|
දිවි තිබෙන තුරුප්රේමයට අවසානයක් නැත. බොලිවුඩයෙහි ආදරයෙහි අධිරාජයා අවසානයේදී ලොවට ඉතිරිකර ගිය පණිවුඩය එයයි. ඔහුගේ අන්තිම සිනමා අන්දරය ‘ජබ් තක් හෛයි ජාන්’ පූර්ව දර්ශනය නොවැම්බර් 12 වැනිදා අති උත්කර්ෂවත් ලෙසින් තිරගත වීමට නියමිතය. යාෂ් චොප්රා නම් විශිෂ්ට සිනමාවේදියා සිය අවසාන නිර්මාණය ඉහළම අන්දමේ සමාරම්භක උත්සවයකින් දොරට වැඩවීමේ සොඳුරු ප්‍රාර්ථනා හද රඳවාගෙන සිටියේය. ඔහුගේ හදිසි වියෝවෙන් හඬමින්, දොඩමින් නොසිට ඔහු සිතුවාටත් වඩා ජයටම පූර්ව දර්ශන පැවැත්වීමට බිරිය පැමලා මේ දිනවල ආදිත්‍ය, උදෙය පුතුන්ගේ ද සහය ලබාගෙන වෙහෙසෙන්නීය.
සිනමාපටය තිරගත වන්නේ ඔහුගේ සැබෑ නොවූ ගීතමය සිහිනයත් සමඟය. ඔහු නැතිව ගීතය රූගත කරන්නට ෂාරුක් හදවතින්ම බැරි බව පවසා තිබේ. සිනමාපටයට සම්බන්ධ අන් සියලු දෙනා ද ඔහුගේ සිනමා ශෛලියට අංශු මාත්‍රයකින් හෝ බලපෑමක් කරන්නට අකැමැතිය. මේ අතර ‘දිවි තිබෙන තුරු’ යන තේරුම ඇති ‘ජබ් තක් හෛ ජාන්’ යාෂ් චොප්රාගේ අන් සියලු සිනමාපටවලට වඩා වැඩි ආදායමක් ලබනු ඇතැයි කියා ඡ්‍යොතිශාස්ත්‍රඥ හා අංක විද්‍යාඥ භවික් සන්ග්වි පවසයි. ඔහු පවසන අන්දමට සිනමාපටය තිරගත වන්නේ ෂාරුක්ට ජය පිට ජය ලැබෙන කාලයකයි. ෂාරුක් ඛාන්ගේ හතළිස් හත් වැනි උපන් දිනය යෙදී තිබෙන්නේ නොවැම්බර් දෙවැනි දිනටයි. 1965 නොවැම්බර් 2 වැනිදා උපත ලැබූ ෂාරුක්ගේ අංකය අංක විද්‍යාවට අනුව දෙකය. (ඔහු අයිති චන්ද්‍රයාටයි). ඒ නිසාම ඔහු ඉබේටම අංක හතෙන් (කේතුගෙන්) පාලනය වේ. ඔහුගේ සූර්ය ලකුණ වෘශ්චිකය. හඳෙන් හා පොළොවෙන් පාලනය වීම නිසා ෂාරුක්ට ඉදිරියේදී ලැබෙන්නේ හොඳ ප්‍රතිඵලවලටත් වඩා හොඳ ප්‍රතිඵලය. අංක දෙකේ පුද්ගලයකු නිසා ඔහු ඉතා සංවේදී, නිර්මාණශීලී, ආදරණීය හදවතින් තීරණ ගන්නා අයෙකි. වෘත්තියේදී කරන අධික කැපවීම හේතුවෙන් ශරීර සෞඛ්‍යයට ද තර්ජන එල්ල වෙයි. නීති ප්‍රශ්න හා පැටලීම ෂාරුක්ට හොඳම නැත. කට කතා ඔහුගේ සතුරෙකි. තමන්ගේ සැලැසුම් හෙළි නොකර, අවට සිටින්නන් විශ්වාස නොකර සිටීම ෂාරුක්ගේ ඇඟට ගුණය. වයස අවුරුදු හතළිස් අටට ලබද්දී උදා වූ කාලය වඩාත් වාසනාවන්ත බවට ඇති හොඳම සාක්ෂිය, ‘ජබ් තක් හෛ ජාන්’ බවට පත්වනු ඇත. එපමණක් නොව මේ සිනමාපටයට පසු තිරගත වන ‘චෙන්නායි එක්ස්ප්‍රස්’, ‘හැපි නිව් ඉයර් ඉන් 2013’ ද ඔහුට ජය පිට ජය ගෙනෙනු ඇත. අමීර් ඛාන්ගේ ‘ත්‍රී ඉඩියට්ස්’, සල්මන් ඛාන්ගේ ‘ඒක් තා ටයිගර්’ මෙන්ම ෂාරුක් ඛාන්ගේ ‘ජබ් තක් හෛ ජාන්’ ද රුපියල් කෝටි පන්සියයකට වැඩි ආදායමක් ලබනු ඇති බව බොහෝ දෙනාගේ විශ්වාසයයි. ආදරයේ අධිරාජයා, ආදරයේ රජු සමඟ එක් වී කළ මේ නිර්මාණයේ පූර්ව ප්‍රචාරක පටයට ඇති ප්‍රතිචාරයම ඊට ප්‍රමාණවත්ය. යූ ටියුබ් නාලිකාවෙන් මිනිත්තු 1.30 ක් වූ කෙටි සිනමා පූර්ව දර්ශනය මිලියන ගණනක් නරඹා ඇත්තේ මෙතෙක් ‘ද ට්විලයිට් සාගා : බ්‍රේකිං ඩොව්න් – පාට් ටූ’ වාර්තාව ද බිඳ හෙළමිනි. සිනමාපටය නිසා ෂාරුක්ට විචාරක ඇගැයුම සේම සම්මාන ද අඩුවක් නැතිව ලැබෙනු ඇත. ‘මට ඇති තරම් මුදල් තියෙනවා. සම්මාන තියෙනවා. ඒ නිසා අංක ගැටලුවක් මට නැහැ. ඒත් රැඟූ චිත්‍රපටයක් තිරගත වීමට ආසන්න වෙන විට සිත නොසන්සුන් වෙනවා. ෂාරුක් පවසන්නේ මේ සුබනිමිති දකිමිනුයි. 2004 දී තිරගත වූ වීර්සාරා සිනමාපටයට මෙන්ම මේ සිනමාපටයට ද පාකිස්තානය දොර වසා තිබේ. මෙය ද හමුදා කතා පුවතක් රැගෙන ඒම ඊට හේතුවයි. මීට පෙර සායිෆ් අලි ඛාන්ගේ ‘ඒජන්ට් විනෝද්’ ට ද, සල්මන් ඛාන්ගේ ‘ඒක් තා ටයිගර්’ ට ද තහංචි පැනවුණි. නොවැම්බර් 13 ‘ජබ් තක් හෛ් ජාන්’ තිරගත වන දිනයටම අජේ දේව්ගන්ගේ ‘සන් ඔෆ් සර්දාර්’ ද තිරගත වීමට නියමිතය. දීවාලි සති අන්තයේ තිරගත වන මේ සිනමා පට දෙකෙන් මෙතෙක් වැඩි ප්‍රතිචාර ලැබී ඇත්තේ යාෂ්ගේ සිනමාපටයටයි. යාෂ් සිතා සිටිය පරිදිම ‘ජබ් තක් හෛ ජාන්’හී ආත්මය වී තිබෙන්නේ ෂාරුක් ගිටාරයක් වයමින් ගයන ‘චලා’ ගීතයයි. චලා ගීතය සඳහා ෂාරුක් ගිටාර් වාදනය කිරීමට ඉගෙන ගෙන තිබේ. මේ ෂාරුක්ට කත්‍රිනා තිරයේ පෙම්වතිය කරගැනීමට ලැබුණු පළමු අවස්ථාවයි. උප ප්‍රධාන චරිතය රඟන අනුෂ්කා ෂර්මා සමඟ ඔහු රඟන දෙවැනි සිනමාපටය මෙයයි. මීට පෙර ෂාරුක්ට අනුෂ්කා මුණ ගැසුණේ ‘රබ් නේ බනා ඩි ජෝඩි’ සිනමාපටයේදීයි. දැනටමත් ෂාරුක් - කත්‍රිනා යුවළ යසට කැපෙන තාරකා යුවළක් බවට පත් වී අවසානය. මේ අතර කත්‍රිනාට යළිත් වරක් රිතික් රොෂාන්ගේ තිරයේ පෙම්වතිය වීමට අවස්ථාවක් උදා වී තිබේ. ‘සින්ද ගී නා මිලේ ගි දෝබාරා’ සිනමා රංගනයෙන් පසු කත්‍රිනා – රිතික් තිරයේ සොඳුරු ආදරවන්තයෝ වූහ. ඔවුන් යළි පෙම්වතුන් ලෙස හමු වන්නේ ‘නයිට් ඇන්ඩ් ඩේ’ හොලිවුඩ් සිනමාපටයේ බොලිවුඩ් ප්‍රතිනිර්මාණයේදීයි. කත්‍රිනා කැමරන් ඩයස්ගේ චරිතය ද, රිතික් රොෂාන් ටොම් කෲස්ගේ චරිතය ද රඟනු ඇත. ‘ජබ් තක් හෛ ජාන්’ හී සොඳුරු ආදරවන්තිය වූ කත්‍රිනාට මෙහිදී රිතික් තරමටම ක්‍රියාදාම අංශයෙන් දස්කම් පෑමට සිදුව තිබේ.
|