වර්ෂ 2014 ක්වූ ජනවාරි 02 වැනිදා බ්‍රහස්පතින්දා




මට කිසිම සැලසුමක් නැහැ

මට කිසිම සැලසුමක් නැහැ

උපුල් ජයසිංහට ප්‍රශ්න පත්‍රයක්

උපුල් ජයසිංහ අපේ කලා ලෝකයේ හමුවන බහුචරිතධාරියෙක්. ආන්දෝලානාත්මක නිර්මාණ සඳහා තම නිෂ්පාදන වෙහෙස නිරතුරුවම යෙද වුූ උපුල් හරවත් ගුණවත් මෙන්ම වැදගත් දේ අපේ කලා ලොවට දායක කිරීමට උත්සාහ ගත් නිෂ්පාදකවරුන් ගොන්නේ නම සටහන් කරගත් අයෙකි. ගීත පට, ගීත තැටි නිෂ්පාදනය කරමින් ලංකාවේ සංගීත ලොව උඩු යටිකුරු කළ උපුල් දීපශිකා ටෙලි නාට්‍යය නිපදවමින් ටෙලි නාට්‍ය ලොවට පිවිසියේ පෙරළිකාර නිෂ්පාදන ගොන්නක් එක දිගට සිය පි‍්‍රය රසිකයා වෙනුවෙන් පෙළගස්වමිනි. ඉන් අනතුරුව නිලම්බරේ නිපදවමින් චිත්‍රපට කරළියට පා තැබූ හෙතෙම ඉන් අනතුරුව එතුමයි මෙතුමයි නිපදවමින් චිත්‍රපට නිෂ්පාදකවරයකු ලෙසට ද තම නම සනිටුහන් කර ගත්තේ හරි අපූරුවටය.

තමා නිපදවනු ලබන සියලුම නිර්මාණ කුමන හෝ මට්ටමක රසිකයන් අතරේ ජනප්‍රිය කරන්නට සමත් උපුල් කලාවේ සැබෑම පෙරළිකාරයකු යයි කීම අතිශෝක්තියක් නොවේ.

නිල්වලා සමූහ ව්‍යාපාරයේ සභාපති දේශමාන්‍ය ආචාර්ය උපුල් ජයසිංහට අපි යොමු කළ ප්‍රශ්න පොකුරට ඔහු දුන් පිළිතුරු සටහනයි මේ.

ලංකාවේ නිෂ්පාදකවරුන් අතර ඔබ අපරාජිත නිෂ්පාදකවරයෙක් කිව්වොත් නිවැරැදියි?

ඔව්. 2006 වසරේදී දීපශිකා ටෙලි නාට්‍යය නිපදවමින් මා ටෙලි නාට්‍යය ලෝකයට පිවිසියා. ඒ වන විට කැසට් ලෝකයේ මම පෙරළිකාරයෙක්. ඒ ජවයත්, අත්දැකීමත්, අභිමානයත් අරගෙන තමයි මම ටෙලි නාට්‍ය ලෝකයට පිවිසුණේ. එදා ඉඳන් මේ දක්වා කරපු හැම නිර්මාණයක්ම සාර්ථකයි.

මම නිර්මාණ කරන්නේ ජනතාවගේ කැමැත්තට මිසක් ප්‍රබුද්ධ තලයට යන්නට නෙවෙයි. මා නිපද වූ සියළුම නිර්මාණ විවිධ තරාතිරම්වල පිරිස් අතර ආදරයට මෙන්ම ගෞරවයටත් පාත්‍ර වුණා. බොඳ මීදුම් වගේ ලංකාවේ අතිශය පාඨක ආදරයට පත් පොතක් ඇසුරින් මම බොඳ මීදුම් නිපද වූවා. ඉතිං ඊට පස්සේ වගේ ලංකාවම ආදරය කළ චිත්‍ර කතාවෙන් මං අලංකාර ටෙලි නාට්‍යයක් නිෂ්පාදනය කළා.

යෙහෙළි, ගඟ දිගේ වගේ වැඩසටහන් රාජ සභාව, නයිට් ලර්නර්ස් වගේ නාට්‍ය විවිධ ජනසමාජ ඉතාම ආදරයෙන් වැළඳ ගත්තා. උදාහරණයක් විදියට ඡායා, රන්තරු මේ දිනවල අතිශය ජනප්‍රියයි. මේ වගේ නිර්මාණ හරි හැටි තෝරාගෙන බුද්ධියෙන් නිෂ්පාදනය කළ නිසා මං අපරාජිතව වැජඹෙනවා.

බොහෝ දෙනා ඔබට චෝදනා එල්ල කරනවා?

ඔව්. ඵල ඇති රුකට තමයි කොහොමටත් ගල් වදින්නේ. ඒක ඉතිහාසයේ ඉඳන්ම වෙන දෙයක්නේ. කිසිම චෝදනාවකට මං සැලෙන්නේ නැහැ.

ඔබ යම් පදනමක් ඇතුවද නිෂ්පාදන කටයුතුවල යෙදෙන්නේ?

ඔව්. මා විසින් මා දමා ගත් නීති ටිකක් තියෙනවා. මගේ නිර්මාණ සමාජ විරෝධි, සමාජයට අවැඩක් නොවන, කිසිම අයකුගේ මනස දූෂණය නොවන නිර්මාණයක් විය යුතුයි.

මගේ නිර්මාණවල පදනම තමයි ඒ.

කලාත්මක නිර්මාණ ප්‍රබුද්ධ නිර්මාණ කියලා මං වර්ග කරන්නේ නැහැ. නිර්මාණවලින් ප්‍රබුද්ධ වෙන්න හදන බොහෝ දෙනකුගේ ජීවිත නන්නත්තාරයි. ඒ වගේ අයට අධිකරණවල නඩු පිරිලා. නළුවන්ට, නිළියන්ට, කලාකරුවන්ට ගෙවල නැහැ. මම නිර්මාණය වර්ග කරන්නේ නැහැ. ජනතාවගේ කැමැත්ත තමයි මගේත් කැමැත්ත. ඒ නිසා මා කරන නිර්මාණවලින් මගේ ප්‍රතිරූපය හදාගන්න මට උවමනා නැහැ.

හැම චැනල් එකක්ම ඔබ බදු අරගෙන කියලා චෝදනාවක් තියෙනවා?

මං බදු අරගෙන නැහැ. ඒත් චැනල් කැමතියි ජනප්‍රිය නිර්මාණ තමන්ගේ නාලිකාවේ යනවට. ඔය චෝදනාව මං කැසට් කරන කාලෙත් තිබුණා. හැමෝම කිව්ව චැනල් ගහන්නේ නිල්වලා සින්දු විතරයි කියලා. ඒත් ඇත්ත කතාව ඊට වෙනස්. නිල්වලා සින්දු තමයි ඒ දවස්වල ජනප්‍රිය සින්දු. චැනල් ගැහුවේ ජනප්‍රිය සින්දු. දැනුත් තත්ත්වය ඒකයි. අපි කරන නිර්මාණ ඉතාමත් ඉක්මනින් ජනතාව ඇඳ බැඳ තබා ගන්නා වග චැනල්වල පිරිස දන්නවා. ඒ නිසා ඔවුන් තමන්ට නාට්‍යයක් හදල දෙන්න කියලා අපට ආරාධනා කරනවා. අපි ඒ ආරාධනාව පිළිඅරන් නිර්මාණ කරනවා. බලන් ඉන්න බැරි අය චෝදනා කර කර පුපුරද්දී අපි කූල් එකේ අපේ වැඩේ කරනවා.

ගොඩක් නිෂ්පාදකයෝ කියන්නේ චැනල්වලින් ගෙවන ගාන මදි කියලනෙ?

මදි කිය කිය දඟලනවාට වඩා ලැබෙන දෙයින් සන්තෝස වුණු හින්දා තමයි උපුල් ජයසිංහ අද මෙතන ඉන්නේ. මං හම්බ කළ හැම දෙයක්ම ලැබුණේ කලාව නිසා. අසීමිතව මුදල් ලැබෙනවට කවුද අකමැති. ඒත් ඉතිං ලැබෙන දෙයින් සන්තෝසයට පත්වීමට තමන් දැනගත යුතුයි. මට ලැබෙන සුළු මුදල ප්‍රමාණවත්. කාටවත් කණු පොළු නොතියා මං ඒ ලැබෙන දෙයින් වැඩක් කර ගන්නවා.

ඔබට ලැබෙන සම්මාන ගැනත් චෝදනා තිබෙනවා?

එක් කෙනෙකුට සම්මානයක් ලැබෙද්දි තව දාහකට විතර ඒ සම්මානය අහිමි වෙනවා. මේ දාහම එකතු වෙලා හම්බ වුණු මිනිහට කතාවක් හදනවා. වසර ගණනාවක්ම පිට පිට ජනප්‍රියම ටෙලි නාට්‍ය සම්මානය ලැබුණේ මට. මිනිස්සුන්ගෙන් අහල බලන්න. ඇත්තටම ඒ ටෙලි නාට්‍ය ජනප්‍රිය නැද්ද කියලා. මට ලැබෙන්න තියෙන දේ තමයි මේ ලැබෙන්නේ. ඒකට වාසනාවත් බලපානවා.

චිත්‍රපට කලාවෙන් ඔබ ඈත් වුණාද?

නැහැ. නිලම්ඹරේ ඉතාමත් ජනප්‍රිය නිර්මාණයක්. නිලම්ඹරේ පෙන්නුවොත් මිනිස්සු තවම බලනවා. එතුමයි මෙතුමයිත් සාර්ථකයි. ඉදිරියේදී තව චිත්‍රපටයකට සැලසුම අඳිමින් ඉන්නවා. මේ කාලේ මට උරුමය තියෙන්නේ ටෙලි නාට්‍ය කලාව. ඉස්සර මට උරුමය තිබුණේ කැසට් කලාවේ. චිත්‍රපට නිෂ්පාදනයෙන් ඉවත් වෙලා නැහැ. මං කිසිම ක්ෂේ්ත්‍රයකින් ඉවත්වෙන්නේ නැහැ. ඉදිරියේදී වේදිකා නාට්‍යකුත් හදන්න ඉන්නවා. මං තවම කරලා නැත්තේ වේදිකා නාට්‍යයක් විතරයි.

නිෂ්පාදකයකු වීම ගැන තෘප්තිමත්ද?

ඔව්. ඇත්තෙන්ම මං මේ හැම දේම ලැබුණේ නිෂ්පාදකවරයෙක් වීම හරහා.

කොහොමද ඉදිරිය?

මට කිසිම සැලසුමක් නැහැ. ඒ වෙලාවට හිතන දේ ඒ වෙලාවට කරනවා. එච්චරයි.

ඒ කියන්නේ ලාභ ලැබෙනවා නම් ඕන දෙයක්?

නෑ . . . මං කිව්වේ සමාජයට මගේ නිර්මාණවලින් කිසිම අවැඩක් වෙන්න බැහැ. ඒක තමයි තියරිය. ඒ අනුව මං නිර්මාණ කරනවා. ලාභ වගේම පාඩුත් ලැබෙයි.