වර්ෂ 2012 ක්වූ නොවැම්බර් 08 වැනිදා බ්‍රහස්පතින්දා




ලංකාව මෙච්චර ලස්සනයි කියලි අපි දන්නේ නැහැ

ලංකාව මෙච්චර ලස්සනයි කියලි අපි දන්නේ නැහැ

රුසියාවේ ටෙලි නාට්‍යයක් ලංකාවේ පළමුවරට රූගතවන අපූරුව
රුසියානු ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ අන්ද්‍රෙ සෙලිව්නොෆ්

වෙරෝනිකා රූගත කිරීම් ඇරැඹෙයි

රවී සමඟ පුතු රංගනයට

එය කොළඹ යෝර්ක් වීදිය කෙළවර වන තැනයි. සුප්‍රසිද්ධ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයට යාබද ගොඩනැගිල්ල අසල කඩි ගුලක් ඇවිස්සුනාක් මෙන් පිරිසක් එහෙ මෙහෙ යති. එක් අයකුගේ අතහි අති නවීන චිත්‍රපට කැමරාවකි. තිර පිටපත් දෙකක් සුරතහි සිරකර ගත් තවෙකෙකි.

එතැන කෙළවර යුහුසුළුව පුද්ගලයකු වේශ රූපණයෙහි යෙදෙයි.

මම ඒ අය දෙස විමසිලිත්ව බලා සිටියෙමි.

මං ෆොටෝ කිහිපයක් ගන්නද?

මා සමඟ පැමිණි අප ඡායාරූප ශිල්පී අමිත් එස්. සේනාරත්න ඇසීය.

එපා. වෙනදා අපි යන ලොකේෂන් වගේ නෙවෙයි. මේ අය කැමති වෙයි ද දන්නේ නැහැ එක පාරටම ඇවිත් ෆොටෝ ගන්න එකට.

මා එලෙස කීවේ හේතුවක් ඇතුවය. අප මීට ප්‍රථම ගිය දර්ශන තලවලට වඩා මෙතැන හාත්පසින්ම වෙනස්ය. මන්ද යත් මෙම රූගත භූමියේ සිටින්නේ වෙනත් ජාතිකයන් බැවිනි. ඒ කවුරුන්දැයි යන වග මේ සටහන අතරතුරදී ඔබට දැනගන්නට ලැබෙනු ඇත.

We are from Sarasaviya Film Magazine . We Want Meet Drectror of this Location  සහය අධ්‍යක්ෂ යැයි අනුමාන කළ විදෙස් තරුණයකුගෙන් අප විමසීමක් කළේය.

නිසැකය, ඔහුට එය තේරුණේ නැත. අපි දෑත පාවිච්චි කොට සංඥා භාවිතයෙන් අදහස් හුවමාරු කර ගත්තෙමු.

ඔහු අපව ගෛාඩනැගිල්ල තුළට ගෙන ගියේය.

මට හිතෙන්නේ මේ අයට ඉංග්‍රීසිවත් බැහැ වගේ.

මම කිව්වෙමි.

පුදුමයි! ඉංග්‍රිසි බැරි අයත් ඉන්නවද?

අමිත් විස්මය පළ කළේය.

ආයුබෝවන්, ආයුබෝවන්, ඔයාලා වෙලාවට ආවේ. තව පොඩ්ඩකින් ෂූට් එක පටන් ගන්නවා.

විදේශිකයින් මැද කවුදෝ කෙනෙකු කාමරයක සිට අමතයි. ඒ වෙනින් කවුරුවත් නොව අප සිනමාවේ පතාක යෝධයකු බඳු රංගනවේදී රවීන්ද්‍ර රන්දෙණියයි.

ඉතින් රවී අයියේ, මෙතැන මොකද වෙන්නේ. ඉන්න අයගෙන් කාටවත් ඉංග්‍රීසිවත් බැහැනේ.

ඉන්න මං පැහැදිලි කරලා දෙන්නම්.

මෙතන ඉන්න සේරමලා රුසියන් ජාතිකයෝ. ඒ අයගේ ටෙලි නාට්‍යයක් තමයි මේ ෂූට් කරන්නේ. ඒකේ නම වෙරෝනිකා. රුසියාවේ මෙවන් රූගත කිරීමක් ලංකාවේ කරන පළමුවතාව මෙයයි. අන්න ඉන්නවා ඩිරෙක්ටර්. යමු එයත් එක්කත් කතා කරමු. රවී අයියා අප දෙදෙනා කැටුව මෙහි අධ්‍යක්ෂවරයා ළඟට පැමිණියෙමු. නමින් ඔහු අන්ද්‍රේ සෙලිවිනොෆ්ය.

ඒ වන විටත් හෙතෙම චන්දික නානායක්කාර, බිමල් ජයකොඩි, යශෝධා සිටින දර්ශනයක් රූගත කරමින් සිටියහ. විවේකයක් ලද ඇසිල්ලකින් ඔහු අපත් සමඟ කුළුපඟ විය. මෙතැන සිටින භාෂා පරිවර්තකයා අපේ සාකච්ඡාවට සහය විය.

මං ලංකාව ගැන දැනන් හිටියට මෙච්චර ලස්සන ලොකේෂන් තියනවා කියලා ආවට පස්සෙයි දැනගත්තේ. ඒ වගේම ලංකාවේ නළු නිළියෝ ‘සුපර්’ අති දක්ෂයි. හසුරවන්න දෙයක් නැහැ. මට තියෙන්නේ ‘ඇක්ෂන්’ ‘කට්’ කියන්න විතරයි.

ඔහු උද්දාමයෙන් පවසයි.

වෙරෝනිකා කොටස් තිහකින් සමන්විතයි. එය දිග හැරෙනුයේ වෙරෝනිකා නම් වූ තරුණියක වටාය. ඇගේ පියා විද්‍යාඥයෙකි. අහම්බෙන් තම පියාගේ රහස් ලියවිල්ලක් වෙරෝනිකාට හමු වෙයි. ඇය එහි ඇති පරිදි රහසක් සොයා ලොව වටා සංචාරය කරයි. එහිදී ඇය ඉන්දියාවට පැමිණෙයි. මෙහි රූගත කරනුයේ වෙරෝනිකා ඉන්දියාවට පැමිණ ගත කරන දවස් කිහිපයය.

වෙරෝනිකා මෙතැන සක්මන් කරමින් සිටියි. ඇය තරමක් කලබල ස්වරූපයක් ගනියි.

ඒ ඇගේ සැබෑ නාමය නටාලියා බාඩෝය.

මෙයා ගෝල්ෆේස් යන්නලු ඉන්නේ. ඒකයි මේ කලබලේ. ඩිරෙක්ටර් බොරුවට මෙයාව තියා ගත්තා.

මගේ ළඟට විත් නළු සැනෙට් දික්කුඹුර කීය.

ගෝල්ෆේස් යන වචනය ඇසුණ සැනින් ඈ මගේ ළඟට විත් මොනවදෝ ඇසූ නමුත් එය මට තේරුණේ නැත.

මේ අතරවාරයේ කට්ලස්, පැටිස්, සැන්විචස් වැනි ආහාර වර්ග රැගෙන පුද්ගලයකු ආවේය. ඔහු මෙතැන ඉන්න අයට ඒවා බෙදමින් ගියේය.

ඉන් සැන්විචසයක් අතට ගෙන කෑ චන්දික නානායක්කාරගේ මූණ ඇඹුල් විය.

මොනවද මේ, මේකේ ලුණුත් නෑ, මිරිසුත් නැහැ. පැණිම පැණි රහයිනේ.

මේ මේ ඔයා කලා තියෙන්නේ රුසියාවේ කට්ටියට හදපු සැන්විචස් එකක්නේ. ඒගොල්ලන්ට මිරිස් දාලා කන්න බැහැනේ. ට්‍රේ එකේ අනිත් පැත්තෙ තිබුණා අපිට කන්න ඕන දේවල්. බිමල් ජයකොඩි, චන්දිකට සිදු වූ දෙය ගැන පැහැදිලි කිරීමක් කළේය.

කාලය ගෙවී යද්දී රූගත කිරීම් අවසන් විණ. ඒ වෙනුවෙන් ගොඩනැගිල්ලේ එහා මෙහා කොට තිබූ ආම්පන්න පුටු ආදිය සියල්ලෝම පෙර තිබූ අයුරින්ම සැකසුවේය. එමෙන්ම රූගත කිරීම් සිදු කෙරෙද්දී ඒ අයගෙන් කිසිම කෙනෙකු ජංගම දුරකතන භාවිත නොකිරීම මා දුටු විශේෂත්වයකි. වෙරෝනිකා හී ලාංකේය සම්බන්ධීකරණය රවීන්ද්‍ර රන්දෙණියගේ සභාපතිත්වයෙන් යුතු ‘ද ෆිල්ම් ටීම්’ ආයතනයෙනි. එම ආයතනයේ එන්ස්ලි ද සිල්වා රේඛීය නිෂ්පාදකවරයාය. ගෝපි ධර්මරත්නම් අලෙවි ප්‍රවර්ධන අධ්‍යක්ෂවරයාය.

වෙරීනිකා හි නළු නිළියන්:

රුසියාවෙන්

නටාලියා බාඩෝ

නෙනිස් බුර්ගසෙෆ්

ෆර්කාඩ් මහඛ් දොෆ්

ලංකාවෙන්

රවින්ද්‍ර රන්දෙණිය, සඳුන් විජේසිරි, අමරසිරි කලංසූරිය, ජී. ආර්. පෙරේරා, ඥානාංග ගුණවර්ධන, යශෝධා විමලධර්ම, බිමල් ජයකොඩි, දයා වයමන්, චන්දික නානායක්කාර, ඩී. බී. ගංගොඩතැන්න, සමීර රන්දෙණිය, සුනිල් ප්‍රේමකුමාර, නෙතලි නානායක්කාර, සෝමසිරි අලකොලංග, රංජිත් වික්‍රමසිංහ, සැනෙට් දික්කුඹුර, රෝහිත මාන්නගේ

වෙරෝනිකා නිෂ්පාදනය – නිකොලොස් බෙසුවාසිවිල්

සහය අධ්‍යක්ෂණය – කොන්ස්ටන්ටීන් ඇන්ටනොෆ්

කැමරාකරණය – විලැඩ්මීර් බයිකොවිස්කි