වර්ෂ 2014 ක්වූ ජනවාරි 02 වැනිදා බ්‍රහස්පතින්දා




ඇහිපිය හෙළන පමාවෙන් මට ගැහුවා

ඇහිපිය හෙළන පමාවෙන් මට ගැහුවා

‘පොල්කටු ආච්චි තට්ටු කරනව වැරැදියි’ ගෙදර සාලෙට එකතු වෙලා අම්මයි තාත්තයි නංගියි මායි පැදුරු පාටි දානකොට තාත්ත එහෙම කියනවා. තාත්තා ඩොල්කිය ගහනවා. අම්මට පත්තෙරුව තියෙනවා. එයාලා ඒව වාදනය කරනවා. මට සංගීත භාණ්ඩයක් නැතුවට මගේ හිතට හරි මදි. ඉතින් මං කුස්සියෙන් පොල්කටු හැඳි දෙකක් ගේනවා. ඒවා තාලෙට එකට එක තට්ටු කරනවා. තාත්තා ජෝතිපාලගේ සින්දු කියනවා. අම්මත් සුජාතා අත්තනායකගේ සින්දු ලස්සනට කියනවා. ඔය අතරට මගේ පොල්කටු හැඳිවල සද්දේ වැරැදි තාලෙට එකතු වුණොත් තමයි තාත්තා මට පොල්කටු ආච්චි වරද්දනවා කියන්නේ.

එහෙම නැතිනම් ගෙදරට මං සුදු දුව. ඉස්කෝලෙට නම් මං නිලුපුලී. මේ නම නිසා පන්තියේ ළමයි මට ඔච්චං කරනවා. ඇයි දන්නවද? අපෙ පන්තියේ හිටිය පිරිමි ළමයකුගේ නම නිලුපුල්. ඉතින් එයාලගේ වැඩේ තැන් තැන්වල අපිි දෙන්නාගේ නම් දෙක ලිය ලියා යන එකයි.

නිලුපුල් + නිලුපුලී

එහෙම ලියලා තියෙනවා ගුරුවරු එහෙමත් දකිනවා. සමහර ගුරුවරුත් හිතුවේ අපි දෙන්න පෙම්වත්තු කියලා. ඒත් ඇත්තටම එහෙම කිසිම දෙයක් නෑ. තිබුණු එකම එක ගැලපීම අපේ නම්වල හුඟක් අකුරුවල තිබිච්ච එක වගේ ගතිය විතරමයි.

මං ඉස්කෝලෙ ගියෙත් මගේ ගමේ කඩවත ඉස්කෝලෙට. එහෙදි මං නිහඬ චරිතයක්. ඒත් ඉස්කෝලෙදිත් ගායන කටයුතුවලට මං ප්‍රසිද්ධයි. හැමදාම පවත්වන උදෑසන රැස්වීම්වලදී කොන්සර්ට්වලදී එහෙම ගායනාවලට මමත් එකතු වෙනවා. ඩාන්සින්වලටත් මං ආසයි. සමහර වෙලාවට ගණන් පීරියඩ් එක කට්කරලා ගිහින් මං ඉන්නෙම ඩාන්සින් රූම් එකේ.

ඉස්කෝලෙ කාලෙදි මමත් යාළුවෝ රත්තරං කියලා හිතපු කෙනෙක්. එයාල ඇවිදින් උදව්වක් ඉල්ලුවාම මං බැහැයි නොකිය කරනවා. ඒත් මං අමාරුවේ වැටුනම කවුරුවත් එන්නේ නෑ. එහෙම පාඩම් ඕනෑ තරම් මං ඉස්කෝලෙන් ඉගෙන ගෙන තියෙනවා. එහෙම අනුන්ට උදව් කරන්න ගිහිං ටීචර්ලාගෙන් ගුටි කෑව මිසෙක මං මගේම වරදකට දඬුවමක් විඳලා නැතිම තරම්.

ඉස්කෝලෙන් පස්සෙදි මගේ හිත දිව්වෙම කලාවට, ගායනයට, නැටුම්වලට. ඊළඟට මොඩ්ලින්වලට මං ආස කළා. එහෙම මාව මුලින්ම මිනිස්සු දැක්කේ වෙළෙඳ දැන්වීම්වලින්.

‘අපි දෙන්න හම්බ වුණෙත් පෝලෝ කන්න ගිහින්’

මට මගෙම ඒ වෙළෙඳ දැන්වීමේ දෙබස තවම හොඳට මතකයි. මගෙ මුල එතැන. දැන්නම් මගේ ඒ මතකෙට වයස අවුරුදු පහළොවකටත් වැඩියි.

මුල් කාලෙදි මං වෙළෙඳ දැන්වීම්වල නිරූපණයට තරමක් කොටු වුණා. ඒත් හොඳ ටෙලි නාට්‍යයකට වෙනස් චරිතයක් මවන්න හිතේ නොතිබුණා නෙවෙයි.

ඇත්තටම මට ඒ කලේදි එහෙම අවස්ථාවක් ලැබුණා. මං ඒ ටෙලි නාට්‍යයේ පිටපත කියෙව්වා. මං අන්ධ කෙල්ලකුගේ ඒ චරිතෙට ආසාවෙන් හිටියා. ඒත් නෑදෑයො එහෙම මං රඟපානවට කැමැත්තක් පෙන්නුවේ නැහැ. අනෙක මට මොබයිල්ෆෝන් එකක්වත් ඒ කාලේ තිබුණේ නෑ. ඉතින් මට ඒ චරිතෙ නොලැබී ගියා. මං ඒ ටෙලියේදී රඟපාන්න හිටියේ සුරාජ් මාපාත් එක්කයි.

ඔය විදියට නොැලැබුණු දෙයකට වුණත් ලොකුª ළතැවීමක් නම් මා ළඟ නෑ. ආධුනිකයෙන් විදියට නොසලකා හැරීම් වුණත් මගේ රංගන ජීවිතේ වගේම ගායන ජීවිතේදීත් එමටයි.ඒත් ඒවට තැවෙනවට වඩා පුංචි කාලේ ඉඳන්ම මං හුරුවෙච්ච විදිය වෙනස්. මට පුරුදුම මගේ වැඩේ නොකෙරුණත් අනුන්ගේ කටයුතුª ඉටු වෙන්න ඉඩ හැරලා පස්සට යන එකයි. එහෙම ගිහින් ගිහින් අන්තිමේදී අනෙක් ඔක්කොම සාර්ථක වෙද්දී මං විතරක් අසාර්ථක වෙච්ච අවස්ථා මට තියෙනවා.

ළඟකදී එහෙම වෙච්ච අවස්ථාවක් මේ. එදා සංගීත ප්‍රසංගයක් තිබුණේ දෙමටගොඩදි. එයාලා මට ආරාධනා කළේ වේලාසනින් එන්න කියලයි. ඉතින් මං ඇහැලියගොඩ ඉඳන් ඇවිදින් කියපු වෙලාවටත් කලින් එතන හිටියා. ඒත් මට දුන්න අවස්ථාවේදී එයාලා වේදිකාවට කැඳෙව්වේ වෙන ගායිකාවක්. එහෙම මගේ තැන මට නැති වුණා. ඒත් මං ටිකක් මඟ බලා හිටියා. අන්තිමේදී ඕනෑ නෑ කියලා මටම හිතිලා මං එන්න ආවා. ප්‍රසංග වේදිකාවලදීම මං බෑන්ඩ් එකක නිත්‍ය ගායිකාවක් විදියටත් සින්දු කියලා තියෙනවා. එතකොට මං හුඟක් කිව්වේ නිරෝෂා විරාජිනීගේ සින්දු.

හුඟක් වෙලාවට හුඟක් දේවල්වලට මං සංවේදී වෙනව වැඩියි කියලත් මට හිතෙනවා. ඒ නිසාමදෝ මං හුඟක් දේවල්වලින් ඔළුව පුරවගන්න බයයි. මං තනියෙන්ම ඉන්න කැමැතිත් ඒ නිසාම වෙන්නැති. ඒත් මං නිතරම හිනාවෙලා ඉන්නවා. මං කවදාවත්ම මගේ හිතේ අනවශ්‍ය බරක් පුරවාගෙන ඉන්නෙත් නෑ.

හරිම සරල විදියට හිතුවත් මගේ හිතත් ගැස්්සිච්ච දවස් හිතේ තියෙනවා. අපි හිටියේ සෙල්ල කතරගම. පීනන්න දන්නැති මට පැවරුණේ වැවට පනින්න. මං කීප වතාවක් අමාරුවෙන් වැවට පැන්නා. ඒ හැම වතාවකදීම හිතට මරණ බය දැනුණා. අන්තිමේදී මං ඒ රූගත කිරීම හොඳට කළා. ඒත් මං වැවට පැන්න විදිය දැකල නම් සමහරු හිනාවෙනවා. පිටරට ඉඳන් පවා මට කතා කරන සමහරු කියනවා මං වැවට පැන්නේ ගෙඹි පැටික්කියක් වගේලු.

ඔය වගේම තවත් දර්ශන තලයකදී මං රඟපෑවේ ජගත් චමිලත් එක්කල. ඒ සීන් එකේ විදියට ජගත් අයියගෙන් ගුටිකාල මං වැටෙනවා. ඒත් ජගත් අයියා මට පාරක් ගහන්න බය වුණා.

මටත් බයක් නොතිබුණාම නෙවෙයි. ඒත් මං ඒ බවක් පෙන්නුවේ නෑ. මං එයාගේ දහිරිය වැඩිවෙන විදියට හිටියා. ඇහිපිය හෙළන පමාවෙන් මට ජගත් අයියා ගහපු පාර වැදුණා. ඒ පාරට මං කැරකිලා ගිහින් වැටුණා. ඒ වැටුණු පාරට මගේ පිට බිම වැදුණු නිසා ටික දවසක් යනතුරු කොන්ද කැක්කුමත් තිබුණා.

මගේම පවුලේ හැමෝමයි හැමදාමත් මට ආදරේ කරන රසික රසිකාවනුයි නිසා හැදාමත් මගේ ජීවිතේ හැඩකාරයි. මට පාර කියන්නෙ මේ දෙගොල්ලොම තමයි. ඒ වගේම මගේ දෑස පෑදූ ගුරුවරු හැමෝමත් මං නිතර සිහි කරනවා. ඒ අතීතය සිහි කරද්දී අමුතුම චමත්කාරයක් මගේ හිතේ මැවෙනවා.

ළඟකදීම පුංචි තිරෙන් වෙනදට වඩා වෙනස් චරිත කීපයකින් මං පෙනේවි. එකකදි මං කටකාර කන්තෝරුකාරියක්. අනෙකදී හමුදා නිලධාරියකුගේ බිරියක්. මට නම් මේ මගේ චරිත දෙකම ලස්සනයි. ඒත් ඒ ලස්සනට පාට දෙන්නේ නම් මගේ ආදර ප්‍රේක්ෂක ඔයාලා. මං ඒවට ප්‍රතිචාර ලැබෙන දවස් එළඹෙන තුරු පෙරමං බලා ඉන්නවා’.

මං

මුතු තරංගා