වර්ෂ 2012 ක්වූ නොවැම්බර් 08 වැනිදා බ්‍රහස්පතින්දා




මට ඔයා මගේ පණ වගේ තව පොඩ්ඩෙන් කුණු කූඩේ

මට ඔයා මගේ පණ වගේ තව පොඩ්ඩෙන් කුණු කූඩේ

දිලුම් - සමීර වාසනාවන්ත ගීතය ගැන කතා කරයි

මට ඔයා මගෙ
පණ වගේ
ළඟ නැතත් මගේ
ළඟ වගේ

මෙහෙම කියන්නෙ දිලුම් සහ සමීර. කවුද මේ දෙන්නා? ඔවුන් තමයි අප සංගීත නිම්නයට පා තැබූ අලුත්ම යුගල හඬ එකතුව.

‘මට ඔයා මගෙ පණ වගේ’

ඒ දිලුම් සහ සමීර කුලුඳුලේ එළිදැක් වූ ගීතය.

එය හරිම ආදරණීය පද වැලකින් සමන්විතයි. එහෙයින් ‘මට ඔයා මගෙ පණ වගේ’ බොහෝ පෙම්වතුන්ගේ තේමා ගීතයක් බවට මේ වන විට පත් වෙලා.

එසේ නම් මේ සැරසෙන්නේ කෙටි කලකින් අප හදවත් හී ළැගුම් ගත් දිලුම් සහ සමීරව හඳුනා ගන්න.

දිලුම් මුලින්ම ඔබ දෙපොළ ගැන කතා කරමුද?

අපි දෙන්නම ඉගෙන ගත්තේ බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයේ. මොරටුව තමයි දෙන්නගෙම ගම. මේක ඇත්තටම පාසල් මිතු දමක් කිව්වොත් නිවැරැදියි. දෙන්නටම සංගීතය පැත්තෙන් ඉදිරියට යන්න දැඩි වුවමනාවක් තිබුණා. ඒ හින්දා කතා කරලා ඒ ගමන එකට යන්න තීරණය කළා.

එතෙන්දි හා හා පුරා නිර්මාණය කළේ ‘මට ඔයා මගෙ පණ වගේ’. එහි පද රචනයත්, සංගීතයත් අපේ. ඒක අපිව හිතුවටත් වැඩිය මිනිස්සු අතරට ගෙන ගියා. එය හරිම වාසනාවන්ත ගීතයක්.

ඇයි එහෙම කියන්නේ?

වර්තමානයේ ක්ෂේත්‍රය තුළ ගීතයක් ජනප්‍රිය කර ගන්න ටිකක් අපහසුයි. දිනෙන් දින නිර්මාණය වන ගීතත් වැඩියිනේ. එත් අපි දෙන්නා අවුට් කරපු පළමු ගීතය සංගීත ලෝලීන් වැළඳ ගත්තේ ක්ෂණයකින්. මේ ගීතය අහපු නවක නිර්මාණකරුවන් අපෙන් ගීත නිර්මාණය කරලා ඉල්ලනවා. සංගීතයෙන් පමණක් ජීවිතයේ ඉදිරිය දකින්න තීරණය කළ අපට මෙච්චර උදව් කළ ‘මට ඔයා මගෙ පණ වගේ’ වාසනාවන්ත ගීතයක් කිව්වේ ඒකයි.

කවුද මෙහි පද ගෙත්තම් කළේ?

සමීර තමයි ගීතය ලිව්වේ.

සමීර කාව ආවර්ජනය කරමින් ද මෙවන් වූ ප්‍රේමණීය වචන රචනයක් කළේ?

එහෙම විශේෂ කෙනෙක්ව මතක් කර කර නෙවෙයි මං මේක ලිව්වේ. පද මාලාව පිටුපස පුංචි අතුරු කතාවක් තියනවා. ඒක කිව්වොත් හොඳයි මේ වෙලාවේ.

ඔව්, ඒ කතාවත් කියමු?

අපි දෙන්නා මුලින්ම සිංදුවක් කරන්න ඕනෙ යැයි හිතලා ගීත කිහිපයක් ලිව්වා. ඒ එකක්වත් හරි ගියේ නැහැ. දිනක් මං මගේ කාමරේ අස් කර කර හිටියා. දිලුම් ඒ වෙලාවේ එතැනට ආවා. මම පරණ කොල ගොඩක් පෙන්වලා,

මචං ඔය ටික බලලා එළියේ කුණු කූඩයට විසික්කරපංකෝ’ යැයි කිව්වා.

ඔහු ඒවා එකිනෙක තබා රැගෙන යන්න හදද්දී එක කොළයක් උවමනාවෙන් අතට ගෙන දැඩිව කියෙව්වා.

සමීර මෙන්න අපේ පළවෙනි සිංදුව. මේකෙ ඉතුරු වචන ටික ටක් ගාලා ලියපං.

ඔහු මගේ අතට ඒක දුන්නා.

මට ඔයා මගෙ පණ වගේ
ළඟ නැතත් මගෙ ළඟ වගේ

ඒ පේලි දෙක විතරයි තිබුණේ. වැඩි වෙලා ගතවන්නට මත්තෙන් මං එහි ඉතිරිය ලියා සම්පූර්ණ කළා. තව පොඩ්ඩෙන් ‘මට ඔයා මගෙ පණ වගේ’ කුණු කුඩයේ.

ගීයෙහි ආරම්භයේ සිට අවසානය දක්වා අතිශය ආදරණීයයි නේද?

ඔව්’ ප්‍රේමවන්තයෙක් හෝ ප්‍රේමවන්තියක් තම ආදරණීයයාට කියන ආදරයේ උච්චතම තැනහි තිබෙන ආදරණීයම වදන් පේලියෙන් තමයි ගීතය ඇරැඹෙන්නේ. ඒ හින්දම පෙම්වතුන් සිය සබඳතාවය තීව්‍ර කර ගැනීමට මෙහි පද කෙටි පණිවුඩයන් මඟින් හුවමාරු කර ගන්නා බව පුද්ගලිකව මට කියලා තියනවා. මේ හේතුව නිසා අපේ පළමු වෑයම සදාකාලිකයි. පෙබරවාරි 14 ඇති ආදරවන්තයින්ගේ දිනයට තව තවත් එහෙම හුවමාරු වේවි. මේ වචන කෙතරම්ම මිනිසුන් අතරට ගියා ද කියලා කිව්වොත් එක පිරිමි ළමයෙක් ඔහුගේ ප්‍රේමවන්තියගේ නිවස ඉදිරිපිට ඇති බිත්තියක ගීතයේ පේළි කිහිපයක් තීන්තවලින් ලියලා.

දිලුම් , මෙහි වීඩියෝව නිම වූ ආකාරය ගැන කතා කරමු?

කටුනායක ගුවන් තොටුපොළ සහ ඒ අවට ප්‍රදේශයන්හියි වීඩියෝව රූගත කළේ, ප්‍රසාද් රණසිංහගේ අධ්‍යක්ෂණයෙන්. ශලනි තාරකා, මම, දිලුම් සහ දිනුෂා කියලා අලුත් ගැහැනු ළමයෙක් එහි රඟපෑවා. වීඩියෝව එක තැනක් තියනවා, සමීර කාර් එකක දිනුෂා සමඟ රඟපපා ඩ්‍රයිව් කරන දර්ශනයක්. කැමරාව තිබුණේ කාර් එකේ පිටුපස රඳවලා. සමීර කැමරා ශිල්පියාගෙන් බැනුම් අහ අහා තමයි ඒ දර්ශන පෙළ රූගත කළේ. ඇයි ඉක්මනට පැදෙව්වා නම් කැමරාව වැටෙනවා. හිමින් ගියා නම් සිංදුවේ බීට් එකට සෙට් වෙන්නේ නැහැ. සමීර හයියෙන් එලවද්දී කැමරා ශිල්පියාගෙන් බැනුම් අහනවා. හිමින් ගියාම ප්‍රසාද් බනිනවා. මං පසුව සමීරට ඒ ගැන මතක් කර කර ඇති වෙන්න හිනා වුණා.

ඔන්න දිලුම් සමීරට හොඳ හින්ට් එකක් පාස් කළා. දැන් සමීරගෙ වාරේ?

අපි දෙන්නගෙන් වැඩිපුර ගැහැනු ළමයින්ගේ ආකර්ශණය තියෙන්නේ දිලුම්ට. හැබැයි නන්නාඳුනන ගැහැනු දරුවකු අපට යම් ප්‍රතිචාරයක් දක්වාගෙන එද්දී දැන් චණ්ඩියා වගේ හිටියට මාව ඉස්සරහට දාලා හැංගෙනවා.

මේ ආදරණීය හඬ සුසංයෝගයට සමීප වූ විශේෂ දෙදෙනෙකු ඇති? මගේ ඒ පැනය දෙදෙනාටම.

දිලුම් – තවම ඒ ගැන හිතුවේ නැහැ.

සමීර – මමත් දිලුම්ගේ පිළිතුරම කියනවා. තවම ආදරය, විවාහය ගැන හිතලා නැහැ. අපේ සංගීත ගමන ඇැරැඹියා විතරයි. පසුව ඒ වෙනස්කම් සිදු වේවි.

දිලුම්, මොනවද දෙදෙනාගේ ඉදිරි වැඩ කටයුතු?

සංගීතමය තමයි කරගෙන යන්නේ. සරල හරවත් ගීත රසික රසිකාවන්ට දායාද කරන්නට බලාපොරොත්තු වෙනවා.

සමීර, දිලුම් සහ සමීර ලේබලය යටතේ ද ඔබලාගේ ගී නිර්මාණ එළි දකින්නේ?

සත්තකින්ම. බොහොම අවබෝධයකින් යුතුව මේ ගමන දිලුම් සමඟ මා යනවා. ඒ අතර අපි දෙන්නම හැකි පරිදි සංගීතය හදාරනවා.

දිලුම් සහ සමීරගෙ ගීතයේ පද මාලාව:

* මට ඔයා මගෙ පණ වගේ
ළඟ නැතත් මගේ ළඟ වගේ
හිත පුරා රැඳි සෙනෙහසින්
ඔබ මවෙත පිදූ දේ ආදරේ

* ඔයා මගේ පණ වගේලු
මට දරා ගන්න බැරි ඒකලු
හිනාවෙන්නෙ සඳ වාගෙලු
මට බලා ඉන්න බැරි ඒකලු
සඳ සොරා ගත්තේ එක රෑකලු
මට හිතාගන්න බැරි වෙන්නලු
මට නිදාගන්න බැරි වෙන්නලු
මට ඔයා. . .

* ඔයාවමයි මට ඕනෙලු
මට කියා ගන්න බැරි ඒකලු
ඔයාටමයි මං ආසලු
මට ඔයා නැතිව බැරි ඒකලු
අපි හිනා වුණේ එක පාරලු
රෑ හීනෙන් පෙන්නෙ මාවලු
මං ඒ හීනේ හරි ලස්සනලු
මට ඔයා . . .