වර්ෂ 2014 ක්වූ ජනවාරි 02 වැනිදා බ්‍රහස්පතින්දා




අර්ජුන්ගෙන් අහන්න

අර්ජුන්ගෙන් අහන්න

සරසවිය පාඨකයන් බොහෝ දෙනෙකු එහි අර්ජුන්ගෙන් පැන විසඳුම තීරය ආශාවෙන් බලනවා. ඇයි සමහර දිනවල එය පල නොවන්නේ?

කේ. ජී. සෝමදාස - තම්මිට

සමහර ඒකාකාරී ප්‍රශ්නවලට උත්තර දීම අර්ජුන්ට අසීරු හා එපා වෙලා නිසා.

පසුගිය නොවැම්බර් හත් වැනිදා ‘සරසවිය’ පුවත්පතේ අර්ජුන්ගෙන් අහන්න තීරුවේ ගම්පහ ජයලත්ගේ පැනයට සපයා දුන් පිළිතුර වූයේ ‘බඩුත් එක්ක හොරු’ චිත්‍රපටයේ සංගීතය සෝමදාස ඇල්විටිගලගේ කියලා. නමුත් එය සංගීතවත් කළේ ෂෙල්ටන් ප්‍රේමරත්නයන් නේද?

නෙවිල් තිරහෙට්ටි – පමුණුගම

ඔබ නිවැරැදියි නෙවිල්.

කොලිවුඩ් සිනමාවෙ රංගන ශිල්පීන් වන සරත් කුමාර් හා අජිත් කුමාර් අතර ඇති ඥාති සම්බන්ධය කුමක්ද?

ශෂිකලා - අස්ගිරිය

ඔවුන් අතර ඥාති සම්බන්ධයක් නැහැ.

රදල පිළිරුව සිංහල චිත්‍රපටය ගැන යමක් කියන්න. එම චිත්‍රපටයේ පිටපත් සංරක්ෂණය කර තිබේද?

ජයම්පති නවරත්න – මාතලේ

ටී. ආර්. සුන්දරම් අධ්‍යක්ෂණය කළ එම චිත්‍රපටයට පාදක වනුයේ ඩබ්. ඒ. සිල්වාගේ අතිශය ජනප්‍රිය නවකතාවයි. එහි තිර රචනය කීර්තිමත් සාහිත්‍යධරයකු මෙන්ම දේශපාලඥයකු වු ටී. බී. ඉලංගරත්නයන් විසින් ලියූවක්. එහි නිෂ්පාදනය කේ. ගුණරත්නම්. නමුත් අවාසනාවකට එහි පිටපත් සංරක්ෂණය කර නැහැ. හර්බි සෙනෙවිරත්න, රීටා රත්නායක, ඩොමී ජයවර්ධන, ශාන්ති ලේඛා, ලැඩී රණසිංහ, ලතා වල්පොල ආදීන් එහි රඟපෑවා.

ටෙලි නාට්‍ය, වේදිකා, සිනමා රංගන ශිල්පී විජය නන්දසිරි දැන් කෝ. ඔහු දැන් සිනමාවෙන් ඉවත් වෙලාද?

පොලින් වික්‍රමසිංහ – මාවනැල්ල

කවුද කිව්වේ පොලින් විජය රඟපෑමෙන් ඉවත් වෙලා කියලා. ළඟදී 500 වැනි දර්ශනය පෙන්නපු ‘බල්ලොත් එක්ක බෑ’ වේදිකා නාට්‍යයෙත් ඔය විජය රඟපාමින් ලෝකය පුරා යන්නේ.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර සිනමා උළෙලවලට චිත්‍රපට ඉදිරිපත් කරන්නේ කුමන ආකාරයකින්ද?

තිලකරත්න විල්වල – කෑගල්ල

බොහෝ විට චිත්‍රපට සංස්ථාව හෝ ආසියානු සිනමා පදනම නමින් හෝ ජාත්‍යන්තර චිත්‍රපට උළෙල සඳහා චිත්‍රපට ඉදිරිපත් කරනවා. එසේ නැත්නම් අන්තර්ජාලය මඟින් අදාළ සිනමා උළෙලයන්ට අයදුම් කළ හැකියි.

උදයකාන්ත වර්ණසූරිය මහතාගේ ලිපිනය ලබා දෙනවාද?

රංජනී සෙනෙහෙලතා - හල්මිල්ලවැව

160/29, පූර්වාරාම පාර, කිරුලපන, කොළඹ 05.

ප්‍රවීණ රංගන ශිල්පී ආනන්ද වික්‍රමගේ දැන් රඟපාන්නේ නැතිද?

එස්. එල්. වික්‍රමසිංහ – මාවනැල්ල

ඇයි අප්පේ ඔය රඟපාන්නේ.

රජ හොරු හින්දි කොපියක්ද?

සමන් වික්‍රමතුංග - ගම්පහ

2000 වසරේ තිරගත වූ පි‍්‍රයදර්ශන් අධ්‍යක්‍ෂණය කළ “හේරා පේරී” චිත්‍රපටයේ අනුකරණයක්.

චිත්‍රපට නිෂ්පාදක කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා ගේ නමේ මුල් අකුරු තුනෙන් හැඳීන්වෙන්නේ කුමක්ද?

විමල් රණසිංහ - කොළඹ – 14.

කොත්දුව (කේ) ආරච්චිගේ (ඒ) විල්සන් (ඩබ්ලිව්).

අසහාය ගායක එච්. ආර්. ජෝතිපාලයන් ගීත කෝකිලාව රුක්මණී දේවිය සමඟ ගීත ගායනා කර තිබේද?

පී. වයි. අනුලාවතී – අවිස්සාවේල්ල.

ඔව්, අනුලා. ඇයි ඔයාට මතක නැද්ද ‘කෝකිලයා කෙවිළිය හා’ කියන ජනපි‍්‍රය ගීතය.

හින්දි සිනමාවේ ජනපි‍්‍රය නළුවන් දෙදෙනකු වූ අමිතාබ් භච්චන් හා ධර්මේන්ද්‍ර චිත්‍රපටවල එකට රඟපා තිබේද?

එච්. ඉන්ද්‍රපාල – මුංහේන.

ඉන්දියානු සිනමාවේ අමරණීය චිත්‍රපටයක් වන ‘ෂෝලේ’ චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟන්නේ ඔවුන්.

අර්ජුන්, ඔබ වඩාත් පි‍්‍රය කරන්නේ විජය කුමාරණතුංග කියන නළුවාටද? දේශපාලඥයාටද?

පහළ ගෙදර අනුලා - කුඩගම.

විජය කුමාරණතුංග නම් ආදරණීය නළුවාට.

කිශෝර් කුමාර් ගයන දේකානා අහේරේ ගීතය ඇතුළත් වූයේ ‘බොම්බෙ ටූ ගෝආ’ චිත්‍රපටයටද?

ඩබ්ලිව්. ලෙනාඩ් රණසිංහ – දූනගහ.

ඔව්නේ එම ගීතය ‘බොම්බෙ ටූ ගෝ ආ’ චිත්‍රපටයේ තියෙන්නේ.

දක්‍ෂතාව මෙන්ම රූමත්කමින් ද කිසිදා අඩුවක් නොවූ, ස්වර්ණා මල්ලවාරච්චිට වාණිජ සිනමාවේ ස්ථාවරයක් තිබුණේ නැහැ නේද අර්ජුන්?

ජනක ඉලුක්කුඹුර – කඩවත

කවුද කියන්නේ, ඇය වාණිජ චිත්‍රපටවල රඟපෑවේ නෑ කියලා. ‘දඩයම’ වැනි ඉහළම ගණයේ වාණිජ චිත්‍රපටවල වගේම ‘ගොපලු හඬ, හොඳම වෙලාව’ වැනි වාණිජ චිත්‍රපටවලත් ඇය රඟපෑවා.

‘අකුරට යන්නට කම්මැලි හිතිලා’ යන ගීතය ගායනා කරන්නේ කවුද?

පාලක සමන් පෙරේරා - වත්තල

ස්වර්ණලතා කවීෂ්වර.

සත්‍යජිත් රායි මුලින්ම අධ්‍යක්ෂණය කළ චිත්‍රපටය කුමක්ද?

එච්. එල්. තිලකසිරි - මීටියාගොඩ

පාතර් පංචාලි.

මා දන්නා තරමින් 1963 න් පසුව සිනමා තොරතුරු රැගත් සඟරා හැත්තෑවක් පමණ බිහිවුණා. සමහර සඟරා වසර තුන හතරක් පැවතියා. සමහර සඟරා දැමූ විගසින්ම නැතිව ගියා. නමුත් අපේ අමරණීය ‘සරසවිය’ කුමරිය දිනෙන් දිනම ලස්සන වෙමින් අඩසිය වසකටත් වඩා ලක් දෙරණේ රැඳී සිටීමේ රහස කුමක්ද අර්ජුන්?

ගිල්බට් පෙරේරා - හෝකන්දර

හණ මිටි කරේ තියාගෙන නොයෑම.

පසමිතුරෝ, සඳවට රන්තරු, හරිම බඩු තුනක් ආදී ජනපි‍්‍රය චිත්‍රපට නිෂ්පාදනය හා අධ්‍යක්‍ෂණය කළ ආනන්ද හේවාගේ කලාකරුවා ගැන තොරතුරු බිඳක් කියන්න.

ඒ. එච්. පි‍්‍රයනන්දනී – හුංගම.

ආනන්ද හේවගේ කලාකරුවා වෘත්තියෙන් විදුහල්පතිවරයෙක්. ගුරුවරයෙක්. පසමිතුරෝ ආදී චිත්‍රපට නිර්මාණය කළ ඔහු මීට වසර තුනකට පමණ පෙර අප අතරින් සමුගත්තා.

භාරත සිනමාවේ ‘පාතර් පංචාලි’ පාතර් පංචාලි සහ අපූර්ව පංචාලි යන නම්වලින් හැඳින්වෙන්නේ චිත්‍රපට තුනක්ද? එසේත් නැත්නම් එකම කතා තේමාවන් රැගත් භාෂා තුනකින් නිපද වූ චිත්‍රපට තුනක්ද? යන්න පැහැදිලිව කියා දෙන්නකෝ?

තිලකරත්න විල්වල – කෑගල්ල

පාතර් පංචාලි සහ පාතෙර් පංචාලි යන නමින් හැඳින්වෙන්නේ අග්‍රගණ්‍ය සිනමා ශිල්පී සත්‍යජිත් රායිගේ ප්‍රථම චිත්‍රපටයයි. ඒ පතර් පංචාලි, අපරාජිතෝ සහ ඔපු සංසාර් යන චිත්‍රපට ත්‍රිත්වයේ මූලාරම්භයයි. අපූර්ව (ඔපු) පංචාලි යනු පාතර් පංචාලි ප්‍රධාන චරිතය රඟපෑ සුබීර මුඛර්ජිගේ ජීවිත කතාව ඇසුරින් තැනූ චිත්‍රපටයයි.

මාහේනේ රීරි යකා පොත ලිව්වේ කවුද?

ඩබ්ලිව්. ලෙනාඩ් – දූනගහ

හිටපු අගමැති එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහත්මා.

ලෝකයේ සිනමාශාලා නැති රට කුමක්ද?

වියානි ගුණවර්ධන - වෙන්නප්පුව.

සවුදි අරාබිය.

ප්‍රවීණ ගායිකාවන් වන ජමුනා රාණි, කේ. රාණි, ජික්කි, කේ. කේ. රාජ්ලක්‍ෂමි අතරින් දැනට ජීවතුන් අතර සිටින්නේ කවුද?

ඩබ්. පී. එස්. නිලමේ - හෝකන්දර.

මේ අතරින් ජීවතුන් අතර සිටින්නේ ජමුනා රාණි පමණයි.

සිනමාස්, සිලෝන් තියටර්ස්, සිලෝන් එන්ටර්ටෙන්මන්ට් සමාගම් තවමත් ක්‍රියාකාරීද? එම සමාගම්වලට තවමත් අයිති සිනමාහල් තියෙනවද?

කරූ මන්දාවල – නාත්තන්ඩිය

ඔව්. තවමත් ක්‍රියාකාරියි. කොළඹ රිගල්, මැජස්ටික් වැනි ශාලා සිලෝන් තියටර්ස් සමූහය මගිනුත් කිංස්ලි, කැපිටල්, ලිඩෝ වැනි ශාලා සිනමාස් මගිනුත් පාලනය වෙනවා. සිලෝන් එන්ටර්ටේයින්මන්ට් සමාගම මේ සිනමා ශාලා පාලනයෙන් අයින්වෙලා. සිනෙ එන්ටටේන්මන්ට්ස් නැතහොත් සි. ඊ. එල් ප්‍රදර්ශක මණ්ඩලය හැදුණේ මේ සමාගම් තුනේම එකතුවෙන්.

ප්‍රවීණ ගායන ශිල්පී සනත් නන්දසිරි චිත්‍රපට සඳහා සංගීතය සපයා තිබේද?

එම්. අයි. පාල – මුංහන්දිය

ඔව්, අජාසත්ත, තුත්තිරි මල්, රන්මලිගේ වාසනාව, මිහිදුම් සළු චිත්‍රපටවලට.

‘ටක් ටික් ටුක්’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කවුරුන්ද?

ජයලත් – ගම්පහ

යසපාලිත නානායක්කාර.

සිංහල සිනමාවේ දැනට ජීවත්ව සිටින ජ්‍යෙෂ්ඨතම නළුවා කවුද?

කේ. ජී. සෝමදාස- තම්මිට

ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්.