බවට පත් වෙයි. ඒ මත ගුණවර්ධන හෙට්ටිආරච්චිගේ හඬ අවදි වෙයි . . . කලාපානි ගේ විල්මට් හෙවත් ගාමිණී රාජසිංහ හෙවත් චුට්ටේ නොහොත් චණ්ඩියා . . . විසි වසරකට පසු මහර සිර ගෙදරින් නිදහස වූ වගයි . . . ගාමිණී ෆොන්සේකා . . . දෙමෝදර පාලම චණ්ඩියා දෙක . . . දිනේෂ් ප්‍රියසාද්ගේ චිත්‍රපටයක් . . .! තිරය අඳුරු වෙමින් ‘ටීසර්’ පටය අවසන් වෙයි. |