නිළි රැජනගේ අපූරු ආදර්ශය
නිළි රැජනගේ
අපූරු ආදර්ශය

නිළි රැජන මාලිනිය පසුගියදා ස්වාධීන
රූපවාහිනී සේවයේ උත්සවයකට
සහභාගි වුණා. මදක් වේලපහින් පැමිණි
නිසා ඕ වේදිකාවේ අසුන්ගෙන සිටියා.
මද වෙලාවකින් අග්‍රගණ්‍ය නළු ටෝනි රණසිංහයන් ද මේ වේදිකාවට පැමිණියා. මාලිනිය, ටෝනි
වේදිකාවට ගොඩ වෙනවාත් සමඟම හුනස්නෙන් නැගිට ඔහුට ආචාර කළා. ඉන් ටික වේලාවකට පසුව
මාලිනිය සිනමාවට හඳුන්වා දීමට පුරෝගාමියෙකු වූ තිස්ස ලියනසූරිය මහතාත් මේ වේදිකාවට
පැමිණියා.
තිස්ස වේදිකාවට ගොඩවන විටත් පෙර පරිදිම මාලිනිය හුනස්නෙන් නැඟිට්ටා. ඒ
තමන්ට වඩා ජ්‍යෙෂ්ඨ කලාකරුවන් දෙපොළක් තමන් සිටි වේදිකාවට පැමිණීම නිසා ඇති වූ
ගෞරවය නිසා.
වත්මන් ලාකීය සිනමාවේ විනය පිළිබඳ දැඩි කතාබහට ලක් වෙන යුගයක මාලිනිය තමන්ගේ
ජ්‍යෙෂ්ඨයන්ට ගරු බුහුමන් කරන විදිය හරිම අපූරුයි. ඒ වාගේම වත්මන් පරපුරට ඇය
ආදර්ශයක් ද ගෙන දෙයි. එක අතකින් ඇය නිළි රැජනයි.
තවත් අතකින් පාර්ලිමේන්තු
මන්ත්‍රීවරියකි. මේ කුමන දෙයක් තමන් වෙත තිබුණත් ඕ ජ්‍යෙෂ්ඨයන්ට ගරු කරන්නේ වත්මන්
තරුණ කලාකරුවන්ට ද යම් පාඩමක් කියා දෙමිනි. හෙළ නිළි රැජනියනි ඔබේ මේ පූර්වාදර්ශයට
සරසවිය අපේ උත්තමාචාරය.
ආදර්ශවත් ගුරුවරයෙක් සහ
නිහතමානී ගෝලයෙක්
පසුගියදා බුද්ධිනී ජයවර්ධනගේ ‘සඳ කිඳුරි මං’ පොත එළි
දැක්වූවා. මෙම උළෙල නිවේදනයෙන් හැඩ කළේ මාධ්‍යවේදිනී
සිතාරා කළුආරච්චි.
ඇය ප්‍රකට කිවිවර බුද්ධදාස ගලප්පත්ති මහතා හඳුන්වා දුන්නේ කොළඹ යුගයේ කවියෙක්
යනුවෙනි. සිතාරා බුද්ධිගෙන් ගුරුහරුකම් ලබාගත් ශිෂ්‍යාවක් ද වෙයි.
කෙසේ වෙතත් බුද්ධි මයික්‍රෆෝනය අසල පැමිණි විගස ප්‍රකාශ කර සිටියේ ‘ගුරුවරුන්ගේ
යුතුකම ගෝලයන් නිවැරැදි කිරීම, ඒ නිසා සිතාරා මාව හැඳුන් වූයේ කොළඹ යුගයේ කවියෙක්
යනුවෙන්. ඇත්තටම මම කොළඹ යුගයේ කවියෙක් නෙවෙයි. මම එතරම් ප්‍රවීන නැහැ. සිතාරා ඔබ
මෙය නිවැරැදි කරගන්න’ යනුවෙනි.
බුද්ධිගේ හරබර කතාව අවසානයේ වේදිකාවට පැමිණි සිතාරා පැවැසුවේ ‘එදත් මගේ වරදක් දුටු
තැන නිවැරැදි කරන ඔබ අදත් එයම සිදු කළා. ඔබ වැනි ගුරු පියෙක්ගේ ඇසුර ලැබීමත් මා ලද
පිනක්’ යනුවෙනි.
සිතාරා කළුආරච්චිගේ මෙම නිහතමානීකම වර්තමානයේ ගිරවුන් මෙන් හරසුන් බස් දොඩවන නිවේදක
නංගිලා, මල්ලිලාට ආදර්ශයක්.
සටහන - සංජීව
සම්පත්
බාලසූරිය
|