වර්ෂ 2014 ක්වූ ජනවාරි 02 වැනිදා බ්‍රහස්පතින්දා




මිනී පෙට්ටියේදී අපෝන්සුට ඇණයක් ඇනිලා

මිනී පෙට්ටියේදී අපෝන්සුට ඇණයක් ඇනිලා

තූර්යා හැදෙන හැටි බලන්නට අතුරුගිරියට ගිය ගමන

අතුරුගියේ ඉඳන් මාලඹේ පැත්තට චුට්ට දුරක් එන කොට බක්මීගහ පාර ඇහුවම කවුරුත් දන්නවා. එදා ඉඳලම ඒ පාර අතුරුගිරිය පැත්තේ ජනප්‍රියයි, ප්‍රසිද්ධයි. මෑත කාලේ ඒ පාර ජනප්‍රිය වුණේ නොයෙල්ගේ ගෙදර නිසා.

බක්මී ගහ පාරේ හැරිලා පේන දුර ගිය තැන කාගෙන් හරි නොයෙල්ලාගේ ගෙදර ඇහුවොත් නොකිය නොපෙන්වා ඉන්නේ නැහැ. ඒ තරමටම නොයෙල් ජනපි‍්‍රය චරිතයක්. වත්තක් මැද ඉදිවුණු සුන්දර නිහඬ නිසසල, ශාන්ත බව තවරා ගත්තු නොයෙල්ගේ ගෙදරට ගොඩ වෙද්දී උදේ දහය හමාරට විතර ඇති. ගහ කොළවලින් පෙරීගෙන බිමට වැටෙන හිරු කිරණ දැන් ප්‍රචණ්ඩ වෙන්නත් ළඟයි.

තේ එකක් බීලම පටන් ගනිමු නේද?

ගෙට ගොඩ වුණු ගමන්ම නොයෙල් මහත්තයගෙන් ආරාධනාවක්. අරාධනාව ප්‍රතික්ෂේප කරන්න බැරි නිසා නොවෙයි ගමන් මහන්සිය නිසාම අපි තැන තැන තිබුණු පුටුවලට බර දීලා ඉඳ ගත්තා.

‘නොයෙල් මහත්තයා මාර ජනප්‍රියයිනේ . . .

කතාව පටන් ගත්තේ මං. මේ නොයෙල් මහත්තයා මං වගේම හැම දෙනාම දන්නවා. තූර්යා ටෙලි නාට්‍යයේ තමයි මේ නොයෙල් ඉන්නේ. මං අද ආවේ තූර්යා දර්ශන තලයට.

‘ඔව්, ඔව් නොයෙල් කිව්වම ජනක කිව්වට වඩා දන්න තත්ත්වෙට පත් වෙලයි තියෙන්නේ.’

ජනක කුඹුකගේගේ සුන්දර හිනාව ඇවිස්සුණේ මේ කටයුත්තට සුබ මං ලකුණු පහළ කරමින්.

තේ වෙලාවට එකතු වුණු හැමෝම විවිධ කතාන්දරවල. ගිහාන් ප්‍රනාන්දු ආවේ ටිකක් පරක්කු වෙලා තේ පෝලිමට.

‘අපි ඉතිං සත් ගුණවත්ව හැදෙන කොල්ලොනෙ. ප්ලේන්ටියත් සීනි නැතුවයි බොන්නෙ’

ගිහාන් පිරිසට එකතු වුණේ හැමෝටම සිනහවේ පෙර මඟ ලකුණු පහළ කරමින්. ගිහාන්, අපෝන්සු වගේ අය ඉන්න තැනක කොහෙද හිනා නැත්තේ. හැමෝටම කරන කියන හැමදේටම හිනා.

‘තරංගයක් ලෙසින් ඇදී . . .’

ගිහාන් ගීතයක් පටන් ගත්තේ තරංග කියන කෑල්ලට හඬ මුසු කරමින්. ඒ හඬට තරංග ‘ඇයි’ කියලා ඇහුවේ හැමෝම ආයෙත් හිනාවේ ගිල්වමින්.

මේ වගේ පුංචි පුංචි විහිළුවලින් පිරිච්ච තූර්යා තේ පැන් සාදය නිමා වේගෙන එන වෙලාවේ තමයි අධ්‍යක්ෂ රවීන්ද්‍ර විජේරත්න එතනට පැමිණියේ.

කට්ටිය කතා ටික ඔක්කොම කිව්වද? අර ඇණ ඇනිච්ච කතාව කිව්වද එරන්ද රවී ඇහුවේ සහාය අධ්‍යක්ෂවරුන්ගෙන්.

‘මේ නාට්‍යයේ තියෙනවා අපෝන්සු අයියට මිනී පෙට්ටියක ඇලවෙලා ඉන්න. අපේ කට්ටිය ඔක්කොම දේවල් හදල පෙට්ටිය ගාණට තියලා ඔන්න ෂූට් එකට රෙඩි වුණා. අපෝන්සු අයියත් ඇවිත් පෙට්ටියේ නියමෙට දිගා වුණා.

මේ ෂූට් එක බලන්න ගමේ පිරිසකුත් ඇවිත් හිටියා. දැන් ඉතිං වැඩේ පටන් ගත්තා.

කැමරා ඔක්කොම රෙඩි කරලා ෂූට් කරන්න ගත්ත විතරයි අපෝන්සු අයියා දඟලන්න පටන් ගත්තා. මිනිය දඟලන කොට බලන් හිටිය මිනිස්සුත් බය වුණා. බලද්දී අපෝන්සු අයියගේ පිටිපස්ස පැත්තේ ඇණයක් ඇනිලා.

එරන්ද කතාව නිමා කළේ රවීට කතාවකට ඉඩ සදමින්.

‘ඇයි දවසක් අපෝන්සු අයියා මිනී පෙට්ටි කඩේ ගාව උදේම ඉඳන් ඉඳලා. ගමේ ගෑනු බැන බැන යනවලු මිනී පෙට්ටි දැකලා. පස්සේ තමයි ඒ අය දැනගෙන තියෙන්නේ මේක ටෙලි නාට්‍යයකට හැදුව පෙට්ටි කඩයක් කියලා.

මෙ වගේ වැඩ අතරේ තූර්යා ගලාගෙන යන්නේ හරිම ලස්සනට. දර්ශශන තලේ හැමෝගෙන්ම තරංගට නං මඩ ප්‍රහාර එමටයි.

රම්‍යා වනිගසේකර, ජයසේකර අපෝන්සු, සුනීතා විමලවීර, හෂිනිකා කරලියද්ද, ගිහාන් ප්‍රනාන්දු, ජනක කුඹුකගේ, දීපානි සිල්වා, තරංග දිසානායක, චලනි බාලසූරිය, ජී. ආර්. පෙරේරා, නාමෙල් වීරමුණි, තිසුරි යුවනිකා, ඉරේෂා රණසිංහ වගේම මාධව විජේරත්නත් මේ පිරිස අතරේ ඉන්නේ හරිම සතුටෙන්.

කතාවෙන් කතාවෙන් තරංග පිරිසටම පහර දුන්නේ කාටවත් නොපෙනෙන්න.

තූර්යා කියන්නේ වෙනස්ම තේමාවකට පෙළ ගැහෙන ලස්සන නාට්‍යක්. මේ නාට්‍ය ඇතුළත තියෙන කණ්ඩායම් හැඟී¼ම වචනවලට පෙරලන්න බැහැ.

රවීන්ද්‍ර විජේරත්න හැමෝටම ස්තුති කළේ මමත් එක්ක.

ලියන්න පුළුවන් කතාන්දරවලට වඩා ලියන්න බැරි කතාන්දර එමටයි. ‘ගිහාන්ගේ කතා’ කියල පෙතක් ලියන්න කියලා රවීන්ද්‍ර මට කිව්වේ එන්න සූදානම් වෙද්දි. ඒ තරමටම මිහිරි කතා පෙට්ටියක් තමයි ගිහාන්.

හැමෝගෙම කැපවීමෙන්, දහදිය මහන්සියෙන් තූර්යා හැදෙන හැටි හරිම අපුූරුයි. මේ ඡායාරූපෙ ඊට සැමට සාක්ෂි සපයාවි.