වර්ෂ 2012 ක්වූ නොවැම්බර් 08 වැනිදා බ්‍රහස්පතින්දා




කලා පවුලකින් ගී ලොවට එන විදින්ද්‍ර මිගල්

කලා පවුලකින් ගී ලොවට එන විදින්ද්‍ර මිගල්

විදින්ද්‍ර මිගල් ගායන ලොවට පායපු අලුත් තරුවක්. කලා පවුලකින් ලැබුණ හැකියාවත් සමඟ ක්ෂේත්‍රයට පැමිණි විදින්ද්‍ර ක්ෂේත්‍රයේ දුර ගමනක් යන්නටයි සූදානම.

විදින්ද්‍ර මුලින්ම කියමු ද ඔබ ක්ෂේත්‍රයට යොමු වීම ගැන?

රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන කාලයේ පාසල් නාට්‍ය සඳහා සම්බන්ධ වුණා. ඒ වගේම මට චිත්‍ර අඳින්නත් පුළුවන්. නමුත් දිගටම ඒ සඳහා යොමු වෙන්න අවස්ථාව ලැබුණේ නැහැ. උසස් පෙළ අධ්‍යාපනය ලබන කාලයේදී තමයි මම මුලින්ම ගායනයට යොමු වුණේ.

‘ඔබ තත්සර’ ගීතය තමයි මගේ මුල්ම ගීතය. මවිසින් පද රචනා කළ පළමු ගීතය ‘ඇයි ගියේ හැර දමා’ ගීතය. ප්‍රේම සම්බන්ධයක් තමයි මෙයට හේතු වුණේ. මේ වන විට මම තවත් ගීත කීපයක් නිර්මාණය කර අවසන්. ළඟදීම ගීත එකතුවක් එළි දක්වන්නට සූදානම් වෙනවා.

ඒ ගැනත් විස්තර ටිකක් කියමුද?

ආදර ගීත, මව් ගුණ ගීත වගේම විවිධ තේමා යටතේ වූ ගීත එයට ඇතුළත්. රංග දසනායක සමඟ තමයි එය සිදු කරන්නේ. ගී තනු නිර්මාණය මගේ. බොහොමයක් ගීත සඳහා පාදක වුණේ මගේම අත්දැකීම්.

විදින්ද්‍ර ඔබ කලා පවුලකට නෑකම් කියන කෙනෙක්?

ඔව්. වික්ටර් මිගල් මගේ සීයා. රත්නාවලි කැකුණවල මගේ මිත්තණිය. සුසිරන් සිල්වා, රන්ජන් සිල්වා සහ සුරේෂ් මාලියැද්ද මගේ මාමලා වෙනවා. ඔවුන්ගෙන් මගේ කලා කටයුතු සඳහා හොඳ සහයෝගයක් ලැබෙනවා.

ඔබේ පෞද්ගලික විස්තරත් සඳහන් කළොත්?

මම ඔඩෙල් ආයතනනයේ සේවය කරනවා. එහි සංගීත කණ්ඩායමටත් සම්බන්ධ වෙලා ඉන්නවා. මගේ තාත්තා විශ්වනාත් මිගල්, අම්මා චාන්දනී මිගල්. පවුලේ එකම ළමයා මම. මගේ බිරිඳ දිනේත්‍රා.

විදින්ද්‍ර අනාගතයේදී?

කලා ක්ෂේත්‍රයේ ඉදිරියටම යන්න ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. ඒ වගේම මගේ ගීත ඇල්බම් එක මේ වසර අවසානයේදී එළි දක්වන්න සූදානම් වෙනවා. ඊට අමතරව මගේ තවත් අලුත්ම ගීතයක් ළඟදීම නිකුත් කරන්න කටයුතු යොදලා තියෙන්නේ.

අවසාන වශයෙන් ඔබ කියන්නේ?

videendra miguel pK නම් මගේ face book පිටුවෙන් වගේම Youtube මඟින් ද මගේ ගීත ඔබට රස විඳින්නට පුළුවන්. ඒ වගේම මට සහයෝගය දුන් හැමෝටම ස්තුතියි.