වර්ෂ 2014 ක්වූ ජනවාරි 02 වැනිදා බ්‍රහස්පතින්දා




රඟපාන්නත් ලැජ්ජයි අතින් අල්ලන්නත් ලැජ්ජයි

රඟපාන්නත් ලැජ්ජයි අතින් අල්ලන්නත් ලැජ්ජයි

සම්මානනීය කලා අධ්‍යක්ෂ

සුනෙත් නන්දලාල්

වේදිකාව, ටෙලි නාට්‍ය, චිත්‍රපට ක්ෂේත්‍ර තුනම ඔහුට හුරුය, හුරුපුරුදුය. හෙතෙම දක්ෂයෙකි. ඒ නිසාම ඔහු මෙම ක්ෂේත්‍ර ත්‍රිත්වයෙන්ම සම්මානයට පාත්‍ර වී තිබේ.

සුනෙත් නන්දලාල්. අපි කතා කරමු ඔහු පිළිබඳව.

මෑතකදී සුමති සම්මානයෙන්ද පිදුම් ලැබූ සුනෙත්ගේ අතීතාවර්ජනයෙන්ම කතාව අරඹමු.

ලුම්බිණි විද්‍යාලයේදී මගේ පංතිභාර ගුරුතුමිය වුණේ ජයලත් මනෝරත්නයන්ගේ බිරිය ජයන්ති මනෝරත්නයි. ඇය මට ජයලත් මනෝරත්නයන්ව හඳුන්වා දුන්නා. 1985දී ඔහුගේ ‘පුත්‍ර සමාගම’, ‘තලමල පිපිලා’, ‘අන්දරේලා’, ‘ගුරුතරුව’ වැනි වේදිකා නාට්‍යවල වේදිකා පරිපාලක වශයෙන් කටයුතු කරන්න අවස්ථාව උදාවුණා. මීට අමතරව ඇඳුම් නිර්මාණයටද දායක වෙන්න අවස්ථාව ලැබුණා.

1977දී රාජ්‍ය නාට්‍ය උළෙලේදී ‘ගුරුතරුව’ වේදිකා නාට්‍යයේ හොඳම වේදිකා පරිපාලක ලෙස සම්මානයෙන් පිදුම් ලබන්නට මට හැකි වුණා. අද වෙනකොට ඇඳුම් නිර්මාණයෙන් හා පසුතල නිර්මාණයෙන් වේදිකා නාට්‍යය 20කට පමණ දායක වී තිබෙනවා.

* වේදිකාවෙන් සම්මානනීය වූ ඔබ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට පිවිසෙන්නේ ?

දයාරත්න රටගෙදර අධ්‍යක්ෂණය කළ උතුරු සුළඟ ටෙලියේ ‘ටී බෝයි’ ලෙස වැඩ කරන්න අවස්ථාවක් ලැබුණා. මෙහි කලා අධ්‍යක්ෂණය කළේ හීනටිගල ප්‍රේමදාස මහත්තයා. මෙතුමාගේ උදව් නිසා මෙම ටෙලි නාට්‍යය අවසන් වනවිට ඔහුගේ සහායක ලෙස වැඩ කරන්න පුරුදු පුහුණු වුණා. එයින් ඇරඔූ ටෙලි නාට්‍ය කලා සහාය අධ්‍යක්ෂණය, කලා අධ්‍යක්ෂ ලෙස ටෙලි නාට්‍ය 75ට පමණ දැනට දායකවන්නට ලැබුණා. සුමති සම්මාන උළෙලේදී විමලරත්න අධිකාරි අධ්‍යක්ෂණය කළ ‘ඉසිවර රණකෙළි’ ටෙලි නාට්‍යයේ කලා අධ්‍යක්ෂණය සඳහා හොඳම කලා අධ්‍යක්ෂ සම්මානය ලැබුණා.

* වේදිකාවෙන්, ටෙලියෙන් සම්මාන ලැබූ ඔබ චිත්‍රපට ක්ෂේත්‍රයෙනුත් සම්මානයෙන් පිදුම් ලැබුවා නේද ?

කලා අධ්‍යක්ෂණයෙන් දැනට චිත්‍රපට 25කට පමණ දායක වී තිබෙනවා. උදයකාන්ත වර්ණසූරියගේ ‘හිරිපොද වැස්ස’ චිත්‍රපටයට 2006දී සරසවිය සම්මාන උළෙලේදී හොඳම කලා අධ්‍යක්ෂණයට හිමි සම්මානයත්, ජනාධිපති සම්මාන උළෙලේදී ජුරියේ විශේෂ සම්මානයත් මට හිමි වුණා.

* ළඟදී තිරගතවීමට නියමිත ඔබ දායක වූ චිත්‍රපට මොනවාද ?

‘සිරි දළදා ගමනය’, ‘අනගාරික ධර්මපාල’, ‘බොරදිය පොකුණ’, ‘සන්ජානා’, ‘හීරෝ නීරෝ’ චිත්‍රපට පහේම කලා අධ්‍යක්ෂණයෙන් මා දායක වුණා. මේ චිත්‍රපට තව නොබෝ දිනකින් ප්‍රේක්ෂක ඔබට නැරඹිය හැකි වෙයි.

* රංගනයට කෙළින්ම පිවිසෙන්න බැරි අය කලා අධ්‍යක්ෂණයෙන්, වේශ නිරූපණ ශිල්පියෙකු ලෙස හෝ ක්ෂේත්‍රයට පිවිස ටික කාලයකින් රංගනයට පිවිසෙනවා. එනමුත් ඔබ ඇයි රංගනයට එන්නට මෙතරම් ප්‍රමාද ?

අප්පෝ... මට නම් රඟපාන්න හරි ලැජ්ජයි. ඒ නිසා මම දන්න මේ කටයුත්ත ඉදිරියට කරගෙන යනවා විනා නොදන්න රඟපෑමට නම් යන්නේ නැහැ.

මට චිත්‍රපට කිහිපයකම වේශ නිරූපණය කරන්න අවස්ථාව ලැබුණා. නමුත් මට නළු නිළියන්ගේ මූණු අතපය අල්ලන්න තියෙන ලැජ්ජාව නිසා ඒ ක්ෂේත්‍රයත් අත්හැරිය. අන්තිමට මම තෝරා ගත්තේ කලා අධ්‍යක්ෂණය යි.

* තිරය පිටුපස සිට ඔබ වැන්නන් කරන කාර්ය අතිමහත්. නමුත් මෙවැන්නන් පිළිබඳ සමාජයේ කතා බහට ලක්වන්නේ අඩුවෙන්. ඔබ නියැළී සිටින මේ ක්ෂේත්‍රය පිළිබඳ නැවත හැරී බැලුවොත් අද ඉන්න තත්ත්වය පිළිබඳව තෘප්තිමත් ද ?

ඇත්තටම ඔව්. මම වැඩ කළ ක්ෂේත්‍ර තුනෙන්ම මාව ඇගැයීමට ලක් වුණේ මේ ක්ෂේත්‍ර තුනටම මම දෙයක් කරපු නිසයි. මම කොහොමත් මුදල් පසුපස යන්නෙක් නොවෙයි. මට ඕනේ හොඳ නිර්මාණ සඳහා දායක වී එයට සරිලන සාධාරණ මුදලක් ඉපැයීමටයි. එහෙම නැතිව නිර්මාණයක් කරන්න නැති තැනක කොච්චර මුදල් ගෙවනවා කිව්වත් වැඩක් භාර ගන්නේ නැහැ. මුදල් පසුපස යනවා නම් මට කොටස් 500ක මෙගා ටෙලි නාට්‍යයක් ලැබුණා. මම මුහුරත් උළෙලටත් සහභාගි වුණා. එතැනදි තමයි දැනගන්න ලැබුණේ මට කරන්න තියෙන කාර්යය. එක දිනකට කොටස් 45කට පමණ සුදානම් විය යුතුයි. නමුත් මෙවැනි දේකදි මුදල් කොතරම් ලැබුණත් නිර්මාණයක් කරන්න තියෙන ඉඩකඩ අඩුයි. හරියට මෙවැනි නාට්‍ය පැෂන් ෂෝ එකක් වගෙයි. ඒ නිසා මම මේ මෙගා ටෙලියේ වැඩ භාර ගත්තේ නැහැ.

* වේදිකා පසුතල නිර්මාණය, නැතිනම් චිත්‍රපට පසුබිම් නිර්මාණය වැනි දේ පංති තියලා උගන්වන්න පුළුවන්ද ?

ඇත්තටම මේ ක්ෂේත්‍රයට පිවිසිය යුත්තේ සහජයෙන් තමන්ට නිර්මාණ ශක්තිය තිබෙන අය පමණයි. මෙය කෙනෙකුට කියා දෙන්න පුළුවන් ක්ෂේත්‍රයක් නොවෙයි. හරි එහෙම ඉගෙන ගත්ත තැනකින් මේ ක්ෂේත්‍රයේ ඉදිරියෙන් ඉන්න අයෙක් දන්නවා නම් කියන්නකෝ ? රැවටෙන්න එපා. එහෙම මේ ක්ෂේත්‍රයේ පැවැත්මක් නැහැ. අද මේ හැම ක්ෂේත්‍රයක්ම කඩා වැටිල තිබෙන්නේ මේ බොරු කළුකඩකාරයන් නිසා කියලයි මගේ මතය වෙන්නේ. ඒ නිසා මේ ක්ෂේත්‍රයට එන්න ඔබ කැමැති නම් අපිත් එක්ක එකට වැඩ කරලා ගන්න අත්දැකීමෙන් ඔබට නිර්මාණ ශක්තිය වැඩිකර ගෙන මේ ක්ෂේත්‍රයේ නියැළෙන්න මට ඔබ සැමට උදව් කළ හැකියි. ඔබ කැමැති නම් මේ නිර්මාණයන්ට දායක වෙන්න මගේ දුරකථන අංක 0770805254 අමතන්න. මට හැකි පරිදි උදව් කරන්නම්.