වර්ෂ 2014 ක්වූ ජනවාරි 02 වැනිදා බ්‍රහස්පතින්දා




හිත හොඳ වැඩිකමට යාළුවෝ කළ වැඩක්

හිත හොඳ වැඩිකමට යාළුවෝ කළ වැඩක්

අංජලී ලියනගේ කියන්නෙත් පුංචි තිරය හැඩ කරන රංගන ශිල්පිනියක් වගේම කාටත් උදව් කරන බොහොම හිත හොඳ කෙනෙක් කියන එක කවුරුත් දන්න දෙයක්. පසුගිය දවසක දෙන්නෙකුට උදව් කරන්න ගිහින් අංජලී දැන් ඉන්නේ හරිම කණගාටුවෙන්.

අංජලී දවසක් ෆේස් බුක් එකේ මිතුරියන් දෙදෙනෙක් සමඟ චැට් කරන වෙලාවෙදි අර මිතුරියන් දෙන්නම අංජලීට කියලා තියෙන්නේ ඒ දෙන්නටත් ටෙලි නාට්‍යයක රඟපාන්න අවස්ථාවක් ඉල්ලලා දෙන්න කියලා. ඔන්න ඉතිං අංජලීත් මේ දෙන්නට උදව් කරන්න කියලා හිතාගෙන තමන් දන්නා තරමට ඒ දෙන්නගේ විස්තර හඳුනන ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරුන්ට කියලා.

මේ විදියට ටික දවසක් ගත වෙද්දී එක නාට්‍යයක චරිතයකට තරුණියක් ඕනෑ වෙලා. සහාය අධ්‍යක්ෂ කෙනෙක් අර අංජලී කියූ මිතුරියන් දෙන්නාගෙන් කෙනෙකුට කෝල් කරලා. චරිතය ගැන එහෙම විස්තර කළාට පස්සේ අර මිතුරිය ලොකේෂන් එකට එන පාර අහලා. ඉතිං අර සහාය අධ්‍යක්ෂ බස් එකේ නැගලා එන විදියට පාර කියලා. අන්තිමට ලොකේෂන් එක තියෙන තැන කිව්වට පස්සේ අර තරුණිය ඔහුට හොඳටම බැනලා. ‘ඔයා හිතුවද මම බස් එකේ යන කෙනෙක් කියලා. මට හයිබ්‍්‍රඩ් එකක් තියෙනවා’ කියලා තමයි බැනලා තියෙන්නේ. ඊට පස්සේ කෝල් එක කට් කලා. ෂූටිං එකට ඇවිල්ලත් නැහැ.

මේ අතරෙදි තවත් නාට්‍යයක දර්ශනයකට තවත් චරිතයකට අර අනිත් මිතුරියට කෝල් කරලා. ඇයට තියෙන චරිතය ගර්භනී කාන්තාවකගේ චරිතයක්. සහාය අධ්‍යක්ෂ චරිතය විස්තර කළාට පස්සේ ඇය ටිකක් ලැජ්ජාවෙන් වගේ ‘අයියේ මම තාත්තගෙන් අහලා කියන්නම්’ කියලා කෝල් එක කට් කළාමයි අද වෙනතුරු ඒ චරිතය රඟපාන්න කැමැති ද අකමැති ද කියලවත් දැනුම් දීලා නැහැ. ඉතිං මේ දේවල් නිසා දැන් අපහසුතාවයට පත් වෙලා ඉන්නේ අනුන්ට උදව් කරන්න ගිය අංජලී.