වර්ෂ 2012 ක්වූ නොවැම්බර් 08 වැනිදා බ්‍රහස්පතින්දා




මගේ මුල් තැන අධ්‍යාපනයට

රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේ හොඳම නළුවා දිදුල ඉඳුවර

මගේ මුල් තැන අධ්‍යාපනයට

මා ඉදිරියේ සිටින්නේ සම්මානනීය රංගන ශිල්පියෙක්. එහෙම කිව්වහම ඔබට යම් චිත්ත රූපයක් මැවෙන්න ඇති. හැබැයි මෙයාට තවම වයස අවුරුදු දොළහයි. ඔහු සම්මානිත වුණේ පසුගිය රාජ්‍ය නාට්‍ය උළෙලේ. ඒ පුබුදු සුභාෂණගේ ‘මමයි මමයි හරි යාළුයි’ වේදිකා නාට්‍යයේ රෝගී ළමයා, විහඟගේ චරිතය වෙනුවෙන්.

දිදුල ඉඳුවර ද සිල්වා.

ඒ මේ පුංචි හපනාගේ නම.

දිදුල පළමුව සම්මානනීය වූ සොම්නස වචනවලට පෙරලුවා...

මේ සම්මානය නිසා මට ගොඩක් සතුටුයි. පුබුදු සර් අපේ ඉස්කෝලෙ, ඒ කියන්නෙ හොරණ විද්‍යාර්ථ විශ්වවිද්‍යාල පීඨයේමයි ඉගැන්වීම් කටයුතු කරන්නේ. සර් මට ගොඩක් පුරුදු කළා. මමත් ඒවා බොහොම උනන්දුවෙන් අහගෙන ඉඳලා ඒ විදිහටම නිරූපණය කළා. එදා ස්ටේජ් එකට නගින්න කලින් සර් සුබ පැතුවා. ඒත් මං සම්මානයක් බලාගෙන රඟපෑවේ නැහැ. ඒකයි පුදුමේ.

දිදුලගේ සන්තෝසේ ඉහවහ ගිහින්. ඔහු කතාබහ කරනකොට මට ඒක දැණුනා. මං ඊළඟට ඔහුගෙන් ඇහැව්වේ රඟපාන්න පළමු ආරාධනාව කාගෙන්ද? කොහොමද? ලැබුණේ කියලා.

මං ඉස්කෝලෙ සාහිත්‍ය සමිතියකදි පොඩි නාට්‍යයක රඟපෑවා. පුබුදු සර්ත් එතැන හිටියා.

නාට්‍යය ඉවරවෙලා සර් මාව ඔහු ගාවට කතාකරලා රඟපාන්න ආසද ඇහැව්වා. එතකොටත් මගෙ පුංචි කැමැත්තක් ඇතිවෙලා තිබුණා රංගනයට. ඒත් මං එකපාරටම හා කිව්වෙ නැහැ ලැජ්ජාවක් හිතුණු නිසා. ඒක සර්ට දැනිලද කොහෙද මට ඊළඟට කිව්වා, ‘බයවෙන්න එපා මගේ ස්ටේජ් ඩ්‍රාමා එකකයි රඟපාන්න තියෙන්නේ’ කියලා.

එතකොට ටිකක් බය නැති වුණා. මං ‘හා’ කිව්වා. ඒ නාට්‍යය තමයි ‘චූටි බබා ලොකු ළමයෙක්’. එයත් රාජ්‍ය නාට්‍ය උළෙලට ඉදිරිපත් කළා. 2011 අවුරුද්දේ. එතෙන්දිත් මට සම්මානයක් ලැබුණා හොඳම සහාය ළමා නළුවාට. ඒක තමයි මං ඉස්සෙල්ලාම කරපු නාට්‍යය.

තව නාට්‍යයක් තියෙනවා ඒක ගැනත් මට කියන්න ඕනේ....

දිදුල යමක් කියන්න අවසර ඉල්ලුවා.

ඔව්, කියන්න.

ඒ නාට්‍යයේ නම ලේසි වන් ෆීල්ඩ්. එය කළේ හරේන්ද්‍ර දිසානායක මහත්තයා. ඒ නාට්‍යයත් නාට්‍ය උළෙලට ඉදිරිපත් කළා. එහිදීත් මට කුසලතා සම්මානයක් හිමි වුණා.

දිදුල එහෙම කියද්දී මට මෙහෙම දෙයක් හිතුණා. ඔහු නාට්‍ය තුනකයි තවමත් රඟපා ඇත්තේ. ඒවා සියල්ලටම ඔහු සම්මාන දිනාගෙන. ඉතිං දිදුල සැබෑ දක්‍ෂයෙක් නොවේද?

දිදුල පුතා දිගටම රඟපාන්නද හිතාගෙන ඉන්නේ?

තවම එහෙම අදහසක් නැහැ. ඉගෙන ගන්න වැඩවලටයි මං පළමු තැන දෙන්නේ. වේදිකා නාට්‍යවල මං රඟපානවා දැකලා ටෙලි නාට්‍ය කරන මාමලා කිහිප දෙනකු ඒගොල්ලන්ගෙ නාට්‍යවලට කතා කළා. ඒවායේ ෂූටිං වැටිලා තිබුණේ සතියේ දවස්වල. ඉතිං මං බැහැ කිව්වා. සෙනසුරාදා හෝ ඉරිදා ෂූටිං කරන නාට්‍යවලට කතා කෙරුවොත් යනවා.

හොරණ විද්‍යාර්ථය පුරා දිදුලගේ හපන්කම් ගැන පැතිර ගිහින් ඉස්කෝලයේ ගුරුවරු මෙන්ම යාළුවෝ බොහොම හොඳ සහායක් දුන්නාලු දිදුලගේ රංගන කටයුතු සඳහා. එහෙම නේද දිදුල?

ඔව්, අපේ පීඨාධිපති ඕපල්ලේ ඥණසිරි හිමියන් තමයි අපේ නාට්‍යවල සියලුම වියදම් බලාගත්තේ. උන්වහන්සේ මෙතරම් හොඳින් දිරිමත් කළේ නැත්නම් කොළඹ අපේ නාට්‍යය පෙන්වන්න වෙන එකකුත් නැහැ. ඒ වගේම ජනක් ප්‍රේමලාල් මහත්තයා අපේ ඉස්කෝලෙ ගුරුවරයෙක්. ඔහු මට රංගනය ගැන ගොඩක් දේවල් කියලා දුන්නා.

දිදුලගේ අනාගත බලාපොරොත්තු ගැනත් මං ඇහැව්වා....

මං ගුරුවරයෙක් වෙනවා. ඒ අතරතුරදි රඟපානවා. මං ගොඩක් යුද චිත්‍රපටවලට ආසයි. රඟපාන්න තියෙන ආසාවට මං චිත්‍රපට බලනවා. බන්දු සමරසිංහ, ටෙනිසන් කුරේ මාමලා රඟපාන විදියට මං ප්‍රියයි.

අවසන්කොට දිදුලගේ පවුලේ විස්තර මෙලෙස පැවසුවා.

අපේ පදිංචිය ඉංගිරියේ. තාත්තා හොරණ තැපැල් ස්ථානයේ සහකාර තැපැල් ස්ථානාධිපති. අම්මා රැකියාවක් කරන්නේ නැහැ. ඇය සුධර්මා දමයන්ති. මට අවුරුදු හයක පුංචි නංගියෙක් ඉන්නවා, ඉඳුනි පබසරා කියලා.

පුංචි දිදුල වේදිකාව ජයගත් අයුරු හරිම අපූරුයි. ඒවගේම සිය රංගන ගමන ගැන දරණ අදහසත් ඔහුගේ වයසෙහි රඟපාන්නට ආසාවෙන් සිටින දුවා දරුවන්ට බෙහෙවින් ආදර්ශවත්. ඔහුගේ ඉදිරි ගමනට ‘සරසවිය’ අප සුබ පැතුම් එකතු කරනවා.


තරග රැසකින් ජය ලබා කලා ලොවේ ඉදිරියට යන පුංචි හපනිය චාතුර්යා....

චාතුර්යා විචක්ෂණා විජේන්ද්‍ර නර්තනය, සංගීතය, කථනය සේම රංගනය ආදී විවිධ කලාංගවලින් හපන්කම් පෙන්වනා දැරියකි. තවමත් නුගේගොඩ සුජාතා විද්‍යාලයේ සත්වැනි වසරේ ඉගෙනුම ලබන විචක්ෂණා රූපවාහිනියෙන් මුලින්ම රටටම තම හපන්කම් විදහා පෑවේ දෙරණ නාලිකාව මඟින් පැවැත්වූ ‘ලිට්ල් ස්ටාර්’ තරග වේදිකාවෙනි.

මේ තරගාවලියේ අවුරුදු අටෙන් පහළ කාණ්ඩයේ පස්වැනි ස්ථානයට ඇය පැමිණියේ විසිහය දහසකටත් වැඩි තරගකරුවන් සහ තරගකාරියන් අබිබවමින් 2008 වසරේ දීය. එහිදී උඩරට, පහතරට, සහ සබරගමු යන දේශීය නර්තන සම්ප්‍රදායන්ට නොදෙවැනි හපන්කමක් නිදහස් ආරෙන් (Freestyle) පෙන්වීම වෙනුවෙන් විචක්ෂණා ලිට්ල් ස්ටාර් විනිසුරු මඬුල්ලෙන් වඩාත් අගැයීමට ලක්විය.

දෙරණ ලිට්ල් ස්ටාර් වේදිකාවෙන් පසුව චාතුර්යා විචක්ෂණාව අප දුටුවේ ස්වාධීන රූපවාහිනිය මගින් ලෝක ළමා දිනය වෙනුවෙන් සංවිධානය කළ නර්තන තරගාවලියේදීය. ඇය එහි තුන්වැන්නිය වූවාය. 2008 වසරේදීම චාතුර්යා සමස්ත ලංකා පාසල් සංගීත සහ නැටුම් තරගාවලියේ නර්තන අංශයේ දෙවැනි ස්ථානය දිනමින් සුජාතා විද්‍යාලයට කීර්තියක්ම රැගෙන ආවාය.

බ්‍රිතාන්‍ය අන්තර්ජාතික සමුහාණ්ඩුව මෙරට දී පැවැත් වූ කථන, සංගීත සහ නර්තන තරගාවලියේ අවුරුදු 8 න් පහළ කාණ්ඩයේ රන් පදක්කම ජයග්‍රහණය මේ සිසුවිය ලද සුවිශාල ජයකි.

2008 දී එහි තුන්වැනි ස්ථානය දිනූ චාතුර්යා 2010 වසරේ දී ස්වාධීන රූපවාහිනිය පැවැත්වූ නර්තන තරගාවලියේ පළමුතැන දනුවේ බ්‍රිතාන්‍ය අන්තර්ජාතික සමූහාණ්ඩුව විසින් ලංකාවේදී පැවැත්වූ කථන, සංගීත සහ නැටුම් තරගාවලියේ නර්තන අංශයේ පළමුතැන තුන් වතාවක්ම තමා සතුකර ගන්නා අතරතුරදීය.

එම තරගමාලාවේදී අවුරුදු 8 සිට 19 න් පහළ දක්වා සියලුම වයස් කාණ්ඩ අතුරින් හොඳම නර්තන ඉදිරිපත් කිරීම වෙනුවෙන් විශේෂ කුසලතා සහතිකයක් ද චාතුර්යාට තිළිණ කෙරිණි.

පසුගිය වසරේ (2011) සමස්ත ලංකා පාසල් නාට්‍ය උළෙලේ ප්‍රථම ස්ථානය දිනුවේ ‘ලිට්ල් මැච් ගර්ල්’ නාට්‍යයයි. (Little Match Girl) මේ නාට්‍යයේ නමින්ම හැඳීන්වූ ප්‍රධාන චරිතයට පණ පෙවූයේද ඇයයි. ඊට අමතරව බ්‍රිතාන්‍ය අන්තර්ජාතික සමූහාණඩුව මෙරට දී මේ වසර මුලදී පැවැත්වූ කථන තරගාවලියේ පළමු තැන ද විචක්ෂණා දිනුවාය. ඒ හැරෙන්නට නුගේගොඩ සුජාතා විද්‍යාලය මගින් නිර්මාණය කළ නාට්‍ය ගණනාවකටම ඇය විසින් කැපී පෙනෙන චරිත මවන ලදී.

දැනට යාපනය කලා විශ්ව විද්‍යාලයේ භරත නැටුම් වැඩිදුරටත් හදාරමින් සිටින මේ සිසුවිය එහි පළමු කාණ්ඩයේ විභාගය ද විශිෂ්ට අන්දමින් සමත්ව සිටින්නීය. තම හැකියාවන් මතුකර ගැනීමට නිබඳව කැපව සිටින රංගි සුරංගි කුරේ, චිංතක ජයතුංග, මනෝජි ප්‍රනාන්දු, හේසල් රාජයියා සහ ටානියා පුනාන්දු ආදී ගුරු මහත්ම මහත්මීන්ව ද චාතුර්යා ආදරයෙන් සිහිපත් කරන්නීය,