|
විජය - සොනියා ඡායාරූප කතාවකට
ප්‍රවීණ කලා විචාරක සුගත් වටගෙදර සරසවියේ ගතකල දවස්
සෝමවීර සේනානායකයන්, ඒ. ඩී. රංජිත් කුමාරත්, මමත් නිවාඩු දිනයක අනුරාධපුරයේ වැඩ මුළුවක් සඳහා ගියෙමි. මෙම වැඩමුළුව අනුරාධපුරයේ සංවිධානය කළේ රෝහණ දන්දෙනියයි. ඒ නිර්මාණ සේනා සංවිධානය වෙනුවෙන්. මා එහිදී නාට්‍ය කලාව පිළිබඳවත්, සෝමවීර සේනානායක සාහිත්‍ය පිළිබඳවත්, ඒ. ඩී. රංජිත් කුමාර සිනමාව පිළිබඳවත් එහිදී දේශන පැවැත් විය. ඒ වැඩ මුළුවලින් කලා ක්ෂේත්‍රයට නවක පිරිස් රැසක් එක් විණි. විමලරත්න අධිකාරි, ආර්. එම්. යසරත්න, සුසිල් ගුණරත්න එකී ආයතනයෙන් කලාවට අවතීර්ණ වූ අය විය. සුසිල් පසු කලක සරසවිය කර්තෘ පදවිය ද ඉසිලුවේය. මතක මුහුණු නමින් මම සරසවියට කොලමක් ලිව්වෙමි. බොහෝ නළු නිළියන්ගේ පළමු ලිපිය ලිය වුණේ මා අතිනි. එකල මම නාරාහේන්පිට බෝඩිමක නැවතී සිටියෙමි. ඒ නිසාම මට ලොකු නිදහසක් ද ලැබිණ. එවක නිෂ්පාදනය වන කුමක් හෝ නාට්‍යයක මංගල දර්ශනය සඳහා මට ආරාධනා පතක් ලැබිණ. ඒ නිසාම මම අත්නොහැරම නාට්‍ය බැලුවෙමි. නාට්‍ය පිළිබඳ මා අතින් විචාර ලිපි ලිවීමට නාට්‍ය නැරැඹීම අත්‍යාවශ්‍ය දෙයක් විය. එහෙත් මා චිත්‍රපට නැරැඹුවේ තෝරා ගෙනය. එඩ්වඩ් ජයකොඩි ගායනා කළ මුල්ම සරල ගීතය වූ රැයේ හමා ආ බොල්් පින්නෙන්දෝ ගීතය මා අතින් රචනා වූයේ ද මේ අවදියේදීය. එදා සරසවිය කර්තෘ මණ්ඩලයට නළු නිළියන් පමණක් නොව කවියන්, සාහිත්‍යකරුවන්, නාට්‍යකරුවන් නිතර ආ ගියහ. මම සිළුමිණට පින්තූර කතාවක් රචනා කළෙමි. මේ සඳහා රටේ ප්‍රසිද්ධ නළු නිළියන් රැසක් පෙනී සිටියහ. මේ කතාව සඳහා ඡායාරූප ගනු ලැබුවේ බන්දු එස්. කොඩිකාරය. කුමක් හෝ ප්‍රශ්නයක් හේතුවෙන් වරක් අවශ්‍ය පින්තූර නොලැබීමෙන් කතාව පත්තරයේ පළ කිරීමේ ප්‍රශ්නයක් ඇති විය. එවකට සිළුමිණ කර්තෘවරයා වූ එස්. සුබසිංහ මහතා මා කැඳවා ඒ සතියට පින්තූර ගැනීමද මට පැවරුවේය. මම විජය කුමාරතුංගයන් සොයා ඔහු ඒ වන විට පදිංචිව සිටි තලකොටුවේ නිවසට ගියෙමි. සෝනියා දිසා හා විජය යොදා කතාවේ හැටියට පින්තූර කීපයක් ගත් මම ඒ සතියේ සිළුමිණට පින්තූර සැපයූවෙමි. එදා පින්තූර ගැනීමට විජයගේ ගෙදරට ගිය මා ඔහු මියයන තුරුම ඒ මිතුදම එසේම පැවතිණ. සෝමවීර සේනානායක අහිකුණ්ඨක ජීවිත පදනම් කරගෙන සත් වෙනි දවස නමින් විශේෂාංගයක් ලියනු ලැබිණි. එහි අහිකුන්ඨක ජීවිත පිළිබඳ පින්තූර ගනු ලැබුවේ මා විසිනි. මෙම විශේෂාංගය පදනම් කොට බන්දුල හරිශ්චන්ද්‍ර චිත්‍ර කතාවක් ද ඇන්දේය. මේ සඳහා ගනු ලැබූ පින්තූරයක් සඳහා මා හට ජාත්‍යන්තර සම්මානයක් ද හිමි විය. මේ විශේෂාංගය සඳහා ඡායාරූප ගැනීමට ගිය අවස්ථාවේ මා ලැබූ අත්දැකීම් පාදක කොට මම දූ දරුවෝ නමින් චිත්‍රපට තිර රචනාවක් ද ලිව්වෙමි.
මේ විචාරය නොරිස්සූ නාට්‍යයට සම්බන්ධ පිරිස් එවක අගමැතිවරයාව සිටි ආර්. ප්‍රේමදාස මහතාට විචාරය පිළිබඳ වැරැදි අදහසක් ඇති කළේය. මේ පිළිබඳ ආරංචිය මට ද දැනගන්නට ලැබිණි. ආණ්ඩුවේම මාධ්‍ය ආයතනයක සිට ආණ්ඩුවේම වැඩක් විවේචනය කිරීම පිළිබඳ මට තිබූ චෝදනාව විය. බොහෝ දෙනෙකුගේ අදහස වූයේ මේ විචාරය නිසා මගේ රැකියාව ද අහිමි වන බවය. දිනක් මට එඩ්මන්ඩ් රණසිංහයන්ගෙන් කැඳවීමක් ලැබිණි. ඒ මේ ප්‍රශ්නයට දඬුමක් දීමටය. මම ද ඒ සඳහා සූදානම් වී ඔහු හමුවට ගියෙමි.
සුගත් අපි දාන විචාර හොඳට මිනිස්සු කියවනවා. ඒ විතරක් නෙමේ රටේ අගමැතිත් කියවනවා.
ඒකෙන්ම පේනවා අපට ලැබෙන ලිපිත් මේ නිසා ඇවිත් තියෙන ප්‍රශ්නත්. දන්නවනේ දැන් ඇවිත්
තියෙන ප්‍රශ්නයත්. ඒ්ක මම බලා ගන්නම්. මේකට මම දෙන දඬුවම තමයි සුගත්ගේ රස්සාව නැති
කරන එක නෙමේ. මට හැම සතියකම මේ වගේ විචාරයක් ලියල දෙන්න. ඒක තමයි දඬුවම. ධර්මදාස බොතේජු මහතා සරසවියේ කර්තෘ ධූරයට පැමිණීමත් සමඟ සරසවි බැල්ම නමින් පිටුවක් නම් කොට මට භාර දුනි. එහි බොහෝ විට පළ වූයේ බාහිර පුද්ගලයන් එවනු ලබන කාව්‍ය නිර්මාණයන්ය. කර්තෘවරයාට ලැබෙන සියලු බාහිර නිර්මාණ ඔහු හැරෙන තැපෑලෙන් මා වෙත එවනු ලැබිණ. බොතේජු මහතා ඒ එවන හැම ලිපියකම උඩින් පුතේ කොහොම හරි මේක දමන්න කියා සටහන් කර එවනු ලබයි. මුළු නිර්මාණය නොවූවත් එයින් එකක් හෝ දෙකක් පළ කිරීමට මම නොයෙක් විට උත්සාහ ගත්තේ අන් අයගේ නිර්මාණයන්ට ද තැනක් දීමේ අදහසිනි.
සරසවියේ සාමුහිකත්වය එක්තැන් වූ භාරධූර කාර්යයක් වූයේ සරසවිය සම්මාන උළෙලයි. සරසවිය
සම්මාන උළෙලට කර්තෘ මණ්ඩල සාමාජිකයකු ලෙසින් මුල් අවධියේ දායකත්වයක් එක් කළ මා හට
සරසවියෙන් සමුගෙන ගිය පසු සිනමා සම්මාන උළෙලක සම්මාන විනිශ්චය සඳහා ද දායකවීමේ
භාග්‍ය ලැබිණි. බෙහෝ විට ශාස්ත්‍රීය පොත පත වැඩි වශයෙන් පරිශීලනය කිරිම නිසාම යම්
යම් විෂයන් පිළිබඳ දැනුමක් මා තුළ තිබිණි. මේ නිසා ඒ දැනුවත්භාවය නිසාම මා හට
චිත්‍රපට, නාට්‍ය, සම්මාන උළෙල විනිශ්චය සඳහා ආරාධනා කෙරිණි. සරසවිය විටෙක රස ගුලාවකි. ඡායාරූප ශිල්පී රාජා පෙරේරා පදමට මත් වී එවක සරසවිය ප්‍රධාන කතුවරයා වූ විමලසිරි පෙරේරාට කියූ කියමනකට කර්තෘ මණ්ඩලයම බඩ අල්ලාගන සිනාසුණේ විමලසිරි පෙරේරාත් සමඟය. ඒ සිද්ධිය මෙසේය. ඔහු විමලසිරි පෙරේරාට කීවේ ඔබතුමාගේ තාත්තත් කවියෙක්. මගේ තාත්තාත් (තිහාරියේ පීටර් පෙරේරා) කවියෙක්. ඒත් අපි දෙන්නටම කවි කියන්න බෑ යනුවෙනි. රාජා එසේ කීව ද, රාජාට කෙසේ වෙතත් විමලසිරි මහතාට හොඳ හැටි කවි කියන්නට හැකියාව තිබිණි.
රුක්මණී දේවියගේ අවමඟුල පැවැති දින මට පැවරුණේ ඒ පිළිබඳ විශේෂාංග ලිපියක් සැකසීමටය.
ඒ අනුව මීගමුවට යාමට අවශ්‍ය වෑන් රථයක් ද සූදානම් කර ගතිමි. ඡායාරූප ශිල්පියා ලෙස
මා සමඟ යාමට සිටියේ රෝලන්ඩ් පෙරේරාය. නියමිත වේලාවට ආයතනයෙන් පිට වුව ද රෝලන්ඩ්
ගමනට සූදානම් වී නොතිබිණි. අපි ඔහුගේ නිවසේ සිට පැය කිහිපයක් ප්‍රමාද වී මීගමුව බලා
ගියෙමු. අවම¼ගුලට යන විටත් එහි බොහෝ කාර්යයන් සිදු වී තිබුණි.
විශේෂයෙන්ම රුක්මණීගේ ස්වාමි පුරුෂයා වූ එඩී ජයමාන්නට රජය මඟින් මුදල් පරිත්‍යාගයක් සිදු කර තිබිණි. ඒ සඳහා පැමිණ තිබුණේ ඒ. ජේ. රණසිංහ මහතාය. ඔහු එවකට ටවර් හෝල් රඟහල පදනමේ අධ්‍යක්ෂ ජෙනරාල්ය. මේ කටයුත්ත අවසන් වී තිබුණ බැවින් අප සමඟ ගිය රෝල්න්ඩ් තමන්ගේ වූ අතපසු වීම වසා ගන්නට වාහනයෙන් බැස ඒ. ජේ. රණසිංහ වෙත දුව ගියේය. ඔහුගේ කනට කර මොනවාදෝ කියන්නට විය. යළිත් එඩී ජයමාන්න ළඟට ගිය ඒ. ජේ. රණසිංහ රෝලන්ඩ්ගේ ඉල්ලීමට එඩීගේ චෙක් පත නැවත දුන්නේ ඡායාරූපය ගන්නටය. මෙම සිද්ධිය රෝලන්ඩ්ට කෙසේ වුවද මට මහත් ලැජ්ජා සහගත සිදධියක් විය. 1980 දී මා ලේක්හවුස් ආයතනයෙන් සමුගෙන මහවැලි කේන්ද්‍රයේ මාධ්‍ය අංශයට සම්බන්ධ වුණෙමි. එහිදී මා ඉසුර නමින් මාසික සඟරාවක් සංස්කරණය කෙරිණි. ලේක්හවුස් ආයතනයෙන් සමුගත් පසු මා හට සරසවිය සමඟ සමීප ඇසුරක් පවත්වන්නට නොහැකි වූයේ මා වෙත පැවරී තිබූ රාජකාරි කටයුතුª හේතුවෙනි. මා සරසවියත් සමඟ තිබූ සබඳතාවය පසුව තවත් දුරස් වූයේ මා ජාතික රූපවාහිනියට එක්වීමත් සමඟය. සරසවිය නිසා මගේ ජීවිතයට බොහොමයක් දෑ ලැබිණ. ඒ සියල්ල මගේ ජීවිතයට ආලෝකයක්ම විය. ගුවන් විදුලි වැඩසටහන් සඳහාත්, රාජ්‍ය නාට්‍ය උළෙල විනිශ්චය සඳහාත්, චිත්‍රපට විනිශ්චය සඳහාත් මට ආරාධනා ලැබුණේ සරසවිය නිසාමය. සරසවියේ මා ගත කළ පුවත්පත් කලා ජීවිතය අදත් මා සිහිපත් කරනුයේ හද පිරි සතුටිනි. කලාව වෙනුවෙන් මා කළ අල්ප මාත්‍ර සේවාවට මා වෙත සරසවියෙන් ලැබූ අපමණ ශක්තිය ජීවිතයේ කිසිදු දිනෙක මට සම කළ නොහැකිය. අදත්, හෙටත්, මතුවටත් මම සරසවියට ණයගැතිය. තවත් චිරාත් කාලයක් සරසවිය වැජඹේවා.
|