වර්ෂ 2014 ක්වූ ජනවාරි 02 වැනිදා බ්‍රහස්පතින්දා




උරචක්කරමාලා කරේ එල්ලගන්නවට වඩා තනිකඩ ජීවිතය මට හොඳයි

උරචක්කරමාලා කරේ එල්ලගන්නවට වඩා තනිකඩ ජීවිතය මට හොඳයි

ගාමිණී අම්බලන්ගොඩ

වර්තමාන සමාජයෙහි විවාහ නොවූ අය බහුලය. කලා ක්ෂේත්‍රයේ ද එවැනි තරු බොහොමයක් අපට මුණ ගැසේ. ඔවුන් එකිනෙකා විවාහ දිවිය තෝරා නොගැනීමට බලපා ඇත්තේ විවිධ වූ සාධකය. මෙවර ‘තනි මංසල’ විශේෂාංගයට සහභාගි වන ඔහු ගාමිණී අම්බලන්ගොඩ යි.

ඔබ කාර්යබහුල කෙනෙක් වගෙයි?

මේ දවස්වල ‘රාජ කපුරු, සකිසඳ මඬල, රූකඩ රාජ්ජේ’ කියන වේදිකා නාට්‍ය කිහිපයකම රඟපානවා. ඊට අමතරව ස්වර්ණවාහිනියේ විකාශය වන ‘පරෙවි කිරිල්ලී’ ටෙලි නාට්‍යයේ රඟපාන අතරතුරදී සංගීත සංදර්ශනවලටත් සහභාගි වෙනවා. මේ වනවිට මා රඟපෑ ටෙලි නාට්‍ය කිහිපයක්ම ඉදිරියේ දී විකාශය වීමටත් නියමිතයි. අදත් (27 වැනිදා) මම මේ එන්නේ ඊයේ රෑ සංගීත සංදර්ශනයකට නුවර ගිය ගමන්.

ඔය විදියට එක, එක ප්‍රදේශවල සැරිසරන්නේ තනිකඩව ගෙවන ජීවිතය නිදහස් නිසාද?

තනිකඩ ජීවිතයේ අපට කිසිම නිදහසක් නැහැ. අපි තව තවත් වගකීම් හා යුතුකම්වලින් බැඳෙනවා මිසක්. මම ඉන්නේ මහ ගෙදරයි. අක්කත් එහි ජීවත්වන නිසා මගේ ජීවිතය වගකීම් රාශියකින් බැඳිලා. ඈ විතරක්ම නෙවෙයි, පවුලේ ඉන්න අනෙක් සහෝදර සහෝදරියන් පිළිබඳව වුණත් මා සොයා බලනවා. ඔවුන්ගේ කටයුතුවලට උදවු වෙනවා. පවුලක් ඇතුළත ඇතිවන බැඳීමකට විවාහය බලපාන්නේ නැහැ. විවාහ වුණත් නොවුණත් ඒ බැඳීම හදවතේ රැෙඳනවා.

ඒ කියන්නේ ඔබ ඉන්නේ මහ ගෙදර නිසාද මේ වගකීම් රැසක් ඔබේ කරමත පැටවෙන්නේ?

එහෙම නෙවෙයි, මහ ගෙදර මට අක්කා ලියලා දුන්නා. ගෙයක් දොරක් තියෙනවා කියන්නේ බොහොම වාසනාවක් නේ. කොහොම වුණත් සහෝදර බැඳීම, ආදරය ඒ හැමදේටම වඩා බලවත්.

ඔබත් සමඟ තව කවුද ඔය ගෙදර ඉන්නේ?

අක්කා වගේම මගේ අයියාගේ පුතාත් අප සමඟ ඉන්නවා.

සහෝදර, සහෝදරියන් ගේ තියෙන මේ බැඳීම සමහර විට තනිකඩ ඔබගෙන් දේපළ ලබා ගැනීමේ කැමැත්ත නිසා ඇති වූ දෙයක් කියලා යමෙකුට සිතුණොත්, ඔබ මොකද කියන්නේ?

මම හිතන්නේ නැහැ මගේ සහෝදරයෝ කිසිම කෙනෙක් ඒ අදහසින් මට ආදරය කරනවා කියලා. ඔය කියන කාරණය පවුලෙන් පවුලට වෙනස් කියලත් මම කියන්න කැමැතියි.

අක්කා විවාහකද?

අපේ අක්කා පුංචි කාලෙදි ඉඳලම අපි වෙනුවෙන් කැපවුණු කෙනෙක්. ඒ කාලෙ ඇගේ ආදර සම්බන්ධයක් තිබුණා. නමුත් ඒකට ගෙදර අයගෙන් අවසර ලැබුණේ නැහැ. ඊට පස්සේ අක්කට ආව යෝජනාවලට ඈ කිසිම දවසක කැමැති වුණේ නැහැ.

අද වෙනතුරුත් ඔබ විවාහ නොවුණේ ඇයි?

පුංචි කාලෙ ඉඳලම අම්මා වගේ අපේ දුක සැප බැලුවේ අක්කා. අපි සියලු දෙනා ගැනම බැලුව අක්කා විවාහ නොවෙන කොට මට බයක් ඇති වුණා. මොකද අනිත් අය වගේ මමත් විවාහ වුණා නම් අක්කා තනිවේය කියන බිය නිතරම මගේ සිතේ පිළිසිඳුණා. මා විවාහ නොවන්න හේතු වුණේ ඒ කාරණයයි.

ඒ කාලයේ ඔබ කිසිවකුටත් ආදරය කළාද?

අපොයි ඔව්, ඒ කලේ ආදර සම්බන්ධතා කිහිපයක්ම තිබුණා. යෝජනාත් ආවා. ඉන් එක යෝජනාවක් නම් විශේෂයි.

ඔබගේ මතකයේ රැඳුණු ඒ යෝජනාව ගැන යමක් කියමුද?

ඒ කාලෙ මම රැකියාව කළේ බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනයේ. මාත් සමඟ හිටිය මගේ හොඳම යාළුවායි මට මේ යෝජනාව අරගෙන අවේ. කාලයක් අපි ළඟින් ඇසුරු කළ නිසා වෙන්න ඇති ඔහු මට මේ යෝජනාව අරගෙන එන්න ඇත්තේ කියලයි මට හිතෙන්නේ. කොහොම නමුත් ඔහුගේ නංගිවයි මට යෝජනා කළේ. ‘ගාමිණී ඔයාට අපේ ගෙදර අය හැමෝම කැමැතියි. මොකද කියන්නේ’ කියලා ඔහු මගෙන් ඇහුවා. එතකොට මම කිව්වේ අක්කා විවාහ වුණාට පස්සේ මම ඔහුගේ නංගිත් සමඟ විවාහ වෙන්න කැමැතියි කියලයි. ඒ වගේම ඒ කාලෙ මම ජනපි‍්‍රය චරිතයක් නම් නෙවෙයි.

ඉතිං ඒ සම්බන්ධයට මොකද වුණේ?

එක්වරම මම තරුණ සේවා සභාවේ රැකියාවෙන් අයින් වුණා. මෙන්න එතකොට මගේ අර නුවර යාළුවා අපූරු කතාවක් කිව්වා. ‘මචං දැන් උඹට රස්සාවක් ඇත්තෙත් නැහැනේ. ඒනිසා නංගි ගැන මම කළ යෝජනාව හිතින් අයින්කර ගත්තට කමක් නැහැ’ කියලා. ඒ කතාවට මට පුදුමත් හිතුණා. මොකද නංගි ගැන යෝජනාව ගෙනෙන කාලෙ යම් විදියකින් ඒ යෝජනාවට අකැමැති වෙලා මම ඒ ගෙදරට නොපැමිණියොත් කෝච්චියට බෙල්ල තියනවා කියලා මගේ යාළුවා මට කලින් කියලා තිබුණා. ඒ ගැන හිතනකොට ඒ වගේ යාළුවො තවත් මොකටද කියලත් මට සිතුණා. රස්සාවක් තියෙනකොට ඕනෑ වීමත්, රස්සාවක් නැතිකොට එපාවීමත් කියන කාරණාව පිළිබඳ මා සිතා බැලුවා.

එතනින් පස්සේ ඔබගේ යාළුකමත් නැති වුණා?

ඊට පස්සේ මම නුවර ආවට එහේ ගියේ නැහැ. ඉස්සර බොහෝ වෙලාවට එහේ ගිය මගේ ගමන ඒ කතාවෙන් පස්සේ නතර වුණා. මම ජනපි‍්‍රය චරිතයක් වුණාට පස්සේ ඒ යාළුවා නැවත මට කතා කළා. ඒත් මම එහේ ගියේ නැහැ. මොකද එවැනි යාළුවන් මට වුවමනා නැති නිසා.

ඔබගේ හිතේ ඇති වුණ බැඳීම එක්වරම ගිලිහී ගියාම ඔබට යම් දුකක් ඇති වුණේ නැද්ද?

යම් දුකක් හිතේ ඇති වුණත්, පස්සේ යාළුවා ගෙනාව යෝජනාව පිළිබඳ මා සිතුවා. ඔය වගේ අදහස් දරන පවුලකට සම්බන්ධ වෙනවට වඩා හොඳයි නොවී සිටින එක කියලා මට හිතුණා. අඩුම ගණනේ ඇයවත් මේ සම්බන්ධය පිළිබඳ මට යමක් පැවසුවේ නැහැ. එහෙමනම් අයියා කොහොම කිව්වත් ඇයට යමක් කියන්න තිබුණානේ. ඒ කියන්නේ පවුලේ හැමෝගෙම අදහස වෙන්න ඇති අයියා මාර්ගයෙන් කිව්වේ කියලයි අවසානයේ මට හිතුණේ.

මේ හේතුවත් ඔබට විවාහ නොවී සිටීමට බලපෑවද?

ඔව්, මේ උරචක්කරමාලා කරේ එල්ලා ගන්නවට වඩා හොඳයි අක්කවත් බලාගෙන ඉන්නවා කියලා මට හිතුණා.

ඊට පස්සේ ඔබට ලැබුණු ජනපි‍්‍රයත්වයත් සමඟ ඕනෑ තරම් යෝජනා එන්න ඇති නේද?

මගේ හිතවත් අය විවාහ යෝජනා ගොඩක් ගෙනාවත්, විවාහ නොවෙනවා කියන මතයේ සිටි නිසා මම ඒ යෝජනාවලට කැමැති වුණේ නැහැ.

විවාහ වී සිටින අනෙක් අය දෙස බලද්දී ඒ සිතුවිල්ල පිළිබඳ ඔබට යම් පසුතැවීමක් තිබෙනවාද?

මම විවාහ නොවී සිටින්නේ ඒ පිළිබඳ මනා අවබෝධයෙන් සිටින නිසයි. ඒ නිසා එවැනි පසුතැවිල්ලක් ඇතිවෙන්නේ නැහැ. අනිත් කාරණය වෙන්නේ මට දරුවෝ නැති වුණත් මගේ සහෝදරයන්ගේ දරුවෝ ඕනෑතරම් මට ඉන්නවා.