වර්ෂ 2014 ක්වූ ජනවාරි 02 වැනිදා බ්‍රහස්පතින්දා




එක දර්ශනයක් ගන්න හත් වතාවක් මම කන්ද නැග්ගා

එක දර්ශනයක් ගන්න හත් වතාවක් මම කන්ද නැග්ගා

මේ දිනවල පුංචි තිරේ පවිත්‍රාත්, ටානියාත් වන

පබසරා කාරියවසම්

මිරිඟුදිය ටෙලි සිතුවමේ පවිත්‍රාව ඔබට මේ දිනවල හරිම ළෙංගතුයි. එමෙන්ම තූර්යා හි ටානියා ඊට වෙනස්ම වූ චරිතයකි. මේ සූදානම ඒ චරිත ද්විත්වයට පණ පෙවන රංග ශිල්පිනියව හඳුනා ගන්න. පබසරා කාරියවසම්. පවිත්‍රාත්, ටානියාත් වන්නීය ඇයයි. පබසරා පළමුව ප්‍රධාන චරිතයක් මවමින් ප්‍රේක්ෂකයන් අතරට ආවේ අරුන්දතී ටෙලි සිතුවමෙනි. ඊට පසුව වාසනා වේවා, සිහින තාරකා වැනි නාට්‍යවල විවිධ චරිත ඔස්සේ ටෙලි නාට්‍ය ලෝලීන්ගේ ආකර්ෂණය දිනාගත් ඇය අංගනා ටෙලි සිතුවමේ මංගලී වෙමින් ඉමහත් ජනප්‍රියත්වයක් ලද්දීය.

අංගනා අධ්‍යක්ෂණය කළේ නාලන් මෙන්ඩිස් මහත්මයා. එය වැඩිම පිරිසක් නරඹපු ටෙලි නාට්‍යයක්. මංගලී කියන්නේ ගෙදර මෙහෙකාරිය. මං මේ මෙහෙකාරිගේ චරිතයක් කළාමයි. සමහරු හිතන්නේ මං ඇත්තම වැඩකාරියක් කියලා. මං ඉතින් හොඳට ඇඳ පැළඳගෙන මඟ තොට යද්දී ඇතැම් අය අහනවා ගෙදර වැඩකාරියක් ඔහොම ඇඳගෙන යනවද කියලා.

පබසරා ඉගෙනුම ලැබුවේ කොළඹ අනුලා විද්‍යාලයෙනි. පාසල් අවදියේ සිට නාට්‍ය රංගනයට ඇය තදින් ඇලුම් කළාය. පාසල් අධ්‍යාපනය නිමවෙත්ම පබසරා රංගනයටයි පිවිසුණේ. කලා ලෝකය ගැන වෙනස්ම මතයකිනුයි ඈ ඉන්නේ. කලා ක්ෂේත්‍රය ඇතුළේ ගැහැනු ළමයකුට කටකතා හැදෙනවා වැඩියි. පබසරා නම් කියන්නේ කට කතාවක් හදාගන්න ආසයි කියලයි.

මේ ක්ෂේත්‍රයේ කටකතා හැදෙන එක නවත්වන්න බැහැ. අනික බහුතරයක් කතා බොරු ඒවා. අන්න ඒ වගේ බොරු කටකතාවක් මට නම් තවම හැදුණේ නැහැ.

පබසරා නාට්‍ය කරන්න ගිහින් හරි හරි අත්දැකීම්වලට මුහුණ දීලා තියෙනවලු. දිනක් එක් නාට්‍යකදී ඇය පොල් ගෝනියක් ඔසවාගෙන යන දර්ශනයක් තිබුණලු. පබසරා ඒක ඔසවලා. ගෝනිය හරිම බරයිලු. බලපුවම ඇයව බයිට් කරන්න එතැන සිටි නාට්‍ය කණ්ඩායමේ කිහිප දෙනෙක් ගෝනියට කළුගල් දාලා.

පබසාරා මේ සිදුවීම මතක් කළේ හසකැන් පාමින්. මිරිඟුදිය නාට්‍ය කරන්න ගිහිල්ලත් හත් වතාවක් දර්ශනයක් වෙනුවෙන් කන්දක් නගින්න වුණාලු. එක වතාවක් නෙවෙයි හත් වතාවක් කන්ද නැගලා අවසානයේ දනිස්වල බාම් ගා ගෙනයි ඇය ඊළඟ දර්ශනවලට පෙනී ඉඳලා තියෙන්නේ.

පබසරා සාමානයෙන් නිහඬ චරිතයක් කියලා ඇය පවසනවා. ඒ වගේම නිසල ජලය ගැඹුරුයි කියන්නා වගේ ඇයට ඉක්මනින් කේන්ති යනවාලු. කේන්ති ගියාම පැත්තකට වෙලා අඬන එකලු ඇය කරන්නේ.

පබසරාට උදවු කරපු අයව මෙහෙම නම් වශයෙන් මතක් කළාය. මානෙල් වානගුරු, අනුර ජයසේකර, ටිකිරි රත්නායක, ක්‍රිෂ්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු, නාලන් මෙන්ඩිස්. රංනයෙන් දිගු ගමනක් යාමට පෙරුමන් පුරන බව පබසරා අවසන් වශයෙන් පවසා සිටියාය.