වර්ෂ 2014 ක්වූ ජනවාරි 02 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රොටෝකෝල් නෑකම

ප්‍රොටෝකෝල් නෑකම

හිටපු නාවික හමුදාපති අද්මිරාල් සෝමතිලක දිසානායක යැයි කියූ පමණින් ඔහු ආරක්ෂක අංශයට පමණක් සීමා වූ කෙනෙකු නොවන බව ඔබ හොඳින්ම දන්නා කරුණක්. රණවිරුවෙකු ලෙසින් රණබිමේ සිටියත් එතුමා අතින් අපූරු පදවැල් ලියවුණා ඔබට මතක ඇති. චිත්‍රපට අධ්‍යක්ෂ සෝමරත්න දිසානායකගේ සූරිය අරණ සිනමා නිර්මාණයට පාදක වුණෙත් සෝමතිලක දිසානායක අතින් ඥාති පුත්‍රයකු වන හර්ෂණ දිසානායකට ලියූ පොඩි හාමුදුරුවෝ ගීතයයි.

දැන් කාලය ගත වෙලා ගිහින් සෝමතිලක දිසානායක සිටින්නේ විශ්‍රාම සුවයෙන්. ඒ අතරතුරේ පසුගියදා තවත් ඥාති පුත්‍රයකුගේ විවාහ මංගල උත්සවයකුත් පැවැත් වුණා. ඒ තමයි චිත්‍රපට නිෂ්පාදිකා රේණුකා බාලසූරියගේ පුතු වන විශ්වා බාලසූරියගේ විවාහ මංගල උත්සවය. එහිදී සෝමතිලක දිසානායකටත් ඉහළ නිලධාරීන් හා විශේෂ අමුත්තන් වෙනුවෙන් වූ ස්ථානයේ ආසනයක් වෙන් කරන්නත් රේණුකා අමතක කරලා නැහැ.

හැබැයි මේක දැක්ක ගමන් හිටපු නාවික හමුදාපතිතුමා නම් සතුටු වුණේ නැහැ. එතුමා කෙළින්ම ගියේ රේණුකා ළඟට. ගිහින් ඇහුවේ ‘ඇයි නෑනෝ මට අතනින් ආසනයක් වෙන් කළේ’ කියලයි. ‘මං පවුලේ කෙනෙක් නේද?’ කියලත් එතුමා කිව්වේ බොහොම නිහතමානීව. ‘ඒක තමයි විශේෂ අමුත්තන් අතරේ පවුලේ කෙනෙක් විදියට ප්‍රොටෝකෝල් සලකලා තමයි ඒ ආසනය වෙන් කළේ’ රේණුකා කාරණාව පහදලා දුන්නා.