වර්ෂ 2013 ක්වූ ජූලි 25 වැනිදා බ්‍රහස්පතින්දා




චිත්‍රාගාරයේ දවසේ පඩිය රුපියල් තුනයි

චිත්‍රාගාරයේ දවසේ පඩිය රුපියල් තුනයි

එම්. වී. බාලන්

රහසක් නැති රහසක් දිග හරියි

ශ්‍රී ලාංකේය සිනමා කර්මාන්තය තුළ දේශීය සිනමාකරුවන්ගේ ප්‍රගමනය 1947 සිටම ක්‍රමක් ක්‍රමයෙන් වර්ධනය විය. එමඟින් සිංහල හෝ දෙමළ බසින් නිර්මාණ ඉදිරිපත් කළ ශ්‍රී ලාංකේය ද්‍රවිඩ අධ්‍යක්ෂවරුන් රැසක් ද බිහි වීම අප රටට ආඩම්බරයකි. 1955 ටී. සෝමසේකරන්ගෙන් එකී නාමාවලියට 1969 දක්වා දාහතර දෙනෙක් ඇතුළත්ව සිටිති. 15 වෙනි ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජාතික චිත්‍රපට අධ්‍යක්ෂවරයා එම්. වී. බාලන්ය. ඔහුව මට රත්මලානේ කල්දමුල්ල පාරේ ගල්කිස්ස නිවාස සංකීර්ණයේ අංක එෆ්. ජී. 8 දරන නිවසේදී හමු වුණේ දිගු කාලයකට පසුවය.

ඔබව හඳුනා දිය යුත්තේ විකට නළුවකු නැත්නම් චිත්‍රපට අධ්‍යක්ෂවරයකු හැටියටද?

මම 1958 කිරුළපනේ ලංකා චිත්‍රාගාරයට සම්බන්ධ වුණේ සුළු කාර්මික ශිල්පියකු වශයෙන්. සහාය ආලෝක ශිල්පියෙක් වුණාට පස්සේ සංස්කරණ, කැමරා, අධ්‍යක්ෂණය යන අංශවලත් සහායට පත් වුණා. දවසේ පඩිය රුපියල් තුනයි. කලින් කරපු රස්සාවේදී ඊට වැඩිය සන්තෝසම් මුදල් ලැබුණා. පසු කාලයක නැටුම් අධ්‍යක්ෂවරයකු, කතා හා තිර නාටක රචකයෙක් ද වෙනවා. චිත්‍රපටවල වැඩ කරද්දී සුළු සුළු චරිත රඟපාන්නත් ලැබුණා. පළමු රඟපෑම වනලිය චිත්‍රපටයේ. දීපශිඛා, ධීවරයෝ, සූර චෞරයා, අල්ලපු ගෙදර විකට චිත්‍රපටවල කළ චරිත ගොඩාක් ජනප්‍රිය වුණා. මම මේ වෙනකොට චිත්‍රපට 80 ක පමණ රඟපාලා තියෙනවා. අන්තිමට රඟපෑ සඳුනි චිත්‍රපටය 2005 ප්‍රදර්ශනය කෙරුවා. ඉදිරියේදී කේ. ඩී. නිකලස්ගේ වෙස්වළාගත් තරුණිය චිත්‍රපටයෙන් මාව ආයෙමත් දැකගන්න ලැබේවි.

ඔබ සිනමාවට සම්බන්ධ වෙන්න පෙර රැකියාවක් කළාද?

මම ඉපදුනේ 1941 මාර්තු 03 වැනිදා යටියන්තොට ගනේපල්ලේ ගමේ. නම මහදේවන් වෙළුපිල්ලේ බාලක්‍රිෂ්ණන්. ඉගෙන ගත්තේ ගනේපල්ලේ ශාන්ත ගේබ්‍රියල් විදුහලෙන්. ඉස්කෝලේ යන කාලේ ඉඳලාම මම පික්චර් පිස්සා. මටත් චිත්‍රපටයක් කරන්න ආශාවක් උපන්නා. ඒකට මඟ පාදා ගන්න කොළඹට ඇවිත් බම්බලපිටියේ ග්‍රීන්ලන්ඩ් හෝටලයේ වැඩ කෙරුවා. මේක නිකම්ම තෝසේ කඩයක් නොවෙයි. ඉන්දියානු රසයට අනුව එරට කෑම වර්ග සපයන ප්‍රසිද්ධ තැනක්. නැවතීමේ පහසුකම් පවා සැපයුවා. මගේ මාමා කෙනෙක් වන සුන්දරම් පිල්ලේ එහි කොටස්කාරයෙක්. ඔහුගේ මාර්ගයෙන් ග්‍රීන්ලන්ඩ් හෝටලයේ රැකියාව ලබා ගත් මට එහි එන යන සිනමා ශිල්පීන් සමඟ කිට්ටුවෙන් ඇසුරු කරන්න ලැබුණා. ඒ අනුව ලංකා චිත්‍රාගාරයට පය තියන්න අවස්ථාව සලසා ගත්තා. ඒ කාලයේ ග්‍රීන්ලන්ඩ් හෝටලය සිංහල සිනමාවේ ජනප්‍රිය නළු නිළියන් නිතර යන එන තැනක්.

ඔබේ උප්පත්ති නාමයේ හැටියට එම්. වී. බාලක්‍රිෂ්ණන් විය යුතුයි නේද?

ඔබ හරි. මම එම්. වී. බාලක්‍රිෂ්ණන් තමා. චිත්‍රාගාරයේදී බොහෝ දෙනා මට ලෙහෙසියට කිව්වේ බාලා කියලා. ඔය නිසා මගේ නම කෙටි වෙලා එම්. වී. බාලන් වුණා. මේ නම හොඳයි කියලා කිව්වේ ෆ්ලොරිඩා ජයලත්.

ඔබ සහාය අධ්‍යක්ෂණයෙන් දායක වූ චිත්‍රපට මොනවාද?

1966 තිරගත ටැක්සි ඩ්‍රයිවර්, 1968 තිරගත නිර්මලා, 1980 තිරගත නෙන්ජුක්කුනිදී යන දෙමළ චිත්‍රපට මෙහෙයවීමට සහාය වුණේ රඟපාන ගමන්. ඉන්දීය ලේඛක තෙෙර්යුර් මුර්තිගේ නවකතාවක් පසුබිම් කර ගත් නිර්මලා එම්. අරුමනායගම්ගේ අධ්‍යක්ෂණයක්. ටැක්සි ඩ්‍රයිවර් හා නෙන්ජුක්කුනිදී චුන්ඩුකිලි සෝමසේකරන් මෙහෙය වූවා. ඔහු කලකට ඉහත ඉන්දියාවේදී මිය ගියා.

ඔබ නැටුම් අධ්‍යක්ෂවරයකු ලෙසත් කටයුතු කොට තිබෙන බව ඇත්තක්ද?

මම නැටුම් ඉගෙන ගත්තේ ශාන්ති කුමාර් හා ඉන්දීය ජාතික සුකුමාර් නායර් දෙපළගෙන්. රඟපෑ හා අධ්‍යක්ෂණය කළ චිත්‍රපට කිහිපයකම නැටුම් මෙහෙය වූයේ මම. ඒ වගේම ඇතුල්වීම තහනම් චිත්‍රපටයෙන් රොනල්ඩ් ප්‍රනාන්දු නැටුම් අධ්‍යක්ෂවරයෙක් වුණේ මගේ මැදිහත්වීමෙන්.

ඔබ ප්‍රධාන චිත්‍රපට අධ්‍යක්ෂවරයකු ලෙස තවත් පියවරක් තබන්නේ 1969 වර්ෂය තුළදීයි පැවසුවොත් හරිද?

මම තනිවම නිර්මාණය කළ චිත්‍රපට දෙකක් ඔය අවුරුද්දේ තිරයට පැමිණියා. එකක් ඔබ නැතිනම්. එහි මමත් සම නිෂ්පාදකවරයෙක්. අනුලා, ජෝ, විජිතා, බැප්ටිස්, ලිලියන්, ඩී. ආර්., ක්‍රිස්ටි සමඟ ගාමිණී ෆොන්සේකා ප්‍රධාන චරිතය රඟපෑවේ නොමිලයේ. මංජල් කුංකුමම් දෙමළ චිත්‍රපටය ප්‍රදර්ශනය කළේත් 1969 අවුරුද්දේ. එය කිංස්ලි එස්. සෙල්ලයියාගේ ඉදය තායම් නාට්‍ය කතාව ඇසුරෙන් කළ සිනමා අධ්‍යක්ෂණයක්.

අධ්‍යක්ෂවරයකු ලෙස මට අතිශය ජනතා ආකර්ෂණයක් රැගෙන ආවේ හිත හොද මිනිහෙක්. මෙය ආදායම් වාර්තා ඉහළින් තැබූ චිත්‍රපටයක්. මම ගන්නෙමී කරකාර බන්දාලා ගීතය ඇසුණු සැනෙන් තවමත් මතකයට නැගෙන චිත්‍රපටයක්. මෙහි ගාමිණී ෆොන්සේකා රඟපෑ චණ්ඩියා චිත්‍රපටයේ කොටස් පවා ඇතුළත්ව තිබුණා. ඊළඟට මගේ රන් පුතා 1978 කෙරුවා. එහි නිෂ්පාදක එන්. එම්. සමුන් හා ප්‍රධාන නළු සමන් කුමාර් දෙන්නම එක් කෙනෙක්. සංගීතය සැපයුවේ සිසිර සේනාරත්න.

තුන්වෙනි සිංහල චිත්‍රපට අධ්‍යක්ෂණය රහසක් නැති රහසක්. 1982 පෙන්නූ මෙහි 1994 නිකුත් කළ ඩී. වී. ඩී. තැටිය සමඟ මං ගැන වාර්තා චිත්‍රපටයක් ද එක් කොට තිබෙනවා. දෙවියනි සත්‍ය සුරකින්න 1995 හිත හොඳ ගැහැනියක් 1996 ප්‍රදර්ශනයට තැබුවා. දැනට මගේ අවසන් සිනමා නිර්මාණය හැටියට දැක්වෙන චිත්‍රපටය කලින් නම් කොට තිබුණේ සිතේ ඇති දේ නමින්.

ඔබ අධ්‍යක්ෂණය කළ චිත්‍රපට නිර්දය ලෙස විවේචනයට ලක්වීම ගැන තරහා නැද්ද?

බෙංගාලි ජාතික සිනමාකරුවකු තම රටේ අන්ත අසරණ දුප්පත්කම සිනමාවෙන් පෙන්නුවා. ඊට සම්මාන පිරිනැමුණා. නමුත් ප්‍රදර්ශනය අතින් හැම රටකම අසාර්ථකයි. මම චිත්‍රපට හදන්නේ ඉපදුන රටේ දුර්වල තැන් ලෝකයාට උලුප්පා පෙන්වන්න නොවෙයි. පොදු ජනතා රස වින්දනය පිණිසයි. එම නිර්මාණ කලාත්මක නැති වාණිජ චිත්‍රපට වෙන්න පුළුවන්. එබඳු චිත්‍රපට දෝෂ දර්ශනයට ලක්වීම සාමාන්‍ය දෙයක්. අපිව පට්ට ගැහැව්වත් ජයවිලාල් විලේගොඩගේ විචාර නිසා වැරැදි හදා ගත්ත චිත්‍රපට අධ්‍යක්ෂවරු ඉන්නවා. ඒ අයවත් හැදුණු එක ලොකුª දෙයක්.

ඔබේ අතරමඟ ඇනහිටි චිත්‍රපට එහෙම නැද්ද?

දෙවියෙක් වගේ මිනිහෙක් කියලා චිත්‍රපටයක් හදන්න 1992 සැලසුම් කෙරුවා. ගාමිණී, ගීතා, සනත්, මැණික්, සොමී, ප්‍රියංකර තෝරා ගත් එහි නිෂ්පාදකවරයා ජස්ටින් ෆොන්සේකා. තිතට වැඩ චිත්‍රපටයේ රූපගත කිරීම් අඩකටත් වඩා නිමයි. නිෂ්පාදකවරයා චිත්‍රපටය ඇපයට තබා ලබා ගත් ණය මුදල තමන්ගේ පෞද්ගලික ව්‍යාපාරික කටයුතු සඳහා වැය කෙරුවා. මේ නිසා මට චිත්‍රපටය එපා වුණා. ලාල් ප්‍රියදේව කතාව හා දෙබස් ලියූ තිතට වැඩ හැඩ කරන්න ශෂී, ගීතා, මර්වින්, මැණික්, ෆෙ‍්‍රඩී, ලයනල්, බැප්ටිස්ට්, ටෙනිසන් එකතු වෙලා සිටියා.

ඔබ සුපර් මෑන් නමින් චිත්‍රපටයකුත් කරන්න ගිය බව අමතකද?

සුපර් මෑන්ට වුණේ හරිම වැඩක්. චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට තෝරා ගත් නළුවා මගේ නිෂ්පාදකවරයා ඩැහැගෙන ක්‍රියාදාම චිත්‍රපටයක් කළා. සතියක් ප්‍රදර්ශනය කළේ හරිම අමාරුවෙන්. ඔය හාදයා මීට කලිනුත් සාර්ථක ව්‍යාපාරිකයෙක්ව නන්නත්තාර කෙරුවා.

වර්තමානයේ පවතින සිනමා අර්බුදය ගැන ඔබ දරන මතය කෙබඳුද?

අර්බුදයක් නොවෙයි සිනමාව වැටිලා. වැට්ටුවේ අපේම අය. එය පියවරෙන් පියවර සැලසුම් සහගතව කරන ලද යටිකූට්ටු වැඩක්. එදා තිබුණු සිනමා ප්‍රදර්ශක සමාගම් යම් සාධාරණ ක්‍රමවේදයක් අනුව කටයුතු කෙරුවා. මේක දිරවපු නැති කට්ටියක් ප්‍රදර්ශන ඒකාධිකාරය කඩන්න කියලා කෑ මොර දුන්නා. සිලෝන් තියටර්ස්, සිනමාස්, සිලෝන් එන්ටර්ටේන්මන්ට්ස් මඟින් පවත්වාගෙන ගිය චිත්‍රපට බෙදා හැරීම 1976 සහමුලින්ම ජාතික චිත්‍රපට සංස්ථාව පවරා ගත්තා. ප්‍රේක්ෂකයින් නොබලපු චිත්‍රපට කිහිපයකුත් නිෂ්පාදනය කෙරුවා. අන්තිමේ 2001 නැවතත් චිත්‍රපට සිනමාහල් වෙත මුදා හැරිම පෞද්ගලීකරණය කළා. දැන් මොකද වෙලා තියෙන්නේ. මම අහන්නේ දැන් මොකද වෙලා තියෙන්නේ. ඊට හොඳම උත්තරය ළඟදී අසන්න ලැබුණු උදයකාන්ත වර්ණසූරියගේ රන්කෙවිට 2 සිද්ධිය.

ඔබ සිනමාවෙන් පිටස්තර වෙනත් මාධ්‍යයන් හා සම්බන්ධතා පැවැත්වූවාද?

සිල්, සොරි මැඩම්, සුජාත පුත්‍ර, දඹුලු සක්මන වගේ ටෙලි නාට්‍ය කිහිපයක චරිත නිරූපණය කළා. ඉදිරියටත් ආරාධනා ලැබුණොත් රඟපානවා.

ඔබ අගැයීමකට එහෙම ලක්වෙලාම නැද්ද?

2005 ජනාධිපති සිනමා සම්මාන උළෙලේදී පුරෝගාමී සම්මානය හිමි වුණා. අපොයි ඒ ඇති. හැමදාමත් මට පොදු ජන සිනමා රසිකයින්ගේ හරසර පිළිගැනීම තිබෙනවානේ.

ඔබේ පවුලේ තොරතුරු බිඳක් සමඟ දුරකථන අංකය හෙළි කරන්න කැමතිද?

බිරිඳගේ නම චන්ද්‍රාවතී හේසරසිංහ. බැන්දේ 1985. අපිට පුතෙකුයි, දුවකුයි ඉන්නවා. පුතා ජීවන්ත ඩිලුක්ෂාන්. ඔහු ගායකයෙක් වගේම පළපුරුදු සුපවේදියෙක්. දැනට ඩුබායි හි රැකියාව කරනවා. ඩයනා මධුෂානි දුව පෞද්ගලික ආයතනයක සේවයට යනවා. ජනාධිපතිතුමා කලාකරුවන්ට ලබා දුන් සහන පදනම යටතේ අපි ළඟදී වාහනයක් ගන්නවා. අපේ දුරකථන අංක 011-2623105 / 077-7553243 / 0723536317.