වර්ෂ 2014 ක්වූ ජනවාරි 02 වැනිදා බ්‍රහස්පතින්දා




දරුවා හැදුවෙ මම, ඒත් අයිතිවාසිකම් කියන්නෙ වෙන අය

දරුවා හැදුවෙ මම, ඒත් අයිතිවාසිකම් කියන්නෙ වෙන අය

රංජිත් එදිරිසිංහ මතකයේ රැඳුණු ගී ගැන චෝදනාවක් කරයි

ගුවන් විදුලිය මහා සාගරයක්

“ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ දශක තුනකට අධික කාලයක් ‘මතකයේ රැඳුණු ගී’ වැඩසටහන විකාශය වුණා. ඒ වෙළෙඳ සේවය ඔස්සේ. මතකයේ රැඳුණු ගී තේමා වාදනය සහ එහි නාමය යෝජනා කළේ තමා බව පවසමින් නිවේදන ශිල්පී රංජිත් එදිරිසිංහ මතකයේ රැඳුණු ගී වැඩසටහන පිළිබඳ අතීත අප්‍රකට තොරතුරු සරසවියට කියන්නට පසුගියදා පැමිණියා. මේ ඔහු සමඟ කළ සාකච්ඡාවකි.

* මතකයේ රැඳුණු ගී ආරම්භ වෙන්නේ කවදාද?

1983, දෙසැම්බර් මාසයේ දවසක.

* එවකට ඔබ ගුවන්විදුලියත් සමඟ සම්බන්ධද?

70 දශකය වෙනකොට මගේ පියාගේ අභාෂයෙන් මා ළඟ හින්දි, සිංහල, ගීත තැටි දෙදාහකට වැඩි ප්‍රමාණයක් තිබුණා. ඒ කාළේ ගුවන් විදුලියට නිතර ආවගිය කෙනෙක් මම. ඔය අතරෙදි රංජිත් පීරිස්ව මට හමුවුණා. ඔහුට මම මේ ගැන පැවසුවා. මගේ ළඟ ගුවන් විදුලියේ නොමැති හැම ගී තැටියක්ම පරීක්ෂා කරලා බැලුවා. රංජිත් පීරිස් මහත්මය නිතර රාජගිරියේ මගේ නිවසට ආවා ගියා. එහි ප්‍රතිඵලයක් විදියට මම කිව්වා ‘මතකයේ රැඳුණු ගී’ කියලා වැඩසටහනක් කරමු කියලා. ගුවන් විදුලියේ අවසරය මත ඒ සඳහා තේමා වාදනයත් මමම තෝරලා දුන්නා. එය ප්‍රචාරය වුණේ රාත්‍රී අටට. ඒ මුල්ම වැඩසටහනේත් පටිගත කළ වැඩසටහනක් තවමත් මා ළඟ තියෙනවා.

* ඔබ නිවේදකයෙක් ලෙස සම්බන්ධ වෙන්නේ?

ඒ කාලේ ‘මතකයේ රැඳුණු ගී’ ජනප්‍රිය වැඩසටහනක් වුණා. එවකට ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ වෙලා හිටියේ ප්‍රවීණ මාධ්‍යවේදී ලලිත් එස්. මෛත්‍රීපාල. එතුමන් මට කතා කළා. ‘මතකයේ රැඳුණු ගී’ වැඩසටහනට තැටි ලබා දෙන මම ගැන වැඩසටහනක කරන්න. ඒ වන විට මගේ නම ප්‍රචාරය වුණේ රාජගිරියේ රංජිත් එදිරිසිංහ කියලා. ඒ වැඩසටහනේදී එතුමන් මගෙන් ප්‍රශ්න කිහිපයක් ඇසුවා. ඒ ගැන පැහැදිලා මගේ හඬ පරීක්ෂණයක් තියලා මාව නිවේදකයෙක් විදියට තෝරා ගත්තා.

* ඊට පසුව ඔබ මතකයේ රැඳුණු ගී වැඩසටහනට සම්බන්ධ වුණාද?

ඔය කාලයේ මම බම්බලපිටිය පැත්තේ ටියුෂන් පංති කළ රංජන් සිල්වා කියලා මහත්මයෙක් රංජිත් පීරිස්ට හඳුන්වා දුන්නා. එයත් ඊට පස්සේ එයාගේ පන්තියේ ළමයි හරහා විශාල තැටි ප්‍රමාණයක් ගෙනාවා. ඔය වෙනකොට වසරක් පමණ ගතවෙලා මතකයේ රැඳුණු ගී වැඩසටහන ආරම්භ කරලා. ඒ නිසා ‘අතීතයෙන් ඇසුණ ගී’ කියන වැඩසටහන මට ස්වදේශීය සේවයට කරන්න වුණා. ඒ 1984 වර්ෂයේ. ඊට පස්සේ අතීතයෙන් ඇසුණ හින්දි ගී කියලා පැරැණි හින්දි ගී වැඩසටහනකුත් ඉදිරිපත් කළා.

* පසුගියදා ‘මතකයේ රැඳුණු ගී’ වසර 30 ක් පිරීම නිමිත්තෙන් උත්සවයක් පැවතුණා. ඒ සඳහා ඔබත් සම්බන්ධද?

මට ඇති විශාලම දුක තමයි ඒක. ‘මතකයේ රැඳුණු ගී’ කියන දරුවා වැදුවේ මම. හැබැයි දැන් දරුවට තාත්තා වෙන්න හදන්නේ පිට මිනිස්සු. ඒ කාලේ රංජිත් පීරිස් මහත්මයයි මමයි එකතුවෙලා ‘මතකයේ රැඳුණු ගී’ දරුවා ජාතක කළේ. මම දන්නේ නැහැ ඔය සංවිධායක මණ්ඩලයේ ඉන්නේ කවුද කියලවත්. අතීත තොරතුරු හරියට අධ්‍යයනය කරනවා නම් මට ඇරයුම් පතක් හෝ ඔවුන්ට එවන්න තිබුණා. අඩුම තරමින් ආරාධනාවක්වත් නැහැ.

* ඔබ වගකීමෙන්ද ඔය ප්‍රකාශය කරන්නේ?

ඔව්. මම මතකයේ රැඳුණු ගී තෝරලා දුන්නා. තේමා වාදනයේ අංකයත් මා ළඟ තියෙනවා. ඒ වාගේම ලලිත් එස්. මෛත්‍රීපාල මැතිතුමා සමඟ මම කළ සංවාදයෙන් ඒ බව සඳහන් වෙනවා. මා ගාව තාම ඒ පටිගත කළ සියල්ල තියෙනවා.

* ඔබ ඔය චෝදනා කරන්නේ එහි සංවිධායකයන්ටද?

අනිවාර්යයෙන්ම. ගුවන් විදුලිය වගේ මහා සාගරයක් වගේ තැනක වැඩසටහනක් ගැන උත්සවයක් කරනකොට එහි අක්මුල් ගියතැන් හොයන්න ඕනෑ. මම දායකවුණ වැඩසටහනකට වෙන අය අයිතිවාසිකම් කියනවානම් එය හරිම ලැජ්ජා සගතයි. වසර 20 ක සිට ස්වාධීන රූපවාහිනී සේවයේ භාරත ගී වින්දන වැඩසටහන කරන්නෙත් හරිම ආසාවෙන්. අනෙක් කාරණය තමයි ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන් මම කිසිම වැඩසටහනක් වෙනුවෙන් තැටි ලබාදීම වෙනුවෙන්වත් මම මුදල් ලබා ගෙන නැහැ. මම ස්වෙච්ඡාවෙන් තමයි එහි කටයුතු කළේ.

* වැඩසටහනට සහභාගි නොවුණට ඔබ එක්තරා වැඩසටහනකින් ඒ බව පැවසුවා.

ඔව්. මගේ දරුවට (මතකයේ රැඳුණු ගී) වසර තිහක් සපිරෙනකොට තාත්තා කෙනෙක් හැටියට මට ආඩම්බරයි. නමුත් දරුවට පිට අය අයිතිවාසිකම් කියලා තාත්තා වෙන්න හදනකොට හිතට අමාරුයි.

* අවසාන වශයෙන්?

වසරගණනක් තිස්සේ මාධ්‍ය ක්ෂේත්‍රයේ රැඳී සිටිනවා. ඒ මගේ විනෝදාංශය. මට ජීවත්වෙන්න වෙනම ආදායම් මාර්ග තියෙනවා. ඒ නිසා මේ විදියේ වැඩ වෙනකොට හිතට හරිම දුකයි.