වර්ෂ 2012 ක්වූ නොවැම්බර් 08 වැනිදා බ්‍රහස්පතින්දා




අපේ පැතුම ඒ ලෙසම ඉටුවුණා

අපේ පැතුම ඒ ලෙසම ඉටුවුණා

ඕෂධීගේ උත්තරීතර මව් සෙනෙහස

‘ඔන්චිල්ලා තොටිලි කොයින්දෝ

රන්සළු පිළි වළලු කොයින්දෝ

දොයි දොයි පුත ළපටි බිලින්ඳෙී

රන්කඳ රැකදේවි සුරින්දෝ

අසමින් මවගේ කතා

දොයි දොයි දොයිය පුතා’

අප දෙසවන වැකුණේ ඕෂධීගේ මියුරු ස්වරයයි. ඒ ගීතය මියුරු හඬින් ගයමින් සිය කුලුඳුල් පුතු ඇකයෙහි හොවා නළවන ඈ සැබෑ ලෙසම මවකගේ භූමිකාවට පිළිපන් සෙයකි.

සති දෙකකට පමණ පෙර මව් පදවියේ කිරුළ පැළඳූ ඕෂධී හේවාමද්දුම සැබවින්ම භාග්‍යවන්තියකි. ඕ ඉන් උදම්ව සිය පුතු තුරුලට ගෙන නළවන්නීය. සුරතල් බිලිඳාගේ නිකට අල්ලා සොලවන්නීය.

‘මෙයාගේ නිකටේ හැඩය මගේ නිකට වගේමයි. මුහුණ නම් ඉතිං ඇරපු අතක් නෑ පුතාගේ තාත්තාගේ වගේමයි.’

සිය පුතු මෑණියන්ගේ දෑතෙහි තබමින් ඕෂධී කියන්නී සුපුරුදු සිනහව මුවඟට නඟමිනි.

කොහොමද අලුත් ජීවිතේ?

මම ඇයගේ දෙනෙතට එබුණෙමි.

‘මම හිතන්නේ මා වාසනාවන්තියක්. අම්මා කෙනකු කියනා සොඳුරු වදන ඇසීමට තරම් මා භාග්‍යවන්තියක් වුණා. හරියටම ඒ ඔක්තෝබර් 24 වැනිදා රාත්‍රියේදී. පුතා ලැබෙන්න තිබෙනා දින යෙදිලා තිබුණේ නොවැම්බර් මුල් දවස් කිහිපයෙයි. එහෙත් වෛද්‍යවරයා මාව අවසාන අවස්ථාවේදී පරීක්ෂා කරලා තීන්දුවක් දුන්නා. ඒ මගේ පෙෂර් එක වැඩි නිසා දැන්ම රෝහලට ඇතුළත් විය යුතු බවයි ඔහු පැවසුවේ. සාමාන්‍ය ආකාරයෙන් දරු ප්‍රසූතියකට සූදානම් වී සිටිය මා සිසේරියන් සැත්කමකින් මගේ කුලුදුල් පුතාගේ මුහුණ දැක්කා. ඒ වෙලාවේ ඇති වුණු සතුට ප්‍රකාශ කරන්න මට වචන නැහැ. නයින් වේල්ස් රෝහලේදී සිදුවුණු දරු ප්‍රසූතිය අවස්ථාවේ මගේ මහත්තයාත් මා ළඟම සිටියා. ඒක මට වඩාත් ශක්තියක් වුණා. ඒ වගේම මාව පරීක්ෂා කළ දොස්තර විජිත් විද්‍යාභූෂණ වගේම ඔහුගේ බිරිඳ ප්‍රෙමිෂ්කාටත් ගොඩක් ස්තුතිවන්ත විය යුතුයි. නයින් වේල්ස් රෝහලේ කාර්ය මණ්ඩලයටත් ස්තුති කරන්න මම මෙය අවස්ථාවක් කරගන්නවා.’

ඕෂධී වෙනුවෙන් වෙහෙස වූ සියලු දෙනාටම ඈ සිය කෘතඥතාවය පළ කළේ හදවතෙහි නැඟුණු සුහදත්වයෙනි.

කුලුදුලේ උපන් මල් කැකුළක් වන් සිඟිත්තාගේ නම මොකක්ද?

‘මාසයක් විතර මට විවේකීව ඉන්න කියලයි වෛද්‍ය නිගමනය වෙන්නේ. මුල් සති කිහිපයේ පුතාට නමක් තියන්න ඕන වුණත් ගෙදර හැමෝගෙම අවධානය යොමුවෙලා තිබුණේ මා කෙරෙහියි. ඒ නිසා පුතාගේ කේන්ද්‍රය බලන්නවත් ගෙදර අයට වෙලාවක් තිබුණේ නෑ. කේන්ද්‍රය බලලා නමක් දාන්න අපි තීරණය කළා. කොහොම වුණාත් පුතාට යොදන නම පිළිබඳ කලින් අපි තීරණයකට ඇවිත් තිබුණේ නැහැ. පුතාගේ කේන්දරය බලන්න තීරණය කළේ අපේ විවාහයේදී නැකැත්, කේන්ද්‍ර බැලුව කෙනාටම කියලයි. ඒ නිසා පුතාට නමක් තියන්න ටික දවසක් යාවි.’

පුතුට නම තබනතුරු මේ දෙපළට ද ඇත්තේ නොඉවසිල්ලකි.

දස මසක් කුස හොවා රැකගත් බිලිඳාගේ මුහුණ බැලීමට පෙරුම් පිරුව ඕෂධීගේත්,ප්‍රදීප්ගේත් සිත්හි බිලිඳා කුස පිළිසිඳ ගත් දා පටන් පිළිසිඳුණේ එකම සිතුවිල්ලකි.

මොකක්ද මේ සිතුවිල්ල?

‘අපි දෙදෙනාම කැමැති වුණේ පුතෙකුට. මගේ කුසේ ඉන්නේ පුතෙක් ද දුවෙක් ද කියලා ස්කෑන් කරලා බලන්න පුළුවන් වුණත් ඒකට අපි කැමැති වුණේ නෑ. අනික් කාරණය වෙන්නේ අපේ පැතුම ඒ අයුරින්ම ඉටු වෙනවාද කියලා බලන්නත් මට උවමනා වුණා. ඒ පැතුම අද ඒ අයුරින්ම ඉටු වෙලා. අපි දෙන්නාටම ඒ ගැන සතුටුයි.’

ඒ සතුට දෝර ගලා යන සොඳුරු මතකයක හිර වෙලා සිටිය ඕෂධීගේ මතකය අප තවත් ඈතට අරගෙන ගියා.

පුතාගේ ආගමනයත් සමඟ ඕෂධී රංගනයෙන් ඉවත් වේවිද?

මට එහෙම හිතුණා.

‘රංගනය කියන්නේ මගේ ජීවිතය වගේ. ඒ නිසා මම කිසිම දවසක රංගනයෙන් ඈත් වෙන්නේ නෑ. පුතාව දමලා ගිහින් විනාඩියක් මට ඉන්න පුළුවන්වෙයි කියලා මා හිතන්නේ නෑ. ඒ තරමටම අපි දෙන්නා ඉන්නේ බොහොම බැඳීමෙන්. එයා ළඟටම වී සිටින්නටයි මම නිතරම කැමැති.

පුතාගේ උණුසුමෙන් මිදෙන්න ඕෂධීට බැරි හැඩයි.

පුතා ලොකු වුණාට පස්සේ මොන වගේ කෙනෙක් වෙනවටද කැමැති?

‘එයාට හොඳ අධ්‍යාපනයක් ලබාදීම තමයි මගේත් සැමියාගේත් අරමුණ. අධ්‍යාපනය ලබද්දී දක්ෂතා අනුව ඔහුගේ අනාගතය තීරණය වේවි. ඒ සියල්ලට කිසිදු බලපෑමක් අපි කරන්නේ නෑ.’

ඕෂධීගේ ළඟ සිටිනා ඕෂධීගේ මවත්, පියාත් ඇයව ඇසක් මෙන් රැක බලා ගත්තාක් මෙන් සිය මුනුබුරා ද රැක බලා ගැනීමට වෙහෙසෙති.

‘අම්මාත්, තාත්තාත් මගේ ළඟ සිටීම මට විශාල ශක්තියක්.’

සුන්දර ඕෂධී සුන්දර සිනහවකින් මුවඟ සරසා සිය පුතු තුරුලට ගත්තාය. ඒ පුතු හා මව්ගේ සුන්දර ලෝකයට ඉඩහසර වෙන්වන වෙලාවයි. ඒ ලෝකයට ඉඩ දෙමින් අපි අලුත උපන් බිලිඳාටත්, ඕෂධීටත් සමු දුනිමු.