වර්ෂ 2014 ක්වූ ජනවාරි 02 වැනිදා බ්‍රහස්පතින්දා




උපන් ගෙයි වෛරයෙන් මිය ගිය හොලිවුඩ් සොයුරිය

උපන් ගෙයි වෛරයෙන් මිය ගිය හොලිවුඩ් සොයුරිය

අක්කා නගෝ ගැටුම් ළමා වියෙන් අවසන් නොවෙයි. සිනමාව යුද බිමක් කරන්නට ද සොහොයුරියන් දෙදෙනකුට පුළුවන. ඔලීවියා ඩි හැවිලන්ඩ් සහ ජොඈන් ෆොන්ටේන් හොලිවුඩය යුද බිමක් කළ දෙසොහොයුරියන්ය.

ඔලීවියා ඩි හැවිලන්ඩ් කලක් හොලිවුඩයේ රජ කළ තාරකාවකි. ඒ වාගේම ඔස්කාර් සම්මාන දෙකකටම හිමිකම් කී දක්ෂ රංගන ශිල්පිනියකි. සුප්‍රසිද්ධ ‘ගෝන් විත් ද වින්ඩ්’ සිනමාපටයේ රඟපෑ තරු අතරින් ජීවත්ව සිටින එකම නිළිය ද අනූ හත් හැවිරිදි ඇයයි. ඇයට සිටි එකම සොයුරිය රංගන ශිල්පිනී ජොඈන් ෆොන්ටේන් වසර අනූ හයක් ආයු වළඳා ජීවිතයෙන් නික්ම ගියේ පසුගිය දෙසැම්බර් පහළොස් වැනිදාය. මේ දෙදෙනාගේ නොමනාපය ද වසර අනුූ ගණනක්ම පැරැණිය.

ඔලීවියාට ප්‍රංශ ජනපති අතින් ඉහළම සම්මානයක් 2010 දී පිරිනැමුණු විට ජොඈන් ෆෝන්ටේන් සිටියේ සැතපුම් හයදාහක් එපිටින් පිහිටි කැලිෆෝනියා නිවෙසේය. ඇය ඔලීවියාගේ සම්මාන ප්‍රදානයට සහභාගි නොවූවාය. ‘සොහොයුරියන්ගේ වෛරය’ ඒ සම්මාන උළෙලට පමණක් නොව සෑම සම්මාන උළෙලකදීම ප්‍රදර්ශනය කෙරුණකි.

ඔලීවියා ඩි හැවිලන්ඩ් සහ ජොඈන් ෆොන්ටේන් යනු ඔස්කාර් සම්මාන ඉතිහාසයේ අමරණීය සොයුරියන්ය. 1941 වසරේ රංගනයන්ට දෙදෙනාම 1942 දී හොඳම නිළියන් ලෙස නිර්දේශ වූහ. ඔස්කාර් සම්මාන උළෙලකට එසේ එකම විට නිර්දේශ වී ඇති එකම අක්කා, නගෝ වන්නේ ද ඔවුන්මය. සම්මානයට පාත්‍ර වූ අක්කා, නගෝ වන්නේ ද ඔවුන්මය.

ඔවුන්ගේ යුද්ධය ඇරැඹුණේ උපන් දා සිටය. ඔලීවියා ඉපදී අවුුරුද්දක් සහ මාස තුනක් ගත වූ පසු ජොඈන් ඉපදුණාය. ජොඈන්ගේ පැමිණීම පිළිගැනීට තරම් ඔලීවියා කුඩා වැඩි වීම යුද්ධයට මූල බීජය විය. ඇයගේ කේන්දරයේ තිබුණේත් තනි ළමයකු සේ හැදෙන්නට දීම වඩාත් සුදුසු බවයි.

කුඩා වියේදී මවගේ ආදරය බෙදා ගැනීමට දබර වූ සොයුරියන් රංගනයට එක් වූ පසු තාරකා යුද්ධයක් ඇරැඹූහ.

ඔලීවියා හොලිවුඩ් රංගනයට පිවිසි පසු ජොඈන් ද ඒ මඟම තෝරා ගත්තාය. ඔලීවියා, ජොඈන් වෝනර් බ්‍රදර්ස් සමාගමට සම්බන්ධ වෙනවාට තදින්ම එරෙහි වූවාය. ඇය සිතා සිිටියේ වෝනර් බ්‍රදර්ස් ඇයට පමණක් හිමියි කියායි. නළුවන් බෙදා ගැනීමේ තරගයක් ද දෙදෙනා අතර පැවතී තිබේ.

මුලින්ම විවාහ වී ඇත්තේ නැගණිය ජොඈන්ය. කඩවසම් බ්‍රිතාන්‍ය නළු බ්‍රයන් අහර්න් ඇයගේ සැමියා විය. විවාහයට පෙර රාත්‍රියේදී ඔලීවියාගේ පෙම්වතා බිලියනපතියකු මෙන්ම චිත්‍රපට නිෂ්පාදකයකු වූ හෝර්වඩ් හියුස්, ජොඈන් සමඟ නර්තනයක යෙදී තිිබේ. එහිදී ඔහු පවසා ඇත්තේ ජොඈන් සමඟ විවාහ වීමට තමන් මනාපයෙන් සිටි බවයි. ඔහුගේ දෙබිඩි පිළිවෙත ගැන කලකිරුණු ජොඈන්, ඔලීවියාට මේ ගැන පවසා ඇත්තේ හොඳ හිත නිසාමයි. එහෙත් සිදු වී තිබෙන්නේ දබරය තවත් දුර දිග යාමය.

’සස්පිෂන්’ ((1941) රංගනයට හොඳම නිළිය ලෙස ඔස්කාර් සම්මානයට පාත්‍ර වූ විට ජොඈන් ගල් ගැසී වට පිට බැලුවේ ඔලීවියා කොතැනදැයි දැකීමටයි. ‘ඇය පැමිණ මගේ කොණ්ඩයෙන් අදීවියි සිතුවා.’ ජොඈන් පසුව හිතවතුන්ට පවසා තිබේ.

1946 දී හොඳම නිළිය ලෙස ඔස්කාර් සම්මානයට පාත්‍ර වූයේ ‘ටු ඊච් හිස් ඔව්න්’ රංගනයට ඔලීවියාය. ඕනෑම සම්මානලාභියකුට සුබ පැතීම ජොඈන්ගේ සිරිතකි. ඇය ඔලීවියාට ද සුබ පැතූ විට ඇය එය ගණනකට නොගෙන අත ගස්සා ගෙන ගොස් තිබේ. ඔලීවියා 1949 දීත් හොඳම නිළිය වූවාය. ඒ ‘ද හෙයාරස්’ රංගනයටයි. එවිට ද ලැබී ඇත්තේ එදා ප්‍රතිචාරමය.

පුදුමයකට 1961 වසරේදී ජොඈන්ගේ නිව්යෝක් නිිවෙසේදී දෙදෙනාම නත්තල එක්ව සමරා ඇත. එහෙත් එය නැවත එක්වීමක් වූයේ නැත.

1969 දී ජොඈන්ට, ඔලීවියාගෙන් උදව් ඉල්ලා ඇමතුමක් ලැබිණි. ඇය ඒ වන විට පැරිස් මැච් කර්තෘ පියරේ ගැලැන්ටේ සමඟ විවාහ වී සිටියාය. විවාහ ජීවිතයේ ගැටලු නිසා සහ බිල් ගෙවීමට මුදල් නොමැතිවීමෙන් ඇය විශාල දුෂ්කරතාවකට මුහුණ පා සිටියාය. ඒ සියලු බිල් ගෙවීමට ධනවත් ජොඈන් වහාම පියවර ගත්තාය. ඔලීවියා ඒ මුදල ඉක්මනින්ම ගෙවීමට පොරොන්දු වූවාය. සොයුරියන්ගේ අරගලය දරුණු වූයේ මව පිළිකා රෝගයෙන් මිය යාමෙන් පසුවයි. මවගේ අනුස්මරණ මෙහෙයට ඔලීවියා, ජොඈන්ට ආරාධනා කළේ නැත. මේ බව මාධ්‍යයට පවසා ජොඈන් විශාල පෙරළියක් කළ පසු අනුස්මරණ මෙහෙයට සහභාගිවීමට ජොඈන්ට සහ දියණියට අවසර ලැබිණි. එහිදී ඔවුන් දෙදෙනා එකිනෙකා සමඟ වචනයක්වත් කතා කර නැත.

ජොඈන් ලියූ ජීවිත කතාව ‘නෝ බෙඩ් ඔෆ් රෝසස්’ ඔලීවියා හලාහල විසක් ලෙස දුටුවාය. 1979 පැවැති පනස් වැනි ඔස්කාර් සංවත්සර උත්සවයේදී සොයුරියෝ එකිනෙකා දෙස ඇස් කොනකින්වත් නොබැලීමට වග බලා ගත්හ.

ඊට දස වසරකට පසු සැමරුණු 60 වැනි ඔස්කාර් සංවත්සරයේදී සොයුරියන්ට එකම හෝටල් කාමරයක් වෙන් කර ඇති බව දැනගත් ජොඈන් වහාම කාමර වෙනස් කළාය.

ජොඈන් සිවුවරක් විවාහ වී දික්කසාද වූවාය. අවසාන කාලයේදී ඇය ජීවත් වී ඇත්තේ සුනඛයන් පස් දෙනකුª සමඟයි. ඔලීවියා දෙවරක් දික්කසාද වී තිබේ. ජොඈන් මිය යාමට පෙර මාධ්‍යකරුවන් ඔලීවියාගෙන් සමඟිවීමට අදහසක් නැද්දැයි විමසූ විට ඇය පවසා ඇත්තේ වෙන් වී සිටීම වඩාත් සුදුසු බවයි.

‘මං පළමුව විවාහ වුණා. ඔලීවියාට පෙර ඔස්කාර් සම්මානය දිනා ගත්තා. කලින් මැරුණොත් එයත් ඇයට පෙර ලබා ගත් වාර්තාවක්.’ ජොඈන් එසේ පැවසුවේ 1978 වසරේදීය. එය සැබෑවක් විය. 2013 දෙසැම්බර් 15 වැනි දින ජොඈන් ස්වාභාවික හේතු මත නින්දේදීම මිය ගියාය. ඇයගේ මරණයට පසු ඔලීවියා නිකුත් කළ ප්‍රකාශයේ මෙසේ සඳහන් කර තිබිණි.

‘එය අසා මම කම්පනයටත් කනගාටුවටත් පත් වූවා.’

ජොඈන් මිය යන විට දියණිය සමඟ ද උරන වී සිටියාය. ඒ ඇය ඔලීවියා සමඟ රහස් මිත්‍රත්වයක් පවත්වාගෙන යන බවට ආරංචියක් ලැබුණු නිසයි.