වර්ෂ 2014 ක්වූ ජනවාරි 02 වැනිදා බ්‍රහස්පතින්දා




මේ දවස්වල අපි

 

මට පනහයි

රත්නා ලාලනී ජයකොඩි

මේ සතිය මට වඩාත් වැදගත් වන්නේ මගේ උපන් දිනය යෙදෙන නිසයි. මේ මගේ පනස්වැනි උපන් දිනය දා විශේෂ වූ වැඩසටහනක් යෙදිලා නැති වුණත් සුපුරුදු ලෙසම අපේ ගෙදර කිරිබතක් නම් පිසින්නට මා අමතක කරන්නේ නැහැ. කිසිසේත්ම උපන් දිනයට උත්සව ගැනීමක් නම් සිදුවන්නේ නැහැ. පවුලේ සියලු දෙනාම එකතු වී සතුටින් කතාබහ කරමින් සවසට පන්සලට යෑම අපි සෑම උපන් දින දවසකම කරන අනිවාර්ය කාර්යයක්. ඒ අතරදි සම්පත්ගෙන් ලැබෙන තෑග්ගත් මට බොහොම වටිනවා.

අලුත් කටයුත්තක

සුරාජ් මාපා

ජනවාරි මුල් සතියේ නම් විශේෂ වැඩකටයුතු මොකුත් යොදා ගෙන නැහැ. අද දවස නම් සතුටු දායක විදියට ගත කරන්න තමයි මගේ සූදානම. හෙට ඉඳලා ආයෙමත් සුපුරුදු පරිදි ෂූටිං පටන් ගන්නවා. මේ දවස්වල ‘තරුමලී’ සහ ‘සිහින සින්ඩරෙල්ලා’ ටෙලි නිර්මාණ දෙකේ රූගත කිරීම්වලට දායක වෙනවා. ජනවාරි මාසය අවසානයේ දී නම් තවත් සුවිශේෂ කටයුත්තක් සිදු කරන්නත් නියමිතයි. ඒ ගැන ළඟදීම සරසවිය පාඨක ඔබට කියන්නම්.

බෙල්ලන්විල යනවා

සමන්ත පෙරේරා

නව වසරක් ආරම්භයේ කලා කටයුතුත් සමඟ අවිවේකීව ගත කරන මම බෙල්ලන්විල පන්සලට යන්න සූදානමක් තියෙනවා. ඒ මගේ බිරින්දෑ සමඟයි. ඒ සඳහා මා යොදා ගන්නේ මේ මාසයේ 08 වැනිදායි. එදිනට දානමය කටයුත්තක නියැළෙන්නටත් පුංචි අදහසක් තියෙනවා. එදිනම මගේ උපන් දිනය යෙදීමත් සුවිශේෂයි.

ගෙදර අය එක්ක දුර පළාතක

ඕෂධී හේවාමද්දුම

පසුගිය දිනවල තිබුණු කාර්යබහුලත්වය සමඟ නව වසර උදාවත්ම දින කිහිපයක් විවේකීව සිටීමටයි මා අදහස් කරගෙන සිටින්නේ. ඒ මගේ පුතා හා සැමියා සමඟයි. ඒ විවේකය ගත කරන්නට අපි තුන්දෙනා වගේම අම්මාත්, තාත්තාත් සමඟ දුර පළාතකට යන්නට පුංචි සැලසුමක් මේ වෙනකොට සකස් කරමින් තමයි මම මේ ඉන්නේ.

ජයනි නැන්දා එක්ක මියුසික් වීඩියෝ එකක

දසුන් මධුසංඛ

මේ අවුරුද්ද මම ගොඩක්ම අධ්‍යාපනික කටයුවලට තමයි වෙන් කරලා තියෙන්නේ. ඉතිං ඒ නිසා මේ සතිය ආරම්භය සමඟින් මම ඇක්වයිනාස් යුනිවසිටි හි මගේ ඉදිරි අධ්‍යාපනික කටයුතු ආරම්භ කරනවා. ඒ වගේම මේ දවස්වල මම මියුසික් වීඩියෝ එකකුත් කළා. අම්මා ගැන කියැවෙන ඒ ගීතයේ ජයනි සේනානායක නැන්දා තමයි ඉන්නේ. ඊට අමතරව මේ සතියේ මගේ උපන් දිනයත් යෙදිලා තියෙනවා නේ. ඒ වෙනුවෙන් අපේ පවුලේ සාමාජිකයන් වගේම මගේ යහළුවනුත් සමඟ පන්සල් යන්නත් බලාපොරොත්තු වෙනවා.

ජොබ් එකට නුවරඑළියෙන්

කීර්ති රංජිත් පීරිස්

නව වසර ආරම්භයේ මුල් සතිය මට ගොඩක් විශේෂයි. මගේ උපන් දිනය යෙදිලා තියෙන්නෙත් ජනවාරි 08 වැනි දා ට. දැනට නුවරඑළියේ රාජකාරි කටයුතුවල නිරත වෙලා හිටියත් මෙවර උපන් දිනය නම් පවුලේ සාමාජිකයන් එක්ක සමරන්න තමයි මගේ බලාපොරොත්තුව. ඊට අමතරව සංජය ගුණවර්ධනගේ ‘සැලමුතු වෙරළ’ ටෙලි නාට්‍යයේත්, සිරීගේ ඉරණම’ ටෙලි නාට්‍යයේත් රූගත කිරීම්වලට දායක වෙනවා.

අලුත් ගීත පටිගත කරනවා

උපාලි කන්නන්ගර

වසර ආරම්භයේ මුල් සතියේ සිටම මම නම් සුපුරුදු පරිදි සංගීත කටයුවල නිරතවෙලා තමයි සිටින්නේ. මම මීට අවුරුදු 16 කට පෙර එළිදැක්වූ ‘පාරට කිට්ටුව’ කැසට් පටයේ ජනපි‍්‍රය ගීත සහ අලුත්ම ගීත ඇතුළත් තැටියක් එළිදක්වන්න සූදානම් වෙනවා. ‘දුම්බර මිටියාවත පැත්තේ, පාරට කිට්ටුව’ වැනි ගීත රීමික්ස් කරන ලෙස බොහෝ ඉල්ලීම් ලැබුණත් එයට මම කැමැති නැහැ. ඒ නිසා ඒ ජනපි‍්‍රය ගීත සහ තවත් මගේ අලුත්ම ගීත රැගත් තැටියක් ලබන මාර්තු මාසයේදී එළි දක්වන්න බලාපොරොත්තු වෙනවා. එහි වැඩකටයුතු මම මේ සතියේ දී ආරම්භ කරනවා. ඇත්තටම ලාභයක් බලාගෙන නම් නෙවෙයි. ආදරණීය රසික ඉල්ලීම අනුව තමයි මම මේ දේ සිදු කරන්නේ.

ගෙදර අය එක්ක

සඳමාලි හේවානායක

වසරක අවසානය වගේම වසරක ආරම්භය ඕනෑම කෙනෙකුට ඉතාම වැදගත් කාලයක් කියලා මම හිතනවා. හැම වසරකම අවසානයේ දවස් මම පවුලේ අය සමඟ විවේකයෙන් ගත කරන්න තමයි යොදා ගන්නේ. වසර ආරම්භය සුපුරුදු පරිදි බැංකුවේ රාජකාරි කටයුතු වගේම ජාතික රූපවාහිනියේ නිවේදන කටයුතු කරගෙන යනවා. මේ සතිය කියලා නම් ලොකු විශේෂත්වයක් නැහැ. සාමාන්‍ය විදියට රාජකාරි කටයුතු වගේම නිවසේ කටයුතුත් කරගෙන යනවා.

ඇහැළේපොල කුමාරිහාමිට දායක වෙනවා

මොන්ටේගු සරච්චන්ද්‍ර

නව වසර උදාවන්නේ අප මෙතෙක් ලැබූ අත්දැකීම් රාශියකට තවත් අත්දැකීම් රාශියක් එකතු කරමින්. මේ උදා වූ නව වසරේ අපූරු කටයුත්තකට මුල පුරන්නට මට ආරාධනා ලැබුණා. ඒ සුගත් සමරකෝන් ගේ ‘ඇහැළේපොල කුමාරිහාමි’ චිත්‍රපටයේ චරිතයක් රඟපාන්නටයි. එහි මුහුරත් උළෙල පැවැත්වෙන්නේ 03 වැනි දායි. මේ සිදුවීමට මගේ ජීවිතයේ සුවිශේෂත්වයක් හිමිවන්නේ මගේ උපන් දිනය යෙදිලා තිබෙන 04 වැනි දාට පෙර දිනයෙහි මේ සුබ කටයුත්තට ආරාධනා ලැබීමයි.

ජෙට් එකකින් ගමනක්

රවීන්ද්‍ර මාපිටිගම

මම රැකියාව කරන ඉන්ෂුවරන්ස් ආයතනයේ ප්‍රධානියා ලංකාවට පැමිණෙන මේ වසරේ ඔහුගේ පෞද්ගලික ජෙට් යානයේ රවුමක් යෑමට මා තෝරාගෙන තිබෙනවා. ඒ කොළඹ සිට මත්තලට යි. 04 වැනි දා යන මේ ගමන මගේ ජීවිතයට බොහෝ සුවිශේෂයි. එහෙත් මා සිතාගෙන සිටියේ මේ ගමන 07 වැනි දා යෙදෙන මගේ උපන් දිනය දා ලැබුණේ නම් කොතරම් සුවිශේෂ ද යන්නයි. ජෙට් යානයේ ගමනෙන් පසුව පන්සල හා පල්ලියට ගොස් දුප්පතුන්ට බත් පැකට් බෙදා දීමක් කිරීමට ද නව වසරෙහි මා අධිෂ්ඨාන කරගෙන සිටිනවා.