වර්ෂ 2014 ක්වූ ජනවාරි 02 වැනිදා බ්‍රහස්පතින්දා




අනෝමා Market වෙනවා ද ? යනවා ද ?

අනෝමා Market වෙනවා ද ? යනවා ද ?

අනෝමා ජනාදරීගෙන්ම අසමු

අනෝමා ජනාදරී යනු ආන්දෝලනාත්මක චරිතයක් යන වග අමුතුවෙන් කිවයුතු වන්නේ නැත. සිය ගැහැනුකම අමතක කොට එඩිතර සිත කැමරාව ඉදිරියට ගෙනවිත් රංගනයේ යෙදුණ ඇය වර්තමානයවන විට ලේඛිකාවක වශයෙන් ඉදිරියට එමින් සිටියි.

පුනරුක්ති නම් වූ ඇයගේ, කුළුඳුල් නවකතාව අනෝමාගේ රංගනයට දෙවැනි වූයේ නැත. එය කුනුහරුප පොතක් යැයි ඇතැම්හු ඇයව පට්ටා ගැසූහ. කෙසේ නමුත් මේ සියලු බාධාක මැද ඇය තම මීළඟ ග්‍රන්ථ ද්විත්වය එළිදක්වා ඇත. ඒවා අනෝමා ඇගේ ජීවිත කතාව පදනම් කරගෙන ලියූ පුනරුක්තී හි ඇත්තේ දෙවැනි සහ තෙවැනි කොටස්වේ.

* පළමුව කතා කරමු ඔබේ නවතම ග්‍රන්ථ ද්විත්වය පිළිබඳව?

ඒවා නම් පුනරෝපකථන සහ පුනරාගමන. ඔබ හඳුන්වා දුන්නු පරිදි මීට කලකට ඉහතදී මවිසින් ලියූ පුනරුක්ති නවකතාවේ දෙවැනි සහ තෙවැනි කොටස් වශයෙන් ඒවා එළි දකින්නේ.

පුනරුක්ති 2011 වසරේ වැඩියෙන්ම අලෙවි වූ නවකතාව වුණා. ඒ වගේම එය ඉතාමත් ආන්දෝළනාත්මක කෘතියක් වුණා. ප්‍රවීණ විචාර සුජීව තත්සර මගේ ජීවිත කතාව හැඳින්වූයේ ආත්ම භාෂණයක් ලෙසින්.

* ඇයි මෑත කාලීනව වැඩිපුරම ලේඛනයට යොමුවුණේ?

ලේඛනය මගෙ විෂය නොවෙයි. කාන්තාවක් විදිහට, පාසල් සිසුවියක් විදිහට, විශ්වවිද්‍යාලීය සිසුවියක් විදිහට ස්වාධීන ශිෂ්‍ය සංගමයක ප්‍රබල ක්‍රියාකාරි සාමාජිකාවක විදිහට, ජවිපෙ කේඩාරිවරියක විදිහට සමාජවාදී කලාව වෙනුවෙන් ගොඩ නැඟුණ නිළියක විදිහට ගලා ආ ජීවිතය දැවැන්ත පිපිරීමකට ලක්වුණා මීට අවුරුදු 10 කට කලින් ඒ ගැන මුළු රටම දන්නවා. ඒ ගැන හඬනඟලා කෑ ගහලා පුරුෂ මූලික සමාජය ඉදිරියේ මගේ කතාව මගේ ආත්ම භාෂණය ලෙසින් පිටවුණේ ලේඛනයෙන්. කලා කෘතියකින් මිනිස්සුනට පෙන්වන්නේ බොරු. නමුත් ඒවා ඇත්ත කියලා ඇතැමුන් හිතනවා. මගෙ ලේඛනය කොතරම් යථාර්ථවාදී ද කියලා කාන්තාව දන්නවා.

* නමුත් ඔබේ ග්‍රන්ථයන්හි අන්තර්ගතය සමාජයට එතරම් ගෝචර නැහැනේද?

මේක අහන්නකෝ. පුනරුක්ති පොතේ තියන මම බාප්පාගෙන් විඳි අතවරයන් ගැන ලියද්දි මම හිතුවේ මං විතරයි එහෙම කරදරයන්ට පත්වූ එකම ගැහැනු ළමයා කියලා. නමුත් පොත පිටවුණායින් පසුව ආපු දුරකතන ගංගාව නිමක් නැහැ. විවිධ මට්ටමේ ඒවන් විපත්වලට ලක්වූ අය මං ඉදිරියේ සංවේදී වුණා. අනුරාධපුර ප්‍රදේශයේ වයෝවෘධ කාන්තාවක් කතා කරලා කිව්වා දුවේ අපට වෙච්ච දේවල් අපි නම් හැංගුවා. නමුත් ඔයා හරි එඩිතරවුණා කියලා. පරාක්‍රම කොඩිතුවක්කු පුනරුක්ති පොතට ලියූ අව්‍යාජ විචාර මාතෘකාව මෙන්නෙ මෙහෙමයි. “සියලු ස්ත්‍රීහු ලියත් නම්” ඒක මට ශක්තියක්.

* කවුරුන් කොහොම කිව්වත් ඔබේ ජීවිතයේ නොකී යුතු පැතිකඩක් මේ විවර කර තියෙන්නෙ කියලා ඔබට හිතෙන්නෙ නැද්ද?

චරිතාපදානයක් කියලා කියන්නෙ වඩාත් ජනපි‍්‍රය කතාබහට ලක්වන සුවිශේෂී චරිතයක් ගැන ලියැවෙන්නක්. එහිදී එම චරිතයන්ගෙ පෞද්ගලික ජීවිතයේ බොහෝ කිව යුතු වනවා. ලංකාවට මේක ආගන්තුකයි. ඒත් දියුණු රටවලට චරිත කතා ආගන්තුක නැහැ. ජීවිතවල සැඟවුණ බිහිසුණු හාස්‍යජනක ඉතා සංවේදී අත්දැකීම් හෙළිදරවු කරනවා චරිතාපදාන තුළින්. ඒත් කොයිතරම් ත්‍රාසජනක චරිතාපදාන තිබුණත් පොත් සීයක් විකුණාගන්න බැරිවුණ වෙලාවල් තියනවා. පුනරුක්ති ඒ නිසා විශේෂයි. එයින් මා කිවයුතු දේ කිව්වා.

* කෝ අනෝමා ජනාදරී කියන නිළිය...

මම අන්තර්ජාතික සිනමා සම්මානයක් ලංකාවට ගෙනා නිළියක්. ඒ නිර්මාණයේ සිතුම් පැතුම් සමාන වන ආකාරයට චරිතයේ පරිකල්පන ලෝකය මනාව විදහා දැක්වූ නිසා ඊට මා යොමුකොට විශ්වාසය තැබූ අධ්‍යක්ෂවරයාට ස්තුතියි. ඉන්පසු නිර්මාණය වූ අක්ෂරය සිනමා පටයේ ප්‍රධාන චරිතයට උපරිම සාධාරණය ඉෂ්ට කරන්න සූදානම්ව ඉන්නකොට එහි නිෂ්පාදන කළමනාකාරිණිය ඊට වෙනත් නිළියක් යෙදා එම චරිතයත් චිත්‍රපටයත් විනාශ කළා. මම එහි රඟපෑවානම් ලෝක ජනතාවට ඉතාමත් දාර්ශනික සිනමාපටයක් දැකගන්න තිබුණා. එහෙම වුණා නම් අන්ද්‍රේව් තර්කොවිස්කි වගේ සිනමාකරුවකු ලංකාවෙන් බිහිවන්නට තිබුණා. ඉන්පසුව එවන් වූ සිනමාපට නිර්මාණය නොවීම මගේ රංගන විරාමයට හේතුව. දැන් තියෙන තොරන් සිනමාවට මං කැමැති නැහැ.

* රසික රසිකාවන් වඩාත් ළෙංගතු ඔබ තුළ සිටින ලේඛිකාවටද? නිළියටද? මොනවගේ ඉල්ලුමක්ද අනෝමා ජනාදරී කියන ලේඛිකාවට තියෙන්නෙ?

මං හිතනවා ලේඛිකාවට මේ දිනවල හොඳ ඉල්ලුමක් තියෙනවා. මං කලින් කිව්වා වගේ 2001 වසරේ පුනරුක්ති හොඳින් අලෙවිවුණා. ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය, ළමා අපචාර එමඟින් කතා කළා. මගෙ අලුත් ග්‍රන්ථ 2 ක් විශ්ව විද්‍යාලයීය අතකොලු දේශපාලනය පිළිබඳ ගැඹුරින් මගෙ ජීවන අත්දැකීම් තුළින් කතා බහ කෙරෙනවා. මා හිතනවා මා තුළ සිටින නිළියට මෙන්ම ලේඛිකාවට ද මා වටා පිරිසක් එකතු වී සිටිනවා කියලා.

* කාන්තාවක් විදිහට ඔබ කොහොමද මෙච්චර එඩිතර වුණේ?

මේක මිනිසුන්ගේ සිතුම් පැතුම් පමණක් රජවුණු පොළොවක්. මා ඒ හින්දම කුඩා කල දීම එයදැනගෙන ජීවත්වුණේ. මගෙ ජීවිතය වුණේ අම්මා. මගෙ අම්මාට ළමයි හයක්. ඇය ගුරුවරියක්. ඒ වගේම අම්මා වත්තෙ පිටියේ වැඩටත් දක්ෂයෙක්. මගෙ තාත්තා විදුහල්පතිවරයකු වුණාට අම්මා තමයි හැමදෙයක්ම කළේ. අම්මා තමයි මට පිරිමි සමඟ කරට කර ඉන්න ශක්තිය දුන්නෙ. පිරිමියා කියන හැමදේම ඇත්ත නොවෙයි කියලා මං ඉගෙන ගත්තෙ බාප්පාගෙන්. සැබෑ ආදරය ඉගෙන ගත්තේ කසාද බඳින්න බැරිවුණ පෙම්වතාගෙන්. මේක හරිම අමාරු කලාවක්. මගෙ කලාවට ආත්මය පිම්බෙ මගෙ සැමියා. මේ ජීවන අත්දැකීම් තමයි සාම්ප්‍රදායික ගැහැනියකගේ සිතුම් පැතුම් ඉවතට විසි කළේ. මා තුළම සිටින බල සම්පන්න තැනැත්තිය මාව ශක්තිමත් කළා.

* ඔබ මොනවා කිව්වත් තනිතටුවෙන් පියාඹන්න චිත්‍රපටයේ රඟපාලා ඔබට ලැබුණේ මඩ නොවෙයිද?

මේ අහන්න. තනිතටුවේ රඟපාලා ඔබේ ජීවිතයට ලැබුණෙ කුඩම්මගෙ සැලකිලිනේද යනුවෙන් ඔබේ ප්‍රශ්නය නිවැරැදිකර ගන්න. එතකොට මං ඕකට උත්තරයක් දෙන්නම්. ඒක තමයි යථාර්ථය.

* හරි, මං එහෙම ඇහැව්වා කියලා උත්තර දෙන්නකො?

තනිතටුව කියලා කියන්නේ මං අර කලින් කියපු පිරිමි රජකරන මහපොළවට අශෝක හෙළපු ඇනලෝග් වර්ගයේ පරමාණුවක්. එක්තරා මහාචාර්යවරයකුගේ ජාතික චින්තනය තුන් කුඩුපට්ටම් වුණේ තනිතටුව නිසා. ඒ කාලයේ ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය පනවපු තහනම ඉවත් කරගන්නට තරම් ජාත්‍යන්තර අවධානයක් තනිතටුවට ලැබුණා. සිංගප්පූරු අන්තර්ජාතික සිනමා උළෙලේ මං හොඳම නිළිය වුණා. ලංකාවෙන් හොඳම නිළියවුණ විශ්ව කීර්ති සම්මානය ලැබුවා. මේවා මඩද? ඔන්න තනිතටුවෙන් රඟපාලා මට ලැබුණු දේවල්. මෙච්චර දේවල් ලද මට කුඩම්මගෙ සැලකිලි තමයි ලැබුණේ.

* ඔබ පැවසූ පරිදි තොරන් සිනමාවෙන් මිදිලා අනෝමාගේ රුචිකත්වයට සිනමා පටයක් ඔබම අධ්‍යක්ෂණය කරන්නකෝ?

පටන්ගත්තා මං වැඩක් පටන් ගත්තා. අධ්‍යක්ෂණය කරන්නට පෙර එස්.එල්.ටී.ටී.අයි. හි සිනමාකරණය පිළිබඳ මං හැදෑරුවා. මං පිටපත ලියූ සිනමාපටයේ ගීත ද පටිගත කළා. ඊට කිහිපදෙනෙකු උදවු කළා. නමුත් චිත්‍රපටයක පිරිවැය අධිකයි. මට උදවුකරන්න තව කිහිප දෙනකු ඉන්නවානම් එහි වැඩ කටයුතු ඉක්මනින් නිමවේවි.

* කාන්තාවක් වීම ගැන ඔබ තෘප්තියෙන්ද ඉන්නේ?

අනිවාර්යයෙන්ම. පුංචි කාලයේ දී මට ලැබෙන දුක් ගැහැට වැඩිපුර දැනෙන්නේ කරදරවලට පත්වන්නේ ගැහැනියක් වීම නිසා නේද කියලා මට හිතුණා. පසුව තේරුණා කාන්තාවක් සෑම ජීවසත්ව කොට්ඨාසයන් අතර කැපී පෙනෙන අය නිසා ඇයව මර්ධනය කරගෙන ඇයගේ සාරය සූක්ෂම ලෙස උරාබොන පිරිමි මහ පොළොව මත ජීවය බිහිකරගෙන ඉන්නවා කියලා. එතැන ඉඳගෙනම මම කළේ ගැහැනියක් හැටියට මුහුණ දෙනඑක. අර්ථවත් කරන්න අරගල කරන එන. කසාද බැඳලා ළමයි හදලා තනිතටුව කරලා ඉවරවුණාට පස්සේ හෝකන්දර ගෙදර වහලයේ උසම උස තැනට නැගලා බිමට පැනලා මැරෙන්න සියල්ල සුදානම් කරලා තිබුණේ. ඊට හේතුව අපි ගොඩනගාගත් සියල්ල තවත් කුඩම්මා කෙනෙක් ඇවිල්ලා අත්පත් කරගන්න හදන නිසා. ඒත් නාට්‍ය කලාව මගෙ ජිවිතය බේරුවා.

එතැන් සිට ඇඳුම් බෑග් එකත් අරගෙන සම්මාන ටිකත් එකට දාගෙන මම මහමඟට බැස්සා. මම හැම වෙලාවකම ගැහැනියක් හැටියට සතුටට පත්වෙලා තියෙන්නෙ ශුණ්‍යතාවය වැළඳගෙන ඇති නිසා.

* සමහරෙකුට හිතෙන්න පුළුවන් ඔබ මේ ග්‍රන්ථ හරහා ඔබට විරුද්ධ වූ පාර්ශ්වයන්ගෙන් පළිගන්න හදනවා කියලා.

ඔව්. ඇතැමෙකුට එහෙම වෙන්න පුළුවන්. මහපොළෙවෙ ජිවත්වන හැම පවුලකම ගැහැනු පිරිමියාගෙන් පළිගන්නෙ කුටුම්බිය කඩා බිඳ දමානොගෙන ඒ තුළ පිරිමියාගේ ඇඟේ හැපෙමින්. මමත් එහෙම කළා නම් කවුරුවත් මට චෝදනා කරන එකක් නැහැ. මට මේ දොස් මං සම්ප්‍රදායික නොවන නිසා.

* එහෙනම් මේ වෑයම ඔබ ඔබව මාකට් කර ගැනීමටද?

නැහැ.

* ඇයි ඒකට කෙටි උත්තරයක් දුන්නේ?

මාකට් කරගන්න පොත් ලියන්න ඕනෙ නැහැනේ. නේද?