වර්ෂ 2012 ක්වූ නොවැම්බර් 08 වැනිදා බ්‍රහස්පතින්දා




අතිරේක නළුවෙක් අනතුරකින් මිය යයි

අතිරේක නළුවෙක් අනතුරකින් මිය යයි

බ්‍රිතාන්‍ය ඔත්තු සේවයේ නෞකාවක් පුපුරා යන දර්ශන කුඩා ආකෘති අනුසාරයෙන් පයින්වුඩ් චිත්‍රගාරයේ 007 වේදිකාවේ ඉදිවුණු ජල තටාකයක් තුළදී රූගත වුණා. සැප්තැම්බර් 15 දා කෝෆු ටවුන්හිදී ආරම්භ වුණු මෙලිනාගේ කහ පැහැති සිට්රන් රථය හා ලුහුබැඳීමේ දර්ශන දින 12 ක් තිස්සේ රූගත කෙරුණා.

මේ සඳහා සිට්රන් මෝටර් රථ 4 ක් යොදා ගත් අතර සියලු අවදානම් දර්ශන මෙහෙය වූයේ ප්‍රංශ ජාතික ධාවන ශූරී රෙමි ජූලියෑන් විසින්.

නිෂ්පාදන සැලසුම් ශිල්පී කෙන් ඇඩම් වෙනත් චිත්‍රපටයක් සඳහා කාර්යබහුල වූ හෙයින් පීටර් ලැමොන්ට් අතින් එම කටයුතු සිදු කෙරුණා.

වඩාත් තාත්වික දර්ශන තල ඔහු විසින් නිර්මාණය කෙරුණේ අධ්‍යක්ෂක ජෝන් ග්ලෙන් ගේ යෝජනා අනුවයි.

රොජර් මුවර් ගිවිසුම් අත්සන් කර තිබුණේ බොන්ඩ් චිත්‍රපට 3 කට පමණක් බැවින් ලුවිස් කොලින්ස් සහ ‘ස්පයි හූ ලව්ඩ් මී’ චිත්‍රපටයේ බාබාරා බැච් ගේ පෙම්වතා ලෙස රඟපෑ මයිකල් බිලිංටන් බොන්ඩ් ගේ චරිතයට තෝරා ගැනීමේ අදහසක් නිෂ්පාදකවරු වෙත තිබුණ අතර බිලිංටන් පස් වතාවක් බොන්ඩ් ලෙස යෝජනා වූ නළුවෙක්. එහෙත් අවසානයේ චිත්‍රපටය සඳහා යළි ගිවිසුම් අත්සන් කිරීමේ වාසනාව උදා වූයේ රොජර් මුවර්ටයි.

ඔක්තෝබරයේ නිෂ්පාදක කණ්ඩායම ග්‍රීසියේ ඇචිලන් සහ මිටියෝරා වෙත ළඟා වූයේ එහි රූගත කිරීම් සඳහායි. නොවැම්බර් වන විට කණ්ඩායම දෙකට බෙදී කොටසක් බහමාස් හි දිය යට දර්ශන රූගත කිරීමේ නිරත වූ අතර අනෙක් පිරිස ලන්ඩන් පයින්වුඩ් චිත්‍රාගාරයේ පසුතල දර්ශනවල රූගත කිරීම් සිදු කළා.

බොන්ඩ් සහ මෙලිනාගේ දිය යට දර්ශන දෘශ්‍ය ප්‍රයෝග අනුසාරයෙන් රූගත කෙරුණේ චිත්‍රාගාර පසුතලයන්හිදීය. සැබෑවටම දිය යට කිමිදීමේ අපහසුතාවක් කැරොල් හට තිබුණු බැවින් ව්‍යාජ පෙණ බුබුළු, කෘත්‍රිම සුළං සහ ආලෝකකරණය උපයෝගිකර ගනිමින් මෙම දර්ශන රූගත කරන්නට සිදු වුණා.

ග්‍රීසියේ හිම කඳු වැටි හරහා ලිස්සායාමේ අවදානම් ජවනිකා සඳහා බොන්ඩ් ගේ ආදේශක නළුවා වූයේ රික් සිල්වෙස්ටර් නම් ක්‍රියාදාම ශිල්පියෙක්. ඔහුගේ සුවිශේෂ දක්ෂතා නිසා එම අසීරු දර්ශන සාර්ථක ලෙස රූගත කර ගැනීමට දෘශ්‍ය ප්‍රයෝග අධ්‍යක්ෂක ඩෙරික් මෙඩින්ග්ස් සමත් වුණා. එහි කැමරාකරණය සිදු වූයේ ප්‍රවීණ කැමරා ශිල්පී විලී බොග්නර් අතිනි. 1981 පෙබරවාරියේදී එම අවසන් දර්ශන පෙළ රූගත කෙරෙන අතර 23 හැවිරිදි පෝලෝ රීජන් නමැති අතිරේක ශිල්පියා අනතුරකට ලක්ව මිය ගියා.

ලන්ඩනයේ බෙක්ටන් ගෑස් කර්මාන්ත ශාලාවේදී රූගත කෙරුණු හෙලිකෝප්ටර් ධාවන ජවනිකාවේ රොජර් වෙනුවට රඟපෑවේ ආදේශක ගුවන් නියමු මාර්ටින් ග්‍රේස් ඉතා අවදානම් දර්ශන ගණනාවක් ඇතුළත් මෙහි ඇතැම් අවස්ථාවල කුඩා ආකෘති හෙලිකෝප්ටරයක් දුරස්ථ පාලක ආධාරයෙන් ධාවනය කරමින් රූගත කෙරුණා.

චිත්‍රපටයේ සංගීතය නිර්මාණය වුණේ බිල් කොන්ට් අතිනි. ඇතැමකුගේ මතය වූයේ 1980 වසරේ හොඳම සංගීතය එය වූ බවයි. සුරූපී ගායිකා ෂීනා ඊස්ටන් ගායනා කළ ‘ෆො යුවර් අයිස් ඔන්ලි’ නම් තේමා ගීතය රචනා කලේ මයිකල් ලීසන් විසින්.

එය 1981 ඇකඩමි සම්මාන උළෙලේදී සහ 39 වෙනි ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලේදී වසරේ හොඳම චිත්‍රපට ගීතය ලෙස නිර්දේශ වුණා.

බොන්ඩ් සිනමාවලියේ ප්‍රථම වරට තේමා ගීතය ගැයූ ගායිකාව පෙනී සිටි ආරම්භක නාමාවලිය අඩංගු වූයේ මෙම චිත්‍රපටයටයි.

සුරූපී ගායිකා ෂීනා ඊස්ටන් පෙනී සිටි නාමාවලිය සුපුරුදු කලා ශිල්පි මොරිස් බයින්ඩර් ගේ නිර්මාණයක්. නිෂ්පාදක ඇල්බර්ට් ආර්. බ්‍රොකොලි 1981 ඇකඩමි සම්මාන උළෙලේ දී අර්වින් ජී. තාල්බර්ග් අනුස්මරණ සම්මානයෙන් පිදුම් ලැබුවා.

1981 ජූනි 24 දා ලන්ඩන් ලිඩිස්ටර් චතුරස්‍රයේ ඕඩියන් ශාලාවේදී ප්‍රථම දර්ශනය පැවැත් වුණා. අමෙරිකාවේ හා කැනඩාවේ සිනමා ශාලා 1,100 ක එකවර තිරගත කිරීම් ආරම්භ වුණේ ජූනි 26 වෙනි සිකුරාදා දිනකයි. යුනයිටඩ් ආටිස්ට් සමාගම නමින් අවසන් වරට ලෝ වටා බෙදා හැරීම් කටයුතු සිදු කළේ මෙම චිත්‍රපටයයි. චිත්‍රපටය අමෙරිකාවේදී ලත් ආදායම ඩොලර් මිලියන 54.8 ක් වූ අතර ලෝ වටා ඩොලර් මිලියන 195.3 ක ආදායමක් උපයා ගැනීමට සමත් වුණා.