වර්ෂ 2012 ක්වූ නොවැම්බර් 08 වැනිදා බ්‍රහස්පතින්දා




අහිංසක පෙම්වතෙක් වෙන්න ආසයි

අහිංසක පෙම්වතෙක් වෙන්න ආසයි

සුගත් ජානක

ගැහැනු ළමයි ටෙලි නාට්‍යයේ ‘මතං’ බොහෝ දෙනාගේ මතකයේ රැඳුන චරිතයක්. ‘හිතට වහල්වීම’ හි ‘ආකාශ්’, ‘මිලා’ හි ‘ගිනිකූරු කුමාරයා’ චරිත තුළින් අමතක නොවන ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනා ගත් ඔහු නව පරපුරේ දක්ෂ රංග ශිල්පියකු වන සුගත් ජානකයි.

1999 වසරේ ‘කුලවිලෝකනය’ ටෙලි නාට්‍යයේ ‘රෝඩී’ චරිතයට පණ පොවමින් පුංචි තිරයට පැමිණි සුගත් අද වන විට විවිධ චරිත රැසකින්ම ආලින්දයට ගොඩ වදී.

රංගනයේ නොමැකෙන සිහිවටනයන් රැසක් තැබූ සුගත් පසුගිය දිනෙක ‘සරසවිය’ට ගොඩ වුණේ ඔහුගේ අලුත්ම කලා විස්තර කියන්නටයි.

‘ඉතිං සුගත් කාලෙකට පස්සේ . . .?’

පසුගිය ටිකේම විවිධ චරිත කළා. ඇතැම් චරිත මිනිසුන් මොන තරම් ආදරයෙන් වැලඳ ගත්තා ද කීවෝත් පාරේ යන කොට ළඟටම ඇවිත් මා සමඟ කතා කරන්නේ ඒ චරිතවල නම් වලින්. ඇස්වලට කඳුළු එන තරම් සතුටක් ඇති වෙන්නේ එතැනට මම එන්න ගත්තු උත්සාහය මතක් වෙලා.

මේ දිනවල මොනවද ඔබ කරන්නේ?

මොහාන් නියාස්ගේ ‘ඉසුරු විමන’ කියන අලුත්ම නාට්‍යයේ රඟපානවා.

එහි මම දමිතා අබේරත්නගේ මස්සිනා ලෙස සැලකිය යුතු චරිතයක් කරනවා.

සුනිල් කොස්තාගේ ‘සුදුයි උසයි’ නාට්‍යයේ ‘සුගතේ’ කියන චරිතය කරනවා. ඩෙන්සිල් ජයවීරගේ ‘අහංකාර ස්ත්‍රී’ කියන ටෙලි නාට්‍යයෙත් සැලකිය යුතු චරිතයක් ලැබුණා. ඒ ගැන නම් මට දැනෙන්නේ ලොකු සතුටක්.

මොකද මේක පැරැණි චිත්‍රපටයක් නේ. එදා විශිෂ්ට රංගන ශිල්පියෙක් කරපු චරිතයක් මට ලැබීම භාග්‍යයක්. එයට අමතරව ඇරැයුම් ලැබෙන ප්‍රසංග සඳහාත් සහභාගී වෙනවා. මොකද මම රඟපාන්න කලින් සිටයි ගීත ගායනයට යෙමු වුණේ.

ඉදිරියේ දකින්න ලැබෙන නිර්මාණ මොනවාද?

කිහිපයක් තියෙනවා වැඩ ඉවර කරපු. මොහාන් නියාස්ගේ ‘දෙවන මවු’, සංජය නිර්මාල්ගේ ‘රොසලිනා’, සනත් අබේසේකරගේ ‘ආදර රිද්ම’, සුරේෂ්ගේ ‘සෙව්වන්දි’ හා ‘හිරුට පිපෙන සූරිය කාන්ත’ යන ටෙලි නාට්‍යත්, සදිස් කුමාරගේ ‘මායා’ චිත්‍රපටයේත්, සුනිල් ටී ගේ ‘රන්ජා’ චිත්‍රපටයේත් හොඳ චරිතයන් කළා. ඒවා ළඟදීම දැක බලා ගන්න හැකියි.

රංගනය හදාරලා තියෙනවද?

මම ආපු කාලේ රංගන පාසල් තිබුණේ නෑ. මම රඟපාන්න ඉගෙන ගත්තේ ගෙදර කණ්ණාඩිය ළඟට වෙලා. කලාව මම කරන්නේ හැඟීමකින්, මහත් කැප කිරීමක් කරලා.

ආපු මේ ගමන මට වටිනවා. ඒ නිසා අදටත් මට ලැබෙන චරිත කැමරාව ඉදිරියේ රඟ දක්වන්න පෙර ගෙදර පෙර පුහුණුවක් කරනවා.

අද හැදෙන ටෙලි නාට්‍ය කොහොමද?

ඉතාමත් හොඳයි. අලුත් අයට බොහෝ අවස්ථා එයින් ලැබෙනවා.

ඔබ රඟපාන්න කැමැත්තෙන් ඉන්න චරිතයක් තිබේ ද?

ඔව්. මම ආසයි අහිංසක පෙම්වතකුගේ චරිතය රඟපාන්න, අන්ධ චරිතයක් කරන්න. පෙම් චරිත කරලා තිබුණත් මිනිස්සුන්ට සමීප වෙන පෙම්වතෙකුගේ චරිතයක් කරලා නෑ.

වෘත්තීය අද රංගනයම ද?

මම මීට කලින් කරපු රැකියාවෙන් ඉවත් වුණේ එක දිගට ෂූටිං වලට නිවාඩු ගන්න බැරි නිසා. කරන දේ හරියට කරන්නයි මට ඕනෑ. අද මම පූර්ණකාලීන රංගන ශිල්පිියෙක්.

මේ කථාවේ අවසානයට එමු. රංගනය පැත්තෙන් ඇති බලාපොරොත්තු මොනවාද?

කවදා හරි ඉහළම තැනකට එන්න තමයි මගේ බලාපොරොත්තුව. උසස් කලාත්මක සිනමා පටයකට දායක වෙන්න සිහින දකින අතර පුළුවන් තාක් රංගනයේ යෙදෙන්නම සිතනවා.

කවදා හරි සම්මානයක් ලබා ගැනීමේ සිහිනය ද සිතේ තිබෙනවා.

එහෙනම් ඔබේ බලාපොරොත්තු ඒ අයුරින්ම ඉටු වේවා යැයි සරසවියේ අපි ප්‍රාර්ථනා කරමු.