වර්ෂ 2014 ක්වූ ජනවාරි 02 වැනිදා බ්‍රහස්පතින්දා




අපොයි මේ රඟපෑම හොඳටම ඇති

අපොයි මේ රඟපෑම හොඳටම ඇති

දෝණී සමඟ රටම සුරතල් කරන මෙනුලි

කන් කන් බූරු කන් කන් බූරූ
සින් සින් නෝරූ සින් සින් නෝරූ
මං කියනදේ අහනවද
ඕ...ඕ...ඕ...ඕ...
මං කියනදේ කරනවද
ඕ...ඕ...ඕ...ඕ...

සොඳුරු සිඟිත්තියගේ මියුරු ස්වරය මුළු පරිසරයටම විහිදුණා. ඈ තෙපළන ඒ ගීතයත් අසාගෙනම අපි ඇගේ නිවෙසට ගොඩ වැදුණෙත්, දෝණි ගේ මියුරු ගී ස්වරය නතර වුණෙත් එක්වරමයි. වටකුරු නෙත් දල්වා අප දෙස බලාගෙන සිටි ඕ තාත්තගේ අතේ එල්ලුණා.

‘කවුද මේ කට්ටිය’ කියලා තාත්තගෙන් අහන්නට වගේ.

‘පුතේ මේ මාමාටයි නැන්දාටයි වාඩිවෙන්න කියන්නකෝ’

දෝණිගෙ තාත්තා රෝහණ එල්ලාවල දෝණිට කිව්වා.

කවුද මේ දෝණී?

මෙනුලි දම්සදී එල්ලාවල.

ඔබගේ සිතේ පිළිසිඳුන ප්‍රශ්නයට පිළිතුරක් ගෙනාවේ දෝණිමයි. මේ දවස්වල තිරගත වන ‘දෝණී’ චිත්‍රපටයේ මේ හැඩකාර දියණියගේ රංගනය කාට වුණත් මතක තිබෙන චරිතයක්.

‘ඉතිං දෝණී’

මේ සොඳුරු දූ සිඟිත්තව කතා කරවන අටියෙන් මා විමසුවා.

‘මම දෝණී නෙවෙයි’

ඈ පැවසුවේ තරමක අමනාපයකින් බව අපට වැටහුණා.

‘දුව දෝණි කියනවට වඩා කැමැති මෙනුලි කියනවට’

දෝණි ගේ අම්මා දර්ශනී මෙනුලිගේ සිතේ තිබෙන කැමැත්ත හෙළි කළේ සිනහවෙවී.

‘මෙනුලි බබා කොහොමද දෝණි වුණේ’

මෙනුලි දූ තාත්තගේ ඔඩොක්කුවට පැන්නා. ඔඩොක්කුවේ උණුසුමට ගුලි වුණු ඈ හෙමින් හෙමින් අතීතයට පිවිසියා.

‘අපි දවසක් දන්සැලකට ගියා. එතැන හිටිය සුනිල් මාමා මාව තෝරා ගත්තා’

කෙටියෙන් පිළිතුරු බැන්ද මෙනුලි දූ ගේ කතාව සම්පූර්ණ කළේ ඇගේ තාත්තා.

‘එතකොට දූට අවුරුදු පහක් විතර ඇති. වෙසක් දවසේ බොරැල්ලේ තිබුණු දන්සැලකට අපි යන්න ගියා. අපේ පිටුපසින් ආව මේ චිත්‍රපටයේ සහාය අධ්‍යක්‍ෂ කීර්ති දුවව රඟපාන්න එවන්න කැමැතිදැයි කියලා ඇසුවා. එකපාරටම මට හිතා ගන්න බැරි වුණා. ඔහු තවත් බොහෝ විස්තර අපට කිව්වා. මම කල්පනා කරලා බලලා උත්තරයක් දෙන්නම් කිව්වා’.

මෙනුලිට රඟපාන්න යන්න පසුබිම නිර්මාණය වුණේ ඒ ආකාරයෙන්.

‘මීට පෙරත් දුවව රඟපාන වැඩකටයුතුවලට ඉල්ලලා තිබුණත් අපි ඒවාට ඒතරම් කැමැති වුණේ නැහැ. ඒ මුල්තැන දිය යුත්තේ අධ්‍යාපනයට නිසා. කොහොම නමුත් සුනිල් ටී. ප්‍රනාන්දුත් සමඟ කතාබහ කළාට පස්සේ දෝණිගේ චරිතයට මෙනුලි දුවව නියමෙට ගැළපෙන බව ඔහු කිව්වා. ඒ විතරක් නෙවෙයි මෙනුලි දුව ඒ වෙනකොටත් විවිධ දස්කම් රාශියක් තිබුණු දරුවෙක්. ඈ රඟපාන්න වගේම නර්තන කටයුවලටත් බොහොම දක්‍ෂයි.’

මීට වසර තුනකට පෙර මෙනුලි දෝණිගේ චරිතය රඟපෑවා. එතකොට ඇයට වයස අවුරුදු පහයි. වයස මට්ටමට වඩා අඩු මානසික මට්ටමක සිටින දෝණි ගේ චරිතයට පණ දුන්න ඇගේ රංගනය අපට කිව්වේ ඈ රංඟනයට පළපුරුදු කාරියක් කියලා.

‘මට චිත්‍ර අඳින්නත් පුළුවන්’

මෙනුලි දූ ඇන්ද චිත්‍රත් උස්සාගෙන මා ළඟට ආවා.

‘මේ අම්මා’

මෙනුලිගේ මව ගේ රුව ඈ චිත්‍රයට නඟා තිබුණා.

‘රූගත කිරීම්වලදි දූ රඟපෑවේ කොහොමද?

මා විමසුවේ මාත් සමඟ සුහද වුණු මේ චූටි දියණිය කතාවට ඈඳාගන්න අදහසින්.

‘සුනිල් මාමා චොක්ලට් ගෙනාවා. මේ විදියට රඟපාන්න කියලා මට කිව්වා. මම ඒ විදයට රඟපෑවා.’

සුරතල් වදන් පෙළ තාලයට ගාලා ගියා.

‘ඇයි කමල් මාමත් මට චොක්ලට් දුන්නා. සංගීතා නැන්දත් මට ආදරෙයි. හැමෝම මට ආදරෙයි’.

ඈ වරින්වර සිය මතකයට නැ¼ගුවේ තාත්තගේ උදවුවත් ඇතිව.

‘දූට ලැබෙන ප්‍රතිචාර කොහොමද?’

‘තාම ස්කෝලෙ පටන් ගත්තේ නැහැ. චිත්‍රපටය බැලුව මාමලා නැන්දලා මට හොඳයි කිව්වා’.

මෙනුලි දූ පාසැල් යන්නේ මියුසියස් විද්‍යාලයට. ඈ දැන් ඉන්නේ තුනේ පංතියේ.

‘ස්කෝලෙ මගේ හොඳම යාළුවා හමේෂා. ටීචර්ස්ලත් මට ආදරෙයි.’

පාසල් යන්න තව තියෙන්නේ දින කිහිපයක් නිසාදෝ මෙනුලිට පාසල මතක් වුණා.

‘දුව ස්කෝලෙ ටීචර්ස්ලට බොහොම ආදරෙයි. පළමු වසරේ ටීචර්ස්ලව මුණ ගැහිලා වැඳලත් එනවා’. මෙනුලිගේ අම්මා කිව්වා.

කලින් වසරවල ගුරුවරුන් ගේ මතකය ඇගේ පුංචි සිතේ ඉඩක් අරගෙන.

වැඩිපුරම දූ කැමැති මොන විෂයටද?’

‘ශාරීරික අධ්‍යාපනයට’

ගත් කටටම ඈ කිව්වේ ඇවිදින ගමන්. ගායනයට, රංගනයට, නර්තනයට, චිත්‍ර අඳින්නට දක්‍ෂ මෙනුලි දූ අනාගතයේ කවුරු වෙන්නද කැමැත්ත ඇත්තේ. මගේ සිතට පැන නැඟුණේ ප්‍රශ්නයක්?

‘ලොකු වුණාට පස්සේ කවුරු වෙන්නද දූ කැමැති.’

‘ටීචර් කෙනෙක් වෙන්න.’

සුන්දර කෙස් කළඹ එහා මෙහා කරමින් ඈ තාලයට නැටුමක් නටනවා.

දිගටම රඟපාන්න දූ කැමැතිද?

‘අපෝ නෑ, මේ හොඳටම ඇති.’

ඈ කියන්නේ මා බලාපොරොත්තු වුණු පිළිතුර නම් නොවෙයි. මේ වෙනකොට වෙළඳ දැන්වීම් කිහිපයකටද පෙනී සිටි ඈ එක් ටෙලි නාට්‍යයකටත් රංගනයෙන් දායක වෙලා. ඒ වගේම චූටි මෙනුලිට අපූරු පුරුද්දක් පිහිටලා.

‘මොකක්ද මේ පුරුද්ද?’

එල්ලාවල කිව්වේ අපූරු කතාවක්.

‘අපි ඉදලා හිටලා වේදිකා නාට්‍ය බලන්න යනවා. එදා ගියේ ‘පරාස්ස’ නාට්‍යය බලන්නයි. ඕනෑම වෙලාවක වේදිකා නාට්‍යයක් බලලා එයා ගේ සිත් ගත්ත චරිතයක් තියෙනවා නම් වේදිකාවට ගිහින් කතා කරන්න දූ අමතක කරන්නේ නැහැ. එදත් වේදිකාවට ගියේ ඈ ජයලත් මනෝරත්නයන්ට සුබ පතන්නයි. එතනදියි දූට ඔහුගේ ‘තාත්තේ අපි ආවා’ ටෙලි නාට්‍යයට රඟපාන්න කැමැතිද කියලා ඇහුවේ. දුව ඒ ටෙලි නාට්‍යයේ රඟපෑවා.

මේ අතර මෙනුලියි, මෙනුලිගෙ මල්ලි සිතුකයි බර කතාවක. මෙනුලිගෙ පවුලට එකතුවුණු අලුත්ම අමුත්තා ඇහැරිලා. මෙනුලිගෙ අම්මා ගියේ චූටි පුතාව බලන්නට.

‘මේ දෙන්න එකතු වුණාට පස්සේ දඟවැඩ නම් ගොඩයි’

මෙනුලිත්, සිතුකත් දෙස බලාගත්ත මෙනුලිගෙ තාත්තා පැවසුවේ අප සමුගන්නට මත්තෙන්. මේ තරම් දක්‍ෂ සුන්දර මෙනුලිගේ දඟකාරකම්, කටකාරකම් අතර ගෙවුණු හෝරා කිහිපය නිමා කරමින්, සුබ අනාගතයකට ඇයට සුබ පතමින් අපි ඇගෙන් සමුගත්තා.