වර්ෂ 2014 ක්වූ ජනවාරි 02 වැනිදා බ්‍රහස්පතින්දා




මිතුරුකමට අවුරුදු දහයයි

මිතුරුකමට අවුරුදු දහයයි

ප්‍රේමය ඊට පස්සේ නාරද බක්මීවැව ගේ සොඳුරු කැඳැල්ලට ගියෙමු

මඳ අඳුර බිඳ ගනිමින් පහන්සිළු දැල් වෙන්නට පටන් ගෙන තිබුණි. මහා ජන ගඟක් සංගීත රාත්‍රියට එක් රොක් වෙන්නට පටන්ගෙන තිබුණේ සිරස මිලේනියම් ‘රස රිසි ගී’ රස්මියේ මිහිර විඳ ගන්නටයි. මේ උණුසුම් රාත්‍රිය ගැන සජීවී විකාශය ආරම්භ වූයේ 6.30 ට පමණය.

සංදර්ශනයේ තොරතුරු විකාශය පටන්ගෙන මොහොතකින් පාලක මැදිරියෙන් ලැබෙන සංඥාවක් සමඟ කැමරාකරණය පටන් ගත්තේ කැමරා තුනක ආධාරයෙනි.

‘විකාශය පටන් අරගෙන විනාඩි කිහිපයක් ගෙවිලා ගියා. මම නිවේදන කටයුතු කරගෙන යනවා. එක පාරටම මම ඉස්සරහ හිටිය කැමරා ශිල්පියා බිම ඇදගෙන වැටෙනවා විතරයි දැක්කේ. හිතා ගන්න බැරි වුණා මොකද වුණේ කියලා. මොහොතෙන් තව කැමරාවකට මාරු වුණා. වැඩසටහන විනාඩි කිහිපයක් කරගෙන ගිහින් නැවැත්තුවේ සිංදුවක් ෆ්ලේ කරලා. ඉන් පස්සේ තමයි මම ඔහු සිටිය තැනට ගියේ. ඇත්තටම එතන වුණු සිද්ධියත් එක්ක වැඩසටහන කරගෙන යන්න පුළුවන් මානසිකත්වයක් මට තිබුණේ නැහැ. ඒත් පැවරී තිබුණු වගකීමයි සජීවී වැඩසටහනක් නිසා මට ඒ කටයුත්ත නවත්වන්න බැරිවයි තිබුණේ. ඇත්තටම එතන වෙලා තිබුණේ කැමරා ශිල්පියාට උත්සව භූමියේ තිබුණු වයර් එකක් සෝට් වෙලා කරන්ට් වැදිලා.’

මේ අමතක නොවන සිදුවීම පිළිබද අතීත පුනරාවර්තනය කතාව පිළිබඳ අත්දැකීම ඇති නිවේදකයා සොයා ගෙන ඔහුගේ සොඳුරු නවාතැනට ගොඩ වැදුණා.

ඔහු තමයි නාරද බක්මීවැව. . .

නාරද විවාහ වෙලා අවුරුද්දක් විතර වෙනවා. ඒ නිසාම මේ නව යුවළගේ සෙනෙහස පිරි බත්තරමුල්ලේ නිවහනට ගොඩ වුණේ ලෙන්ගතු මාධ්‍ය සහෘද සැබැඳීයාව සිත්හි පුරවාගෙන.

ඉතින් . . . අද නිවාඩු වගේ . . .

නැහැ. . . නැහැ . . . මේ දැනුත් ප්‍රෝගෑම් එකකට ගිහින් ආවේ. ඒත් අපි දෙන්නා ඉරිදා සෙනසුරාදා දෙන්න එක්ක එකට ඉන්න වැඩි කාලයක් ගන්නවා. අද නම් ගියේ දෙරණ තරු 5 ක් වැඩසටහනට. ඒ වැඩසටහන දැන් ඉතාම ජනප්‍රියයි. ඉරිදා උදේට තමයි විකාශය වෙන්නේ. විවිධ ක්ෂේත්‍රවල තරු 5 ක් සමඟ කරන මේ වැඩසටහන හරිම රසවත්. ඒ වගේම මම කරන ත්‍රිමාන වැඩසටහනත් අද පවතින කාලීන පරිසර ගැටලු පිිළිබඳ මත විමසුම් වැඩසටහනක්.

එතකොට නාරද පසුගිය කාලේ කරපු සූපස්ටාර් වැඩසටහන කොහොමද?

ආ . . . ඔව් . . . මම හරිම ආසාවෙන් කරපු වැඩ සටහනක්. සූපවේද වැඩසටහනක් වුණු ඒක විකාශය වුණේ ‘දෙරණ’ නාලිකාවේ. මට විවිධ කෑම වර්ග නම් හැමදාම කන්න පුළුවන් වුණු වැඩසටහනක් තමයි ඒක. අපි වැඩසටහන හුඟක් වෙලාවට රෙකෝඩ් කරන්නේ මහරගම කාශ්‍යප ස්ටුඩියෝ එකේ. මෙය රියලිටි වැඩසටහනක් නිසා එය සජීවී ලෙසින් ඉදිරිපත් කිරීමට අවශ්‍ය නිසා තරගකරුවෝ හය දෙනාගේම කෑම කාලා බලන්න ඕනේ. දවසක් තිබුණේ ස්පයිස් වර්ගවල කෑම. මම තරගකරුවගෙන් තරගකරුවා ගාවට යනවා. එක තරගකරුවකුගේ කෑම රස බැලුවා විතරයි මුහුදේ පොල් පෙනුණා. මට හිටිය තැනත් අමතක වුණා. ඒ තරමටම ඒක සැරයි.

ඒත් මොනවා කරන්නද? පටිගත කිරීම නවත්තලා ගිහින් වතුර වීදුරුවක් බීගෙන බීගෙන ගියා. ඒ වගේම තමයි මම සාමාන්‍යයෙන් කන්නේ නැති මස් වර්ගවල රස බලන්නත් මේ වැඩ සටහනේදී සිදු වෙනවා. මොනවා කරන්නද? තරගයක් නිසා ඒ අයගේ කෑම රස බලන්නම වෙනවානේ. මේක කෑම උයන තරගයක් නිසා තරගයට එන්නේ විවිධ කෑම වර්ග උයන තරගකරුවෝ. අවසන් තරග වටයක් දවසකදී තිබුණු උණුසුම නිසාම එක තරගකරුවෙක් තෙල් වර්ගයකින් කෑමක් සෑදුවා. තරගරුවගේ ලිප පත්තු වුණේ නැහැ. ඔහු ලිප පත්තු කරන්න ලයිටරය ගැහැව්වා විතරයි එක පාරටම ගිනි ගත්තා. මුළු ශාලාවම දුමෙන් පිරුණා. මේ වගේ පුදුම අත්දැකීම් ගොන්නක් තියනවා.

එතකොට නාරද මේ නිවේදන කලාවට එකතු වුණේ කොහොමද?

මම මේ ක්ෂේත්‍රයට එකතුවීමත් පුදුම අත්දැකීමක්. මම පාසල් ගියේ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයට. උසස් පෙළ කරලා විශ්ව විද්‍යාලේ යන්න ඉන්න කාලේ තරුණ සේවා සභාවේ ජන සන්නිවේදනය කළා. ඒ කාලේ යං ඒෂියා ටී. වී. එකට ඇප්ලයි කළා. මම මුලින්ම ඒ ආයතනයේ නිෂ්පාදකවරයකු විදිහට කටයුතු කළේ. සිරස රූපවාහිනිය සමඟ තමයි මුලින්ම මම නිවේදන වැඩසටහන්වලට සම්බන්ධ වුණේ. මුලින්ම කළ වැඩසටහන් අතුරින් ‘මිහිසර’ වැඩසටහන ඒ කාලයේ වඩාත් ජනප්‍රිය වුණා.

මේ වැඩ සටහනට විවිධ ප්‍රදේශවල පරිසර වැඩ සටහන් පටිගත කරන්න යනවා. එක දවසක් අපට තිබුණා පරිසර විනාශයක් වෙන ගල් කෝරියක් ගැන පටිගත කරන්න. අපි සියලුම දෙනා යන්න ලැහැස්ති වෙලා හිටියේ. අහම්බෙන් මට හදිසි වැඩකට යන්න වුණා. ඒත් අපේ කණ්ඩායම ගියා. එහිදී එතන හිටිය පිරිස ඔවුන්ට හොඳටම පහර දීලා තුවාල වෙනකම් ගහලා තිබුණා. ඇත්තටම මේ සිද්ධිය කනගාටුව දනවන සිද්ධියක්. මොකද අපි සෑම මොහොතකම කරන්නේ ජනතා මෙහෙවරක්. එතනදී ඇත්ත හෙලිදරව් කිරීමේදී පහර දෙනවා නම් ඒක කොයි තරම් වැරැදි ක්‍රියාවක්ද? අපේ කණ්ඩායම ගියේ වැරැදි දෙය ගැන වාර්තා කරන්න.

එතකොට ඔබගේ සහකාරිය හමුවුණේ?

ඒකත් මාධ්‍ය නිසාම තමයි හමුවුණේ. මම පරිසර වැඩසටහන් කරන කාලේ සෙන්ට් බ්‍රිජට් එකට ගිය අවස්ථාවක තමයි දිනුෂි හමු වුණේ. අපි අවුරුදු දහයක් විතර මිතුරන් ලෙස ඇසුරු කළා. පසුව තමයි ප්‍රේම සම්බන්ධයකට පෙරලුණේ.

ඒ කතාවත් සමඟ නාරදගේ දයාබර සහකාරිය දිනුෂි අතපත්තුත් අප හා පිළිසඳර එක් වුණා.

මම නම් වෛද්‍ය විද්‍යායේ කථිකාචාර්යවරියක්. ඒත් මමත් නාරද අයියා වගේම පරිසරයට ආදරය කරනවා. ඒ නිසාම අපි දෙන්නාගේ අදහස් ගැළපුණා. අපේ පාසලේ වැඩසටහන්වලට ඇවිත් තමයි අපි දැන හඳුනා ගත්තේ. පස්සේ අපි දෙන්නාගේ හිතවත්කම ප්‍රේමයට පෙරලුණා.

ඔය දෙන්නා ක්ෂේත්‍ර දෙකක නිසා විවේකයක් නැතුව ඇතිනේ?

අපි රාජකාරී වැඩ ගෙදර ගේන්නේ නැහැ. ඊටත් නාරද අයියාගේ රැකියාවට වඩා මගේ රැකියාවේ නිදහසක් තියෙනවා. ඒ නිසා අපි දෙන්නා සතුටින් ඉන්නේ. නිදහසක් ලැබුණු හැම මොහොතකම පරිසරයේ සිරි විඳගන්න කොළඹින් පිට පළාතකට යනවා. එයින් ලබන සතුට, සැනසුම, ආත්ම තෘප්තිය කිසිම දෙයකින් ලබන්න බැහැ කියලා හිතෙනවා.

නාරදගේත් දිනුෂිගේත් ආදර සෙනෙහස පරිසරයට හා ලැබැඳි සෙනෙහස නිසාම එක් වූවකි. එසේ ලැබැඳී ඒ සෙනෙහෙසට තවත් සාමාජිකයකු එක් වෙන්නට ප්‍රාර්ථනා කරමින් ඔවුන්ගෙන් සමුගත්තේ සැඳෑ සමය ළඟා වෙන්නට මත්තෙනි.