වර්ෂ 2012 ක්වූ නොවැම්බර් 08 වැනිදා බ්‍රහස්පතින්දා




ලින්කන්ට 13 වැනි සංශෝධනය වැදගත්

ලින්කන්ට 13 වැනි සංශෝධනය වැදගත්

‘ලින්කන්’ අභියෝගයක් වූ හැටි ස්ටීවන් ස්පීල්බර්ග් විස්තර කරයි

මෙවර ටයිම් සඟරාව සිය කවරය වෙන් කරනුයේ ස්ටීවන් ස්පීල්බර්ග් ගේ නවතම චිත්‍රපටය ‘ලින්කන්’ චිත්‍රපටය උදෙසාය. ස්පීල්බර්ග් සමඟ එම සඟරාව කළ සංවාදය උපුටා ගැනුණේ එයිනි.

අමෙරිකානු ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම ජනාධිපති ලෙස සැලකෙන ඒබ්‍රහම් ලින්කන් ගේ චරිතය රඟනුයේ ඩැනියෙල් ඩේ ලෙවිස්ය. මයි ලෙෆ්ට් ෆුට් ලාස්ට් ඔන් ද මොහිකන්ස් වැනි චිත්‍රපට හරහා ලෙවිස් ලොව අග්‍රගණ්‍ය නළුවකු ලෙස සලකයි.

ස්ටීවන් ස්පීල්බර්ග් ගැන සැකෙවින්

නිසැකයෙන්ම ලෝක සිනමා ඉතිහාසයේ වඩාත්ම බලපෑම් ඇති කළ සිනමා පෞරුෂයකට හිමිකම් කියන ස්ටීවන් ස්පීල්බර්ග් බොහෝ විට හොලිවුඩයේ සිටින වඩාත්ම ප්‍රසිද්ධ මෙන්ම ලොව වෙසෙන ධනවත්ම සිනමාකරුවකු වෙයි. ඉතා විශාල ආදායම් ලැබූ, විචාරක ප්‍රශංසා වැහි වැසුණු චිත්‍රපට බොහෝමයකගේ අධ්‍යක්ෂණය, නිෂ්පාදනය සහ රචනය යටතේ ස්පීල්බර්ග් ගේ නම සඳහන් වෙනවා.

ෆොර්බ්ස් සඟරාව ඔහුගේ වත්කම ඩොලර් බිලියන 3 ක් බව හඳුනා ගත්තා. 2006 ප්‍රිමියර් සඟරාව ඔහු චලන චිත්‍ර කර්මාන්තයේ සිටින වඩාත්ම බලවත් මෙන්ම බලපෑම් කළ හැකි පුද්ගලයා බවට තෝරා ගත්තා.

ටයිම් සඟරාව ඔහුව විසිවන සියවසේ ජීවත් වුණු වැදගත්ම පුද්ගලයන් සිය දෙනා අතරට නම් කෙරුවා. විසි වන සියවස අවසානයේ ලයිෆ් සඟරාව ස්පිල්බර්ග් ඔහුගේ පරම්පරාවේ සිටින වඩාත්ම බලපෑම් කළ හැකි පුද්ගලයා ලෙස නම් කළ අතර 2005 එම්පයර් සඟරාව ස්පීල්බර්ග් ලෝකයේ ශ්‍රේෂ්ඨතම චිත්‍රපට අධ්‍යක්ෂවරුන් අතරින් ප්‍රථම ස්ථානයට ශ්‍රේණිගත කළා.

සම්ප්‍රදායික නොවන, හරි මැදට නොවුණු කැමරා ශිල්ප ක්‍රම ජෝස් චිත්‍රපටයේ දුටු වියපත් ඇල්ෆ‍්‍රඩ් හිච්කොක් එය නැරඹීමෙන් පසු තරුණ ස්පීල්බර්ග්ව පැසසුවේ (ඔහු තමයි අප අතරින් රඟහල් වේදිකා කවය නොදුටු පළවෙනියා. තේරෙන භාෂාවෙන් කියනවා නම් (භාවාර්තය ප්‍රකාශ කරනවා නම්) ඔහු තමයි රඟහලක අවකාශමය ගතික වලින් එහාට දෘශ්‍යමය වශයෙන් සිතන්නට ගත් ප්‍රථම ප්‍රචලිත ප්‍රවණතා අධ්‍යක්ෂවරයා යනුවෙන් සඳහන් කරමි).

සමහර විට බටහිර ලෝකයේ වඩාත්ම සුප්‍රසිද්ධම ජීවමාන සිනමාකරුවා වන ස්ටීවන් ස්පීල්බර්ග් පුද්ගලික දැක්මේ ඉතා සමීප බව නූතන වාණිජමය සාර්ථකත්වයට අවශ්‍ය අමුද්‍රව්‍ය සංයෝජනය කිරීමෙන් ඉතා සාර්ථක ලෙස චිත්‍රපට නිර්මාණයේ යෙදෙන්නෙක්.

ඔහුගේ අති සාර්ථකත්වය ගැඹුරු දැක්මක් ඇති වැදගත් කලාකරුවකු ලෙසට ඔහුට පිළිගැනීමක් ඇති වීම ප්‍රමාද කළ නමුත්, ස්පීල්බර්ග් ගේ නිර්මාණ ඒවායේ ප්‍රබල දෘෂ්‍ය කැටයම් සහ සමස්ත ලෝකයම හඳුනාගත් භාවයත් සමඟින් විසි වන සියවසේ සිනමාවට නිත්‍ය වශයෙන්ම මහත්සේ බලපෑම් ඇති කළ බව කිසිවකුට ප්‍රතික්ෂේප කළ නොහැකියි. මේ කිසිවක් නැතත් ස්පීල්බර්ග් ගේ චිත්‍රපට විශේෂ ප්‍රයෝග කලාවේ පුරෝගාමී වූවේ දෘශ්‍ය සහ ශ්‍රවණ අංශ දෙකෙන්මයි.

තවද ප්‍රේක්ෂක ප්‍රතිචාර උකහා ගැනීමට ගුප්ත හුරුබුහුටිකමක් එම ප්‍රයෝග සතු වූවා. ස්පීල්බර්ග්ගේ මේ සාර්ථකත්වය ඔහුගේ පරම්පරාවේ කිසිම සිනමාකරුවකුට නොහැකි තරමට සංස්කෘතික ව්‍යාපෘති සහ නොයකුත් මානව හිතවාදී සුභසාධන වැඩවල යෙදීමට ඔහුට නිදහස සපයා දී තිබෙනවා. ඔහු මේ සියලු කාර්යයන්වල නියැලෙන්නේ ලොවා පුරා සිනමා ලෝලීන්ගේ සිත්සතන් සනහන ලබැඳි සිනමා නිර්මාණ ඔවුනට නිරන්තරයෙන් තිළිණ කරන අතරේදීමය.

ටයිම් සඟරාවේ රික් ස්ටෙන්ගල් ලින්කන් චිත්‍රපටයේ අධ්‍යක්ෂ ස්ටීවන් ස්පීල්බර්ග් සමඟ පැවැත්වුණු සම්මුඛ සාකච්ඡාව.

ඒබ්‍රහම් ලින්කන් ඇමරිකානු ඉතිහාසයේ වඩාත්ම කැපී පෙනෙන යෝධ චරිතයක්. එනමුත් ජනප්‍රිය සංස්කෘතිය තුළ ඔහු ගැන නිර්මාණය වුණු සිනමා කෘති නම් ඉතා අල්පයි. ඇයි ඒ?

එයට හේතුව යම් විදිහක අබිරහසක්. ඇමරිකාව තුළ වසරක් පාසා වෙළද ප්‍රචාරණයේ නාමයෙන් ලින්කන් ගේ මුහුණ යෙදූ බැලුන් පා කර හරිනවා. සැටර්ඩේ නයිට් ලයිව් වැනි වැඩසටහන්වල කොමඩි කෑලිවලට පවිච්චි කරනවා. ප්‍රහසන රංගනවල කොටස් කර ගන්නවා. ඊට අමතරව ජනාධිපතිවරුන්ගේ දිනයේදී වෙළද දැන්වීම්වලටත් ඔහුගේ මුහුණ පාවිච්චි කරනවා.

එහෙම බැලුවාම ලින්කන් කාටුන් චරිතයක් තරමටම ජනප්‍රිය සංස්කෘතිය තුළ කූප්‍රකට වෙලා තිබෙනවා. ලින්කන් ගැන මං නරඹපු අවසන් චිත්‍රපටයත් (මං එය අවුරුදු 15 කින් 20 කින් විතර නරඹලා නැහැ) 1930 ගණන්වල හෙන්රි ෆොන්ඩා රඟපෑ යන්ග් මිස්ටර් ලින්කන්. මට තේරුම් ගන්නට බැහැ එතරම් කාලයක් ගිහිල්ලත් ඇයි කිසි කෙනකු, එහෙමත් නැත්නම් අපේ කණ්ඩායමේ සිනමාවේදියකුටවත් ලින්කන් සිනමා ශාලාවකට ගෙන එන්නට බැරි වුණේ කියලා.

ඔබ චිත්‍රපටයේ රාමුවට ඉතාමත් ආකර්ශණීය ලෙස වහල්භාවය තහනම් කළ 13 වන සංශෝධනයේ ඡේදයක් භාවිත කරනවා?

13 වන සංශෝධනය ලින්කන්ට ඉතාමත් වැදගත් වුණා. ඔහු දැන සිටියා සිවිල් යුද්ධය අවසන් වුවහොත් මේ සංශෝධනය කිසි දිනෙක ව්‍යවස්ථාව තුළට ඇතුල් කර ගැනීමට නොහැකි බව. දකුණට වහල්භාවය නැතුව දිවි ගෙවීමේ හැකියාවක් තිබුණේ නැහැ. ඔවුන් වහල්භාවය අහෝසි කිරීමට දරුණු ලෙස ප්‍රතික්‍රියා කරාවි. නමුත් ලින්කන් හොඳ හැටි දැන සිටියා මේ යුද්ධය අවසන් වීමට පෙර වහල්භාවය අහෝසි නොකළොත් මේ යුද්ධයේ අවසානය තවත් යුද්ධයක ආරම්භයට පෙර ඇති වුණ තාවකාලික විරාමයක් වෙයි කියලා. ඉතින් ඔහු දැන සිටියා මේ සංශෝධනය ක්‍රියාත්මක කිරිම අත්‍යාවශ්‍ය බව. නමුත් ඔහුට ඒ සඳහා අවශ්‍ය ඡන්ද තිබුණේ නැහැ. මේ ඡන්ද ලබා ගැනීම සඳහා ඔහු කළ සටන හරි දේ කිරිමට ඔහු දැරූ අප්‍රමාණ උත්සාහය, අපේ චිත්‍රපටයේ හෘදය එයයි.

ඉංග්‍රීසි කියමනක් තියෙනවා, අවස්ථාව පැමිණුනහොත් එයට සුදුසුම මිනිහාත් පැමිණේවි කියලා. ඒ අවස්ථාවෙන් කොටසක් ලෙස ගත්කළ ලින්කන්ගේ සහභාගීත්වය ඉන් කොපමණද? එහෙමත් නැත්නම් ඒ අවස්ථාව විසින් ලින්කන්ගේ මේ අසමසම ප්‍රතිරූපය මැව්වාද?

ලින්කන්ට ඉලක්කයක්, බලාපොරොත්තුවක් තිබුණා. ඇමරිකාව සඳහා සුන්දර දැක්මක් ඔහුට තිබුණා. නමුත් ඔහු මත වැටුණු මේ කරදර නොවන්නට ඔහු කොතරම් දුරට ප්‍රගතියක් ලබයි ද කියන්න නම් මං දන්නේ නැහැ. මහා ආර්ථික අවපාතය සහ දෙවන ලෝක යුද්ධය නොවෙන්නට ෆ්රැන්ක්ලින් ඩිලානො රූස්වෙල්ට් මොන ආකාරයේ ජනාධිපතිවරයකු වේවිද? අප මුළු ලෝකයම න්‍යෂ්ටික ව්‍යසනයක අත ළඟට ගෙන ආව කියුබානු මිසයිල අර්බුදය නොවන්නට ජෝන් එෆ්. කෙනඩි මොන ආකාරයේ ජනාධිපති කෙනකු වේවිදැයි කියන්නටත් මං දන්නේ නැහැ.

අපි කතා කරමු ඔහුගේ ස්වභාවය, පෞරුෂය, ඉවසීම ගැන, ඔහුගේ නායකත්ව ශෛලිය අද අප අගේ කරන නායකත්ව ශෛලියට බෙහෙවින් ආගන්තුකයි. ඔහුගේ චරිත ලක්ෂණ ක්‍රියාකාරකම් සියල්ලම සැලකිල්ලට ගතහොත් දුරස්ථ ගැඹුරු චින්තනය, අනාගතය දෙස දුරස්ථ දැක්මකින් බැලීම, පුළුල් දැක්ම, ඔහුගේ මුළු කැබිනට්ටුවම ඔහුම සියලුම දේ සඳහා තීරණ ගන්නකං වාඩි වී සිටීම ආදී කරුණු, අද කාලයේ මේ ඇඩිරිනලින්වලින් ධාවනය වන යාන්ත්‍රනයක ඔහුගේ වැනි ආඥාදායක ආකල්පයක් නොගැලපෙන්නට පුළුවන්. එනමුත් ඒ කාලයේත් පුවත්පත් ඔහුට පහර දුන්නා.

මේ චිත්‍රපටය තුළින් විද්‍යාමාන වෙන කැපී පෙනෙන ලක්ෂණ අතර ලින්කන් සහ ඔහුගේ බිරිඳ අතර ඇති සම්බන්තාවයත්, ලින්කන් සහ ඔහුගේ බාලම පුතු අතර සම්බන්ධතාවයත් සඳහන් කරන්න පුළුවන්. ඔහු බොහෝ විට පොළොවේ දණ ගැසූ බවත් මෙහි නිරූපණට කරනවා. මෙම චිත්‍රපටයෙන් පෙන්නුවා ලින්කන් වොෂින්ටන් අගනුවර ලින්කන් ස්මාරකයේ මෙන් අඩි 20 ක් උස පිළිරුවක් නොවන බව.

ඔහු තම රට පමණක් නොව පවුලත් එකට ඇද බැඳ තබා ගැනීමට අවශ්‍ය හැම දෙයක්ම කළා. ඊට අවුරුදු දෙකකට පෙර ඔහුගේ 11 හැවිරිදි පුතා විලී ටයිපොයිඩ් උණ වැලඳීමෙන් මිය යනවා. ඔහුට මේ කම්පනයත් තිබුණා. ඔහුගේ බිරිඳ මේරි තම දරුවාගේ අකල් මරණය ගැන වසර ගණනාවක් ශෝක වුණා.

ඩොරිස් කර්න්ස් ගුඩ්වින් ගේ ටීම් ඔෆ් රයිවල්ස් නම් පොතේ සඳහන් වන අන්දමට අපේ මේ චිත්‍රපටයට පාදක වූ කතාවට වසර දෙකකට පමණ පෙර සිටම මේරි ඒ වන දක්වාම පවුලෙන් ඈත් වී උපවිශ්ටි (මළගිය ප්‍රාණකාරයන් නැවත ගෙන්වා ඔවුන් සමඟ සන්නිවේදනය කරන රැස්විම්) නිතරම පවත්වමින් තම මළ ගිය පුතා සමඟ සන්නිිවේදනය කරන්නට උත්සාහ කර තිබෙනවා. මේ බරත් ලින්කන්ගේ උරමත තිබුණා. ඔහු ඒ කාල වකවානුව තුළ මහ බරක් තමා මත තබාගෙන තමයි ඒ ගමන ගියේ.

ඩැනියෙල් ඩේ ලුවිස්ගේ රඟපෑම ලින්කන්ගේ මේ සියලුම පැති කඩවල් එකට සමෝධානය කරන්නේ ඉතාමත් අපූර්ව ලෙසයි. ඔහුව අධ්‍යක්ෂණය කිරීම මොන වගේ අත්දැකිමක්ද?

ඩැනියෙල් කරපු එක් දෙයක් ගැන මට මුලදී දුක හිතුණා. ඔහුට අවශ්‍ය වුණා තවත් අවුරුද්දක්. නමුත් එය ඉතාමත් නුවණක්කාර තීරණයක් වූයේ ඒ වසර තුළ ලින්කන් ගැන පර්යේෂණ කිරිමට ඔහුට කාලය ඇති තරම් ලැබුණ නිසයි. ඔහුට එම චරිතය ගැන පෞද්ගලික ගවේශනයක යෙදෙන්නට ඒ කාලය ඉඩ දුන්නා. ලින්කන්ගේ හඬ මොන වගේද යන්න සොයා ගන්න ඔහුට අවුරුද්දක් තිබුණා.

අවසානයේ ඔහු ඒ හඬ හොයා ගත්තා. ඔහු ලින්කන්ව ඉතාමත් දැඩි ලෙස ඔහුගේ මනසට, ඔහුගේ ආත්මයට, ඔහුගේ ශරීරයට ඔබ්බවා ගෙන තිබුණාදැයි කිවහොත් මා උදේ දර්ශන තලයට එන විට ඇත්ත ලින්කන් ඔහුගේ මේසය පසුපසින් වාඩි වී සිටිනවා වගේ හැඟුණා. ඉතින් අපිට එතැනින්ම වැඩ පටන් ගන්න පුළුවන්කම තිබුණා.

ඔබ ඔහුට මිස්ටර් ප්‍රසිඩන්ට් (ජනාධිපතිතුමනි) කියා දර්ශන තලයේදී ඇමතුවා. එහෙම නේද?

මුළු රූගත කිරීමේ කාලය පුරාවටම මං ඔහුව ඇමතුවේ ජනාධිපතිතුමනි කියා. ඒක මගේ අදහසක්. ඊට අමතරව මා හැම දිනකම සම්පූර්ණ සූට් එකකින් සැරසුනා. මා සාමාන්‍යයෙන් අධ්‍යක්ෂණයේ යෙදෙද්දී කවමදාකවත් සූට් අඳින්නේ නැහැ. දර්ශන තලයේ ශිල්පීන් හැමෝම වාගේ සැරසී සිටියේ චිත්‍රපටයේ කාලයට ගැලපෙන ඇඳුම් ආයිත්තම් වලින්. නමුත් මම නම් 19 වන සියවසේ සූට් එකක් ඇන්දේ නැහැ. මං ඇන්දේ මේ කාලයේ වැදගත් ඇඳුමක්.

ශිල්පීන් සමඟ මිශ්‍ර වීමට මට අවශ්‍ය වුණා. අපි හැමෝම දැනගෙන සිටියා අපි ඉන්නේ 21 වෙනි සියවසේ කියලා. නමුත් රූගත කිරීම් සඳහා ධවල මන්දිරයට (දර්ශන තලය තුළ සෑදූ) පය තිබ්බ සැනින් චිත්‍රපටයට සම්බන්ධ වුණු සෑම ශිල්පියකුටම දැනුණ දෙයක් තමයි අප ඉතිහාසයේ ඉතාමත් වැදගත් අවස්ථාවක් නැවත මතක් කිරීම සඳහා ඔවුන් සෑම දෙනෙක්ම දායකත්වය දක්වන බව.